2007න් පසු යළිත් විස්සයි විස්ස කිරුළකට මං සොයන ඉන්දියානුවෝ

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

525
India Team

තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට තරග වදින වඩාත් බලාපොරොත්තු සහගත කණ්ඩායම්වලින් එකක් ලෙස ඉදිරියෙන් ම සිටින්නේ ඉන්දියානු කණ්ඩායමයි.

මේ දක්වා විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ඔවුන් එක් ශූරතාවයක් (2007) හා එක් අනුශූරතාවයක් (2014) ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.

මෙවර තරගාවලියට සහභාගී වන ඉන්දීය සංචිතය පසුගිය දා නම් කළ අතර ඔවුන් තරග වැදීමට නියමිතව ඇත්තේ Group 2 ඔස්සේයි. එම කාණ්ඩයට අයත් අනෙකුත් කණ්ඩායම් වන්නේ පාකිස්තානය, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය හා සුදුසුකම් ලැබීමේ වටයෙන් තේරීපත්වන කණ්ඩායම් දෙකකි.

Image courtesy – cricketaddictor

සුපුරුදු පරිදි මෙවරත් ඉන්දියාව තරග බිමට පිවිසෙන්නේ Virat Kohliගේ නායකත්වය සමඟින්. කෙසේ වෙතත් මෙවර තරගාවලියෙන් පසුව තමන් ඉන්දීය විස්සයි විස්ස නායකත්වයට සමුදෙන බව Kohli පසුගිය දා ප්‍රකාශ කළා. එමනිසා විස්සයි විස්ස පිටියේ තම අවසන් නායකත්ව තරගාවලිය ශූරතාවයකින් කෙළවර කිරීම ඔහුට ඇති ඒකායන අරමුණයි.

මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස උපනායක Rohit Sharma සමඟින් KL Rahul ක්‍රීඩා කරනු ඇත. ඔවුන්ගේ ආරම්භක පිතිකරණ යුගලයේ ශක්තිමත් බව මනාවට පැහැදිලි වන්නේ අත්දැකීම් බහුල Shikhar Dhawan හට ද මෙම සංචිතයේ කිසිදු ඉඩක් සොයා ගැනීමට නොහැකි වූ බැවිනි. එමෙන්ම Ishan Kishan ද තවත් මුල්පෙළ පිතිකරුවෙකු වශයෙන් සංචිතයේ සිටින බැවින් KL Rahul ස්ථාවරව දක්ෂතා අතර සිටීම මෙහි දී අනිවාර්යය කරුණක් බවට පත්වේ.

Image courtesy – nach-welt

සුපිරි පිතිකරු Virat Kohli සුපුරුදු ලෙසින්ම අංක 3 භූමිකාවට පණ පොවනු ඇත. කෙසේ වෙතත් ඔහු වර්තමානයේ දී දස්කම් අතර නොසිටීම මඟින් ඉන්දීය පිතිකරණ බලඇණියට යම් අවාසිසහගත තත්වයක් මතු විය හැක.

සමස්තයක් වශයෙන් එදාමෙදාතුර T20I ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වන Kohli මේ වන විට ලකුණු 3159ක් ලබාගෙන ඇත්තේ 52.65ක සුපිරි පිතිකරණ සාමාන්‍යයක් හා 139.04ක ප්‍රහාරාත්මක වේගයක් ද රඳවා ගනිමිනි. ඊට අමතරව වත්මන් ICC විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි සිව්වැනි ස්ථානයේ ඔහු පසු වේ.

අංක 4 හා 5 ස්ථානවල Suryakumar Yadav හා Rishabh Pant බොහෝ දුරට ක්‍රීඩා කරනු ඇත. ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් අඩු ක්‍රීඩකයන් වූව ද වසර ගණනක් පුරාවට IPL තරගාවලිවලින් ලබා ගත් පන්නරය මෙහි දී ඔවුන්ට මහත් සෙයින් ඉවහල් වනු ඇත.

මෙම කණ්ඩායමේ කඩුලු රකින්නා වශයෙන් Rishabh Pant ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර ඊට අමතරව KL Rahul හා Ishan Kishan දෙදෙනාට ද එම කාර්‍යභාරය සිදු කළ හැක.

තුන් ඉරියව් ක්‍රීඩක Hardik Pandya තම දායකත්වය ලබා දෙන්නේ අංක 6 පිතිකරුවා සහ 6 වන පන්දු යවන්නා වශයෙනි. ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින Pandyaට පිතිකරුවෙකු ලෙස ඉනිමේ අග භාගයේ දී ලකුණු වේගය වැඩි වැඩි කිරීමේ කාර්‍යභාරය සහ පන්දු යවන්නෙකු ලෙස ඉනිමේ මැද භාගයේ දී පන්දු යැවීමේ භූමිකාව පැවරෙනු ඇත.

Image courtesy – hindi.cricketaddictor

තවත් ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Ravindra Jadeja කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් 5 දෙනාගෙන් අයෙකු වශයෙන් කටයුතු කරන අතර පිතිකරුවෙකු ලෙස අංක 7 ස්ථානයේ පිතිකරණයේ නිරත වේ. වර්තමානයේ ලොව සිටින විශිෂ්ටතම පන්දු රකින්නෙකු ද වන Jadeja මෙම සංයුතියට විශාලතම ශක්තියකි.

මෙම සංචිතයේ ඇති සුවිශේෂීම කාරණය වන්නේ ප්‍රධාන දඟපන්දු යවන්නන් 5 දෙනෙක්ම ඊට ඇතුළත් වීමයි. වමත් orthodox දඟපන්දු යවන්නෙකු වන Jadejaට අමතරව සංචිතයේ සිටින අනෙක් අනෙක් දඟපන්දු යවන්නන් වන්නේ දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක Ravichandran Ashwin, දකුණත් leg-break පන්දු යවන්නන් වන Rahul Chahar හා Varun Chakravarthy සමඟ් තවත් වමත් orthodox පන්දු යවන්නෙකු වන Axar Patelය. ඔවුන් අතරින් Ashwin හා Axar දෙදෙනාට පිතිකරණයේ යෙදීමේ හැකියාව ද ඇත.

Image courtesy – YahooIndia

දඟපන්දු යවන්නන්ට හිතකර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තණතිලි අනුව ඒ අතරින් අවම වශයෙන් දඟපන්දු යවන්නන් දෙදෙනෙකු ක්‍රීඩා කිරීමේ අවකාශ පවතී. කෙසේ වෙතත් මෑතකාලීනව දිගින් දිගටම කණ්ඩායමේ සිටිය ද, සුපුරුදු දක්ෂතා අතර නොසිටි Kuldeep Yadav හා Yuzvendra Chahalට මෙම සංචිතයේ අවස්ථාව අහිමි වීම සහ Ravichandran Ashwinව වසර 4කට පසු නැවතත් විස්සයි විස්ස සංචිතයට කැඳවීම මෙහි දී බොහෝ දෙනාට විමතිය දනවන කාරණයක් බවට පත්විය.

වේගපන්දු බලඇණිය සමන්විත වන්නේ වර්තමානයේ ලොව සුපිරිතම පන්දු යවන්නෙකු ලෙස සැලකෙන Jasprit Bumrahගේ ප්‍රමුඛත්වයෙනි. ඔවුන් ක්‍රීඩා කිරීමට නියමිත තණතිලි තත්ත්වයන් අනුව ඔහු සමඟින් ක්‍රීඩා කරන්නේ තවත් වේගපන්දු යවන්නන් එක් අයෙකු ද දෙදෙනෙකු ද යන්න වග තීරණය කරනු ඇත.

කෙසේ වෙතත් සංචිතයේ සිටින අනෙක් වේගපන්දු යවන්නන් වන්නේ Bhuvneshwar Kumar හා Mohammad Shami දෙදෙනායි. T20I තරග රටාවේ දී ඔවුන් දෙදෙනා අතරින් මේ දක්වා වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත්තේ Bhuvneshwarය.

ප්‍රධාන වේගපන්දු යවන්නන් තිදෙනා වන මොවුන් හැරුණුකොට Hardik Pandyaගේ මද වේගපන්දු යැවීමෙන් ද යම් අමතර සහයක් ලැබෙනු ඇත.

easterneye.biz

සංචිතයේ සිටින අතිරේක ක්‍රීඩකයන් වන්නේ Shreyas Iyer, Shardul Thakur හා Deepak Chahar තිදෙනායි. තවද හිටපු ඉන්දීය නායක MS Dhoni උපදේශකයකු වශයෙන් සහය ලබා දීම මගින් මෙවර ඉන්දීය කණ්ඩායමට අමතර උත්තේජනයක් ලබා දෙනු ඇත.

මෙම විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තණතීරු දඟපන්දු යවන්නන්ට උචිත වීම නිසා අනෙකුත් කණ්ඩායම්වලට යම් අවාසිසහගත තත්ත්වයක් මතු වූව ද, ඉන්දියානු පිතිකරුවන් දඟපන්දු යවන්නන් ඉදිරියේ අති සාර්ථකත්වයක් පෙන්වීම යන කාරණය මෙවර තරගාවලියේ ඔවුන් ඉදිරියෙන්ම ඔසවා තැබීමට බලපාන මූලිකතම හේතුකාරණය ලෙස සඳහන් කළ හැක.

එමෙන්ම 15 දෙනෙකුගෙන් සමන්විත මෙම ඉන්දීය සංචිතය මෙවර තරගාවලියේ ප්‍රබලතම ක්‍රීඩක සමූහයක් ලෙස අවිවාදයෙන් ම නම් කළ හැක. ඒ අනුව තණතිලි වල වාසියත්, ක්‍රීඩක සමූහයේ ශක්තියත් සමඟින් ඔවුන් මෙවර තරගාවලියේ අනෙක් කණ්ඩායම්වල විශාලතම තර්ජනය වනු ඇති බව නොඅනුමාන ය.

ඉන්දීය සංචිතය: Virat Kohli (Capt), Rohit Sharma (vc), KL Rahul, Suryakumar Yadav, Rishabh Pant (wk), Ishan Kishan (wk), Hardik Pandya, Ravindra Jadeja, Rahul Chahar, Ravichandran Ashwin, Axar Patel, Varun Chakravarthy, Jasprit Bumrah, Bhuvneshwar Kumar, Mohd Shami.  Standby players: Shreyas Iyer, Shardul Thakur, Deepak Chahar.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<