ආසියානු ක්‍රිකට් ශූරයින්ගේ ඉන්දීය සංචාරයට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2023

345

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් 2023 වසර ආරම්භයේ දී ම පැවැත්වෙන මේ තරගාවලියට එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත්.

තරගාවලිය ආරම්භ කරමින් පළමු විස්සයි විස්ස තරගය ජනවාරි 3 වැනිදා Mumbai හිදී පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව දෙවැනි විස්සයි විස්ස තරගය ජනවාරි 5 වැනිදා සහ තෙවැනි විස්සයි විස්ස තරගය ජනවාරි 7 වැනිදා පැවැත්වෙනු ඇත. එම තරග දෙක පිළිවෙළින් Pune හිදී සහ Rajkot හිදී පැවැත්වෙනු ඇත.

2022 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකාව ඉන්දියාවේ දී විස්සයි විස්ස තරගාවලියක් ක්‍රීඩා කළ අතර එම තරගාවලිය 3-0ක් ලෙස ජය ගත්තේ ඉන්දියාවයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මේ දක්වා විස්සයි විස්ස ක්‍රිකට් තරග 26ක් පවත්වා තිබෙන අතර ඉන්දියාව ඉන් තරග 17ක ජය හිමිකර ගන්නා විට, ශ්‍රී ලංකාව ඉන් තරග 8ක ජය තහවුරු කරගෙන තිබෙනවා. තවත් තරගයක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ඉන්දියාව තුල ද්විපාර්ශ්වික විස්සයි විස්ස තරග 13කට සහභාගී වී ඉන් ශ්‍රී ලංකාව තරග දෙකක ජය හිමිකර ගෙන තිබෙන නමුත්, එහි වැඩි තරග ප්‍රමාණයක් ජයගෙන තිබෙන්නේ ඉන්දියාවයි.

2016 වසරේ පෙබරවාරි මාසයේ Pune හිදී පැවැත්වුණු තරගයේ දී ශ්‍රී ලංකාව අවසන් වරට ඉන්දීය කණ්ඩායම ඉන්දියාවේ දී ම දී පරාජය කරන්නට සමත් වුනා. එම තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් වන දසුන් ශානක සහ කසුන් රාජිත මෙවර ඉන්දියාව බලා ගිය සංචිතයේ සිටින එකම ක්‍රීඩකයින් දෙදෙනායි.

ශ්‍රී ලංකා සංචිතයේ සිටින ක්‍රීඩකයින් අතරින් ඉන්දියාවට එරෙහිව විස්සයි විස්ස පිටියේ වැඩිම අත්දැකීම් ප්‍රමාණයක් තිබෙන ක්‍රීඩකයා වන්නේ නායක දසුන් ශානකයි. ඔහු විස්සයි විස්ස ඉනිම් 17ක දී ලකුණු 306ක් ලබාගෙන තිබෙන්නේ 25.50ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ද සහිතවයි. එසේම ධනංජය ද සිල්වා ඉනිම් 5ක දී ලකුණු 146ක් ලබාගෙන එහි දෙවැනි තැන සිටින්නේ 48.66ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහිතවයි.

පන්දු යවන්නන් සලකා බැලීමේ දී ශානක (කඩුලු 12) සහ විස්සයි විස්ස උපනායක ලෙස තේරී පත්වුණු වනිඳු හසරංග (කඩුලු 10) මේ සංචිතය තුල සිටින ක්‍රීඩකයින් අතරින් ඉන්දියාවට එරෙහිව ඉතිහාසය තුල හොඳින්ම දස්කම් දැක්වූ ක්‍රීඩකයින් දෙදෙනා වෙනවා.

LPL තරගාවලිය තුල දැක්වූ දස්කම් අනුව තරුණ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම නැවතත් ශ්‍රී ලංකා සංචිතයට පැමිණ තිබෙන නමුත්, LPL තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුනු අවිශ්ක ප්‍රනාන්දු හට කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයින් 11 තුල ස්ථානයක් සොයා ගැනීම අපහසු වෙනු ඇති.

ඒ අනුව පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් සුපුරුදු පරිදි විස්සයි විස්ස කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙන අතර භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, චරිත් අසලංක සහ දසුන් ශානක මැදපෙළ පිතිකරුවන් ලෙස ක්‍රීඩා කරනු ඇත.

මුම්බායි හි Wankhede Stadium හිදී පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ දී වේගපන්දු යවන්නන්ට තරමක් හිතකර වන අතර, වනිඳු හසරංග චාමික කරුණාරත්න තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසත්, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත සහ ලහිරු කුමාර ප්‍රධාන පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙනවා.

  • ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය – දසුන් ශානක (නායක), වනිඳු හසරංග (විස්සයි විස්ස උප නායක), කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, අශේන් බණ්ඩාර, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ඩිල්ශාන් මදුශංක, ප්‍රමෝද් මදුශාන්, ලහිරු කුමාර, නුවන් තුෂාර

Hardik Pandyaගේ නායකත්වයෙන් යුතුව තරගාවලියට අවතීර්ණ වෙන ඉන්දියාව දෙස අවධානය යොමු කිරීමේ දී ඔවුන්ගේ නවක ක්‍රීඩකයින් හට මේ සංචිතය තුල වැඩි ඉඩක් ලැබී තිබෙනවා. ඉන්දීය කණ්ඩායම ඉතිහාසයේ වාසිය සහිතව සහ සිය නිජබිමේ වාසිය ඇතිව මේ තරගාවලියට අවතීර්ණ වෙනවා.

මේ ඉන්දීය සංචිතය තුල සිටින ආරම්භක පිතිකරු Ishan Kishan ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරග 3ක දී ලකුණු 125ක් ලබාගෙන තිබෙන්නේ 60කට වැඩි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. එසේම ඔහුගේ සහායක ආරම්භක පිතිකරු Shubman Gill හෙට (3) පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ දී ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගැනීමට වැඩි ඉඩක් තිබෙන බව ද වාර්තා වෙනවා.

පන්දු යවන්නන් සලකා බැලීමේ දී Yuzvendra Chahal ඉනිම් 10ක දී කඩුලු 20ක් දවාගෙන ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස ඉතිහාසයේ වැඩිම කඩුලු දවා ගත් සාර්ථකම පන්දු යවන්නා ලෙස ඉදිරියෙන් සිටිනවා. නායක Hardik Pandya මේ සංචිතයේ සිටින ක්‍රීඩකයින් අතරින් දෙවැනි වැඩිම කඩුලු ලාභියා ලෙස ඉදිරියෙන් සිටිනවා.

ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුව තුල ප්‍රධාන වමත් පිතිකරුවන් දෙදෙනෙක් සිටින නිසා පන්දුවෙන් මෙන්ම පිතිකරණයෙන් ද දස්කම් දැක්විය හැකි Axar Patel මේ තරගාවලියේ දී ප්‍රධාන අවධානයක් යොමු වන ක්‍රීඩකයෙක්. Arshdeep Singh, Harshal Patel, Umran Malik සංචිතයේ සිටින ප්‍රධානතම වේගපන්දු යවන්නන් තිදෙනායි.

  • ඉන්දීය විස්සයි විස්ස සංචිතය – Hardik Pandya (Captain), Ishan Kishan (wk), Ruturaj Gaikwad, Shubman Gill, Suryakumar Yadav (VC), Deepak Hooda, Rahul Tripathi, Sanju Samson, Washington Sundar, Yuzvendra Chahal, Axar Patel, Arshdeep Singh, Harshal Patel, Umran Malik, Shivam Mavi, Mukesh Kumar.

කණ්ඩායම් දෙකම සලකා බැලීමේ දී ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් රැසක් මේ තරගාවලියේ දී විවේක ගන්වා තිබෙන අතර ඔවුන් තරුණ ක්‍රීඩකයින් සඳහා වැඩි අවස්ථාවක් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

එසේම ශ්‍රී ලංකාව තරුණ සහ අත්දැකීම් තිබෙන හොඳම සංචිතයක් මේ තරගාවලිය වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන නිසා ඉතාමත් හොඳ උණුසුම් තරගාවලියක් දැකගන්නට ප්‍රේක්ෂකයින් සියල්ලටම අවස්ථාව ලැබෙනු නිසැකයි.

පළමු තරගයට අපේක්ෂිත කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව – කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), පැතුම් නිස්සංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ලහිරු කුමාර
  • ඉන්දියාව – Ishan Kishan (wk), Shubman Gill, Suryakumar Yadav (VC), Sanju Samson, Hardik Pandya (C), Deepak Hooda, Axar Patel, Yuzvendra Chahal, Arshdeep Singh, Harshal Patel, Umran Malik

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් වරට පැවති විස්සයි විස්ස තරගය වූයේ ආසියානු කුසලාන තරගාවලිය යටතේ පැවති තරගයයි. එම තරගයෙන් කඩුලු 6ක සුපිරි ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා.

තරග කාලසටහන,

  • පළමු විස්සයි විස්ස තරගය – ජනවාරි 3 – Mumbai
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජනවාරි 5 – Pune
  • තෙවැනි විස්සයි විස්ස තරගය – ජනවාරි 7 – Rajkot
  • පළමු එක්දින තරගය – ජනවාරි 10 – Guwahati
  • දෙවැනි එක්දින තරගය – ජනවාරි 12 – Kolkata
  • තෙවැනි එක්දින තරගය – ජනවාරි 15 – Trivandrum

විස්සයි විස්ස තරගාවලියට පසුව දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ පළමු තරගය ජනවාරි 10 වැනිදා Guwahati හිදී ආරම්භ වනු ඇත. එහි දෙවැනි සහ අවසන් එක්දින තරගය ජනවාරි 12 සහ 15 දිනවල පිළිවෙළින් Kolkata සහ Trivandrum හිදී පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් මේ එක්දින තරගාවලිය ICC එක්දින සුපර් ලීගයට අදාළ වන්නේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය පිළිබඳ සියලු පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<