Pandyaගේ ආන්දෝලනාත්මක තීරණවලට හේතුව

India vs Sri Lanka 2023

1345

ඊයේ (03) ශ්‍රී ලංකාව සමඟ පැවති විස්සයි විස්ස තරගයේ දී තරගයේ අවසන් පන්දු වාරය යොමු කිරීමට දඟපන්දු යවන්නකුට (Axar Patelට) බාර කිරීමට හේතුව ඉන්දීය නායක Hardik Pandya විසින් තරගයෙන් අනතුරුව පැහැදිලි කළා.

තරගයේ අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 13ක් ලබා ගැනීමට ඉතිරිව තිබූ අතර, නායක Hardik Pandya විසින් පන්දු නො යවා Axar Patel හට පන්දුව බාර කළේ Pandyaගේ ආබාධ තත්වය (තරගය අතරතුර දී ඔහුගේ පාදයේ සුළු ආබාධයක් ඇති වුනා) නිසා ද නැතිනම් වෙනත් හේතුවක් නිසා ද යන්න බොහෝ සෙයින් කතාබහට ලක් වුනා.

නමුත් එම මොහොතේ Pandya ගත් අවදානම් සහගත තීරණයට සාධාරණයක් ඉටු කරමින් Patel විසින් එම පන්දුවාරයේ ශ්‍රී ලංකාවට ලකුණු 10ක් පමණක් ලබා දෙමින් ඉන්දියාවට ලකුණු 2ක තියුණු ජයක් හිමිකර දීමට සමත් වුනා.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේ ම පන්දු යැවීමේ වගකීම බාර ගත් ඉන්දීය නායක Hardik Pandya සිය නියමිත පන්දුවාර හතර සම්පූර්ණ කර නොතිබිය දීත්, ඉනිමේ අවසන් පන්දු වාරය යැවීමේ වගකීම Axar Patel හට බාර දෙමින් ලබා ගත් අවදානමට හේතුව මෙසේ පැහැදිලි කළා.

“අපි තරගය පරාද වෙන්න ඉඩක් තිබුණා තමයි, නමුත් ඒකට කමක් නැහැ. මට මේ කණ්ඩායම අසීරු තත්වයන් වලට පත් කළ යුතුයි, ඒක අපට ලොකු තරගවල දී උදව්වක් වේවි.

ද්විපාර්ශ්වීය තරගවල දී අපි ගොඩක් හොඳයි, එ් වගේම මෙහෙම තමයි අපි අපිටම අභියෝග කර ගන්නේ. අවංකවම අපේ තරුණ ක්‍රීඩකයින් අද තරගයේ අපි සිටි තත්වයෙන් එළියට ගත්තා.”

එම අවසන් පන්දුවාරය සාර්ථකව යොමු කළ Axar විසින් ඉන්දීය ඉනිම වෙනුවෙන් පිතිකරණයෙන් ලකුණු 31ක් ලබා ගනිමින් Deepak Hooda (41) සමඟ ඉතා විශිෂ්ට අර්ධ ශතක සබඳතාවක් ද පැවැත්වුවා.

එමෙන්ම සිය මංගල විස්සයි විස්ස තරගය ක්‍රීඩා කරමින් ඉන්දියාව වෙනුවෙන් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු හතරක බිඳ හෙළු Shivam Mavi පිළිබඳව ද Pandya ප්‍රශංසාත්මකව අදහස් පළ කළා.

“මම දැකලා තියෙනවා IPL වල දී ඔහු (Mavi) හොඳින් පන්දු යවනවා, මම දන්නවා ඔහුගේ හැකියාවන් මොන වගේ ද කියන්න. මම ඔහුට කිව්වා ‘මම ඔබ එක්ක ඉන්නවා, පහර එල්ල වුනත් කමක් නෑ මම ඉන්නවා.'”

මෙම තරගයේ ජයග්‍රහණය සමඟින් තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර, තරගාවලියේ දෙවැනි තරගය හෙට (05) පැවැත්වීමට නියමිතයි.

ඉන්දු – ලංකා ක්‍රිකට් තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<