Home Sinhala අවසන් පන්දුවේ දී ශ්‍රී ලංකාවට ලකුණු 2ක තියුණු පරාජයක්!

අවසන් පන්දුවේ දී ශ්‍රී ලංකාවට ලකුණු 2ක තියුණු පරාජයක්!

Sri Lanka tour of India 2023 - 1st T20I

1594

2023 නව වසර ආරම්භයේ දී ම ඉන්දීය කණ්ඩායමට එරෙහිව පෙරළිකාර ජයක් ලබා ගැනීමට තිබූ ස්වර්ණමය අවස්ථාවක් අද (03) ශ්‍රී ලංකාවට අහිමි වී ගියා.

ඒ අවසන් පන්දුව දක්වාම අතිශයින්ම උණුසුම් අයුරින් ගලා ගිය තරගය අවසානයේ ලකුණු 2කින් ඉන්දීය කණ්ඩායම ජය ගැනීමත් සමඟයි. එහි දී තරගයේ අවසන් පන්දුවට ලබා ගැනීමට අවශ්‍යව තිබූ තීරණාත්මක ලකුණු 4 වාර්තා කිරීමට චාමික කරුණාරත්න අසමත් වුනා.

සුප්‍රසිද්ධ වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ඇරඹුණු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකා නායක දසුන් ශානකයි. ඒ අනුව අඩු දුර හතරේ සීමාවක් සහ පිතිකරුවන්ට උචිත තණතිල්ලක් සහිත පිටියේ දී මුලින් පන්දු යැවීමට ඔහු බැරෑරුම් තීරණයක් ගත්තා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකා කණ්ඩායම: දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ඩිල්ෂාන් මධුශංක.

ඉන්දීය කණ්ඩායම: Hardik Pandya (නායක), Ishan Kishan, Shubman Gill, Suryakumar Yadav, Sanju Samson, Deepak Hooda, Axar Patel, Harshal Patel, Yuzvendra Chahal, Shivam Mavi, Umran Malik.

පළමු පන්දුවාරය යැවීමට පැවරුණේ වැඩි අත්දැකීම් සහිත වේගපන්දු යවන්නා වන කසුන් රාජිතටයි. කෙසේ නමුත් LPL පිටියේ දී පෙන්වූ පන්දු පාලනය අද රාජිතගෙන් දකින්නට නොලැබුනු අතර සම්පූර්ණ පන්දු 6 සඳහාම මුහුණ දුන් Ishan Kishan ඔහුගෙන් ලකුණු 17ක්ම උදුරා ගන්නට සමත් වුනා.

කලකට පසු කණ්ඩායමට ඇතුළත් වූ ඩිල්ශාන් මධුශංක ද දෙවැනි පන්දුවාරයේ දී ඉන්දීය ප්‍රහාරය නතර කිරීමට සමත් වුනේ නැහැ. කළ හැකි කිසිවක් නොවූ කල නායක දසුන් තම රහස් අවිය වන මහීෂ් තීක්ෂණ අතට පන්දුව ලබා දෙන්නේ වෙනසක් බලාපොරොත්තුවෙනුයි.

එහි දී තම නායකයාගේ සිහින මල්ඵල ගන්වන මහීෂ් තම තෙවැනි පන්දුවේ දී ම, මංගල තරගයට එක්ව සිටි, Shubman Gillව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගන්නට සමත් වුනා. එතැන් පටන් ඉන්දීය ප්‍රහාරය තරමක් අඩපණ වූ අතර ඇෆ්ගනිස්තාන තරගාවලිය මග හැරීමෙන් පසු නැවතත් කණ්ඩායම සමඟ එක්වූ චාමික කරුණාරත්න යැවූ මුල්ම පන්දුවටම Suryakumar Yadav පිටියෙන් ඉවත් කරන්නට ඔහු සමත් වුනා.

Sanju Samson ඩීප් මිඩ් විකට් කලාපයට ලබා දුන් අසීරු උඩපන්දුවක් චරිත් අසලංක අතින් ගිලිහී ගිය ද, එහි වාසිය ලබා ගැනීමට ඔහු සමත් වුනේ නැහැ. ඒ එම පන්දුවාරයේ දී ම තවත් වැරදි පහරකට උත්සාහ කළ ඔහු ඩිල්ශාන් මධුශංක අතට පහසු උඩපන්දුවක් ලබා දී දැවී ගිය නිසයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ මුල් පිතිකරුවන් තිදෙනාම ක්‍රීඩාගාරයට හැරී ගියේ ලකුණු 10ක්වත් තම පෞද්ගලික ලකුණු ගිණුමට බැර කිරීමෙන් තොරවයි. ඒ අනුව ඉන්දීය ලකුණු පුවරුව පන්දුවාර 6.5ක් අවසානයේ ලකුණු 46ට කඩුලු 3ක් ලෙස සටහන් වුනා.

අද වනිඳු හසරංග ක්‍රියාත්මක කළ මුල්ම පන්දුවටම Hardik Pandya අතින් පෙරලා උඩපන්දුවක් හසරංග වෙතටම ලැබුණ ද, එය රැක ගැනීමට ඔහු සමත් වුනේ නැහැ. ඒ Pandya එල්ල කළ පහර රොකට්ටුවක් මෙන් පන්දු යවන්නාගේ අතේ වැදී හතරේ සීමාව වෙත පියඹා ගිය නිසයි.

එයින් පසුබට නොවූ වනිඳු ලකුණු 31ක සබඳතාවයකින් අනතුරුව Ishan Kishanගේ ඉනිම නිමා කරන්නේ හතරේ සීමාව අසල ධනංජය ද සිල්වා සුරැකිව රැකගත් උඩපන්දුවක් නිසයි. දැවී යන විට Kishan හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් එල්ල කර තිබුණා.

නොසිතූ ලෙස ඉන්දීය ඉනිම බිඳ වැටෙද්දී, නායකත්වයේ වගකීම කරට ගෙන ක්‍රීඩා කළ Hardik Pandya අද පන්දු 27ක දී ලකුණු 29ක් රැස්කර ගත්තා. ඔහු දැවී ගියේ ඩිල්ශාන් මධුශංක යැවූ ශරීරය වෙතට ඇදී ආ පන්දුවකට කට් පහරක් එල්ල කිරීමට ගත් අසාර්ථක උත්සාහයක් හමුවේයි.

Pandyaගේ දැවී යාමත් සමඟ ඉන්දීය කණ්ඩායමේ නමගිය පිතිකරුවන් සියල්ල දැවී ගොස් අවසන් වූ අතර ශ්‍රී ලංකාවට තම ප්‍රතිවාදීන් ඔවුන්ගේ ප්‍රේක්ෂකයින් ඉදිරියේම ලකුණු 150කට අඩුවෙන් දවා ගැනීමේ අනගි අවස්ථාවක් නිර්මාණය වුනා.

කෙසේ නමුත් අද දිනයේ වඩාත්ම තර්ජනාත්මක පන්දු යවන්නා වූ මහීෂ් තීක්ෂණ අවසන් පන්දුවාරයේ දී පන්දු දෙකක් වරද්දා ගැනීම නිසා ඒ දෙකම හයේ සීමාවෙන් එපිටට යවන්නට Deepak Hooda සමත් වුනා. වනිඳුගේ දිනයේ අවසන් පන්දුවට ද සිදු වූයේ එම ඇබැද්දියමයි.

දඟපන්දු යවන්නන්ගෙන් කලාතුරකින් හිමිවන කෙටි පන්දු 3ක්ම හයේ සීමාවෙන් ඉවතට දමා තම ආත්ම ශක්තිය වර්ධනය කර ගත් Deepak Hooda අද අවසන් පන්දුවාර කිහිපයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කළා. ඒ පන්දු 23ක දී ලකුණු 41ක් නොදැවී ලබා ගනිමිනුයි.

අනෙක් අන්තයේ සිටි Axar Patel පන්දු 20කින් ලකුණු 31ක් ලබා ගැනීමත් සමඟ ඉන්දීය කණ්ඩායමට ලකුණු 162ක් කරා යාමේ අවස්ථාව හිමි වුනා. ශ්‍රී ලංකා නායක දසුන් ශානක තදින් පහර වැදී සිටි කසුන් රාජිතගේ අවසන් පන්දුවාරයත් භාවිතා කිරීම ද ඉන්දීය කණ්ඩායමට සහනයක් ගෙන දුන්නා. අද දින පන්දු පාලනය අතින් පසුබැස සිටි රාජිත ලකුණු 47ක් ප්‍රතිවාදීන්ට ලබා දීම කැපී පෙනුණා.

ලකුණු 163ක ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසියේ කුසල් මෙන්ඩිස් සමඟින් පැතුම් නිස්සංකයි. වන්කඩේ පිටිය ලකුණු හඹා යන කණ්ඩායමට වැඩි වාසි ලබා දෙන බවට අතීත වාර්තා සාක්ෂි දැරූව ද, පන්දු යැවීම ඇරඹූ Hardik Pandya සහ Shivam Mavi එම බලාපොරොත්තු සෑහෙන දුරකට දියකර හැරියා.

එහි දී ඉන්දීය නායකයා එක් අන්තයකින් ලකුණු අඩාල කර දෙද්දී, අද මුල් වරට ඉන්දීය ජාතික වර්ණ දැරූ Shivam Mavi විසින් පැතුම් නිස්සංක සහ ධනංජය ද සිල්වා දඩයම් කර ගැනීමට සමත් වුනා. ලකුණු 24කට කඩුලු 2ක් දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු වේගය ද ඉතාමත් අඩු මට්ටමක රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා සමත් වුනා.

එල්ල වූ පීඩනය හමුවේ චරිත් අසලංක පවර්ප්ලේ අවස්ථාව තුල දී ම නිලකුණු පන්දු විශාල ප්‍රමාණයක් ක්‍රීඩා කළා. අවසානයේ ඔහු පන්දු 15කට මුහුණ දී ලකුණු 12කට දැවී ගියේ Ishan Kishan සෑහෙන දුරක් දිවගොස් තම කඩුලු රකින අත් ආවරණ තුල සඟවා ගත් අනර්ඝ උඩපන්දුවක් හමුවේයි.

සෑහෙන වේලාවක් එක් අන්තයක් රැකගෙන සිටි කුසල් මෙන්ඩිස් Harshal Patelගේ දුර්වල පන්දුවකට හතරේ පහරක් එල්ල කිරීමට දැරූ උත්සාහය Sanju Samson උඩපන්දුවක් බවට පරිවර්තනය කර ගත්තා. හතරේ පහර 5ක් සමඟින් කුසල් මෙන්ඩිස් ඒ දක්වා ලකුණු 28ක් ලබාගෙන විශ්වාසවන්තව පන්දුවට පහර දෙමින් සිටියා.

ආසියානු කුසලාන අවසන් මහා තරගයේ සිටම දැඩි පසුබෑමකට මුහුණ දී සිටින භානුක රාජපක්ෂ අදත් රැස් කළේ ලකුණු 10ක් පමණයි. මේ අනුව ලකුණු 68කට කඩුලු 5ක් දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම රුණු පරාජයක් කරා යන බව පෙනෙන්නට තිබුණා.

නමුත් සයවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ නායක ශානක සහ වනිඳු හසරංග ලකුණු 40ක වේගවත් සබඳතාවයක් ගොඩ නැගීමත් සමඟ නැවතත් තරගය දෙපිළටම විවෘත වුනා.

වනිඳු හසරංග පන්දු 10කට පමණක් මුහුණ දී ලකුණු 21ක් රැස් කිරීම තරගයේ සුවිශේෂී අවස්ථාවක් වූ අතර ශ්‍රී ලංකාවට ඒ වන විට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුනේ පන්දු 33ක දී ලකුණු 55ක් පමණයි. ඒ අනුව මෙම පිතිකරුවන් දෙදෙනා ඉනිමේ අවසානය දක්වා පිටියේ රැඳී සිටියා නම් බොහෝ විට මෙම තරගය පහසු ජයග්‍රහණයකින් කෙලවර වන්නට ඉඩ තිබුණා.

නමුත් නවක ක්‍රීඩක Shivam Maviගේ පන්දුවක් හමුවේ වනිඳු දැවී යාමත් සමඟ ඉන්දීය කණ්ඩායම නැවතත් ප්‍රබල ලෙස තරගයට පිවිසියා. ඉන්දීය කණ්ඩායමට කවදත් රිදෙන්නට පහර දෙන දසුන් ශානක අදත් පන්දු 27ක දී ලකුණු 45ක් රැස් කළා. නමුත් අවශ්‍ය කරන ලකුණු වේගය පසුපස ලුහුබැඳ යාමට උත්සාහ කළ ශානක වැරෙන් එල්ල කළ පහරක් Yuzvendra Chahalගේ දෑතේ රැඳුණා.

ඉනිමේ අවසන් පන්දුව දක්වාම ශ්‍රී ලංකා කණ්ඩායම ජය කණුව කරා ගෙන යාමට දැඩි වෙහෙසක් දැරූ චාමික කරුණාරත්න අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 13ක් අවශ්‍ය වන තැනට තරගය රැගෙන ආවා. නමුත් ඔහුට පසුපෙළ පිතිකරුවන්ගෙන් කිසිදු සහයක් හිමිවුනේ නැහැ.

Hardik Pandyaගේ ආබාධ තත්ත්වය නිසා දඟපන්දු යවන්නෙකු වන Axar Patelට අවසන් පන්දු වාරය යැවීමට සිදුවීම නිසා චාමිකට ඉතිරි ලකුණු 13 ලබා ගැනීම පහසු වන බව පෙනෙන්නට තිබුනත්, ඔහු නීත්‍යානුකූල පන්දු 2ක් වයිඩ් පන්දු ලෙස අනුමාන කරමින් අතහැර දැමීම ශ්‍රී ලංකාවට දැඩි අවාසියක් වුනා.

ඒ අනුව අවසන් පන්දුවට ලබා ගැනීමට අවශ්‍ය වූ ලකුණු 4 වාර්තා කිරීමට චාමික කරුණාරත්න සමත් වුනේ නැහැ. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේ දී ම ඓතිහාසික ජයක් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වී ගියා.

මංගල තරගයේ දී ම ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනා ගත් Shivam Mavi ලකුණු 22කට කඩුලු 4ක් බිඳ හෙළුවා. කෙසේ වෙතත් තරගයේ වීරයා සම්මානය හිමි වූයේ ඉන්දීය කණ්ඩායම ජයග්‍රාහී ලකුණු ප්‍රමාණයක් කරා ගෙන ගිය Deepak Hoodaටයි.

මේ අනුව තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය Hardik Pandya ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම මේ වන විට 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා. දෙරට අතර පැවැත්වීමට නියමිත මීළඟ තරගය අනිද්දා (05) පූනේ හිදී ආරම්භ වීමට නියමිතයි. ඒ සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


India
162/5 (20)

Sri Lanka
160/10 (20)

Batsmen R B 4s 6s SR
Ishan Kishan c Dhananjaya de Silva b Wanidu Hasaranga 37 29 3 2 127.59
Shubman Gill lbw b Maheesh Theekshana 7 5 1 0 140.00
Suryakumar Yadav c Bhanuka Rajapaksa b Chamika Karunaratne 7 10 1 0 70.00
Sanju Samson c Dilshan Madushanka b Dhananjaya de Silva 5 6 0 0 83.33
Hardik Pandya c Kusal Mendis b Dilshan Madushanka 29 27 4 0 107.41
Deepak Hooda  not out 41 23 1 4 178.26
Axar Patel not out 31 20 3 1 155.00


Extras 5 (b 0 , lb 1 , nb 0, w 4, pen 0)
Total 162/5 (20 Overs, RR: 8.1)
Bowling O M R W Econ
Kasun Rajitha 4 0 47 0 11.75
Dilshan Madushanka 4 0 35 1 8.75
Maheesh Theekshana 4 0 29 1 7.25
Chamika Karunaratne 3 0 22 1 7.33
Dhananjaya de Silva 1 0 6 1 6.00
Wanidu Hasaranga 4 0 22 1 5.50


Batsmen R B 4s 6s SR
Pathum Nissanka b Shivam Mavi 1 3 0 0 33.33
Kusal Mendis c Sanju Samson b Harshal Patel 28 25 5 0 112.00
Dhananjaya de Silva c Sanju Samson b Shivam Mavi 8 6 2 0 133.33
Charith Asalanka c Ishan Kishan b Umran Malik 12 15 1 1 80.00
Bhanuka Rajapaksa c Hardik Pandya b Harshal Patel 10 11 1 0 90.91
Dasun Shanaka c Yuzvendra Chahal b Umran Malik 45 27 3 3 166.67
Wanidu Hasaranga c Hardik Pandya b Shivam Mavi 21 10 1 2 210.00
Chamika Karunaratne not out 23 16 0 2 143.75
Maheesh Theekshana c Suryakumar Yadav b Shivam Mavi 1 4 0 0 25.00
Kasun Rajitha run out (Deepak Hooda ) 5 4 0 0 125.00
Dilshan Madushanka run out (Deepak Hooda ) 0 0 0 0 0.00


Extras 6 (b 0 , lb 1 , nb 1, w 4, pen 0)
Total 160/10 (20 Overs, RR: 8)
Bowling O M R W Econ
Hardik Pandya 3 0 12 0 4.00
Shivam Mavi 4 0 22 4 5.50
Umran Malik 4 0 27 2 6.75
Yuzvendra Chahal 2 0 26 0 13.00
Harshal Patel 4 0 41 2 10.25
Axar Patel 3 0 31 0 10.33