මාධ්‍යවේදියෙකුගේ තර්ජන ගැන Sahaගෙන් ප්‍රකාශයක්

804

ඉන්දීය මාධ්‍යවේදියෙකු සහ ඉන්දීය ක්‍රීඩක Wriddhiman Saha අතර ඇතිව තිබෙන මතභේදාත්මක තත්වය බොහෝ මාධ්‍යවල අවධානයට යොමුව තිබුණා. එහි දී Wriddhiman Saha හට මාධ්‍යවේදියෙකු සම්මුඛ සාකච්ඡාවක් සඳහා බල කර තිබූ අතර එය ප්‍රතික්ෂේප කිරීම මෙම මතභේදයට හේතු වී තිබුණා.

ඉන් අනතුරුව Wriddhiman Saha මාධ්‍යවේදියාට අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබුණා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Wriddhiman Saha පවසා සිටියේ ඊට සම්බන්ධ පුද්ගලයා තවමත් සමාව ඉල්ලා නොමැති බවයි.

කෙසේ වෙතත් Wriddhiman Saha මෙම මාධ්‍යවේදියාගේ අනන්‍යතාවය හෙළිකිරීම ප්‍රතික්ෂේප කර තිබුණා. Saha කියා සිටියේ ඔහුගේ හැසිරීම නිසා තමාට කලකිරීමක් ඇතිවූ බවත්, ඔහු එවූ පණිවිඩ ප්‍රසිද්ධ කිරීමට මූලික හේතුව වන්නේ මාධ්‍යවේදීන් සහ ක්‍රීඩකයන් අතර අනාගතයේ දී එවන් දේ සිදුවීම වැළැක්වීම බවයි. මාධ්‍ය තුළ සිටින එවැනි පුද්ගලයින් හෙළිදරව් කිරීම තම අරමුණ බවත් ඔහු පවසා සිටියා.

“මේ මාධ්‍යවේදියාගේ පණිවිඩය දැක්කම මට වේදනාවක් ඇති වුනා. මම කිසිම මාධ්‍යවේදියෙකු සමඟ නරක විදිහට හැසිරිලා නැහැ. ඒ වගේම කිසිම මාධ්‍යවේදියෙක් මා එක්ක ඒ වගේ නරක ලෙස හැසිරිලා නැහැ. නමුත් මේක එහෙම දෙයක් නෙමෙයි. මට අවශ්‍ය වුනා මේ සිදුවීම හෙළි කරන්න. එතකොට ජනමාධ්‍ය ලෝකයේ එවැනි අය සිටින බව හැමෝම දැන ගන්නවා.”

“මෙම මාධ්‍යවේදියා තවමත් මාත් එක්ක සම්බන්ධ වෙලා හෝ සමාව ඉල්ලා නැහැ”, Saha පසුගිය බදාදා (23) Zee News සමඟින් පැවති සම්මුඛ සාකච්ඡාවක දී පවසා සිටියා.

Wriddhiman Saha පසුගිය සතියේ දී තමා සහ මාධ්‍යවේදියෙකු අතර හුවමාරු වූ කෙටි පණිවිඩ කීපයක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා. ඔහු ඒ සම්බන්ධයෙන් Twitter සටහනක් ද තබා තිබුණා. එම පණිවිඩවලින් දැක්වුණේ අදාළ මාධ්‍යවේදියා Saha සමඟින් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට ඉල්ලීමක් කරන ආකාරයයි. ඉන් අනතුරුව Saha එයට ප්‍රතිචාර නොදැක්වීමෙන් පසු මාධ්‍යවේදියා විසින් Saha හට තර්ජනය කර තිබුණා.

මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්වෙන් අනතුරුව Saha පසුගිය දා තවත් Twitter පණිවිඩයක් නිකුත් කර තිබුණා. එහි දී ඔහු පවසා සිටියේ එම මාධ්‍යවේදියා තමාට නැවත තර්ජනය කළහොත් ඔහුගේ නම හෙළි කිරීමට පසුබට නොවන බවයි.

India Today සමඟින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් 37 හැවිරිදි Saha කියා සිටියේ මාධ්‍යවේදියා සමාව ගත්තා නම් ඔහු දෙවැනි වර Twitter පණිවිඩය සටහන් නොකරන බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙතද තමා පැමිණිලි කළ බවත් එහි දී ඔහු මාධ්‍යවේදියාගේ අනන්‍යතාවය හෙළි නොකර සම්පූර්ණ සිදුවීම ම ඔවුන්ට දැන්වූ බවත් Saha පවසා සිටියා.

“මම දෙවැනි Twitter පණිවිඩයක් සටහන් කරපු එකෙන් පැහැදිලිවම පේනවා ඔහු සමාව ඉල්ලලා නැහැ කියලා. ඉන්දීය ක්‍රිකට් ආයතනයට මම දැනුම් දුන්නට පස්සේ ඔවුන් මගෙන් නම ඇහුවා. ඒත් මම එයාලට නම කිව්වේ නැහැ. මම සම්පූර්ණ කතාවම ඔවුන්ට යොමු කළා”, Saha India Today වෙත පවසා සිටියා.

“මේ පුද්ගලයාට තමන් කරපු දේ ගැන හිතන්න අවස්ථාවක් මම දීලා තියනවා. ඔහුට ඒ ගැන පසුතැවිල්ලක් තියෙනවා නම් සහ ඔහු ඔහුගේ ආකල්ප වෙනස් කරගන්නවා නම් මට හිතන්න වෙනවා. මේ ගැන ඔහු මගෙන් සමාව ඉල්ලුවා නම් මම දෙවෙනි Twitter පණිවිඩයක් සටහන් කරන්නේ නැහැ. මේ වගේ දේවල් වෙනවා. මගේ චේතනාව අවධානය ලබාගන්න එක නෙමෙයි. නමුත් එවැනි දේවල් සිදු වන බව මිනිසුන්ට කියන්න මට ඕනේ වුනා.” Saha පවසා සිටියා.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ඉන්දීය ටෙස්ට් සංචිතය සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් ඇතුළත් වන්නේ නැහැ. Ajinkya Rahane, Cheteshwar Pujara, Ishant Sharma මෙන්ම Saha ද ඒ සඳහා නම් කර නොතිබීම විශේෂත්වයක්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<