සංගක්කාර විසින් Sanju Samsonට ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ තැනක් සොයයි

India vs Sri Lanka 22/23

2702
Sangakkara's opinion about sanju samson

හෙටින් (03) ආරම්භ වීමට නියමිත ඉන්දු – ලංකා විස්සයි විස්ස තරගාවලියට නම් කළ ඉන්දීය සංචිතයේ සිටින කඩුලු රකින පිතිකරු Sanju Samsonගේ පිතිකරණය ස්ථානය පිළිබඳ හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර විසින් අදහස් දක්වා තිබෙනවා.

නිමා වූ නවසීලන්ත සංචාරයේ එක්දින තරග සඳහා Samson තෝරා ගත්ත ද, ඉන්පසුව පැවති බංග්ලාදේශ සංචාරය සඳහා ඔහුව තෝරා ගැනුණේ නැහැ. නමුත් නැවතත් Hardik Pandyaගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා කණ්ඩායම මුණ ගැසීමට නියමිත ඉන්දීය විස්සයි විස්ස සංචිතයට එක් වීමට Samson සමත් වී තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන Sanju Samson පසුගිය වසර කිහිපයේ ම ඉන්දීය ජාතික සංචිතයට වරින්වර කැඳවීම් ලැබුවා.

එමෙන්ම පසුගිය IPL (2022) තරගාවලියේ දී පිත්තෙන් හොඳ දස්කම් දක්වමින් සිය කණ්ඩායම අවසන් මහා තරගය තෙක් රැගෙන ඒමට ද Samson සමත් වූ අතර, රාජස්තාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර පවසන්නේ Samsonට වඩාත් සුදුසු පිතිකරණ ස්ථානය අංක 4 බවයි.

“විස්සයි විස්ස තරගවල පන්දුවාර හතක් පමණ අවසන් වුන පසුව පිටියට පිවිසෙන අංක හතර පිතිකරණ ස්ථානය තමයි ඔහුට වඩාත් ම ගැළපෙන්නේ.

ඔහුට ඕනම ස්ථානයක පිතිකරණයේ යෙදෙන්න පුළුවන්. නමුත් ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කරද්දී ඔහු නියමිත තැන නෙවෙයි ක්‍රීඩා කරන්නේ.

ඔහුට ශක්තිය තියෙනවා, ඔහුට හොඳ පිතිකරණ ස්වභාවයක් තියෙනවා, හොඳ ඔළුවක් තියනවා, ඒ වගේම ඔහු දන්නවා අසීරු අවස්ථාවන් හසුරුවා ගන්න අවශ්‍ය කොහොමද කියලත්. ඔබට ඔහුව ඕනම ස්ථානයක තියන්න පුළුවන්, ඒ වගේම ඔහු ඒ ඕනම තැනක හොඳින් ක්‍රීඩා කරාවි.”

හිටපු ශ්‍රී ලංකා නායකයා සිය කණ්ඩායමේ ක්‍රීඩකයා පිළිබඳ එසේ අදහස් පළ කරා.

ඉන්දියාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 11කට ක්‍රීඩා කර ඇති Samsonගේ පිතිකරණ සාමාන්‍ය 66ක් වැනි ඉහළ අගයක පවතිනවා, එමෙන්ම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 16ක දී ඉන්දියාව නියෝජනය කර ඇති Samson එම තරග බොහෝමයක තරග අවසන් කරන්නාගේ භූමිකාව නිරූපණය කරමින් ප්‍රහාරාත්මක වේගය 135 ඉක්මවා පවත්වා ගෙන යාමට ද සමත් වී තිබෙනවා.

Sanju Samson අවසන් වරට ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළේ 2022 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව වන අතර නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ දී Rishabh Pant සහ Dinesh Karthik දෙදෙ‍නා කඩුලු රකින්නන් ලෙස ඉන්දීය සංචිතයට තෝරා ගත් නිසා Samsonගේ ලෝක කුසලාන සිහිනය බොඳ වී ගියා.

හෙටින් ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය පිළිබඳ සියලු පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<