මොමිනුල් සහ මුශ්ෆිකර්ගෙන් වාර්තා ගත ඉනිමක්

1367

වමත් පිතිකරු මොමිනුල් හක් සහ දකුණත් පිතිකරු මුශ්ෆිකර් රහීම් එක්ව තෙවැනි කඩුල්ලට වාර්තා ගත ලකුණු සබඳතාවක් ගොඩ නගමින් බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද (31) ආරම්භ කෙරුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ සම්පූර්ණ ගෞරවය තමන් වෙත රඳවා ගැනීමට සමත් වූහ.

[rev_slider LOLC]

චිතගොන් පිටියේ පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනයට බේල්ස් ඉවත් කෙරෙන විට බංග්ලාදේශ ක්‍රීඩකයෝ රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව කඩුලු 4ක් දැවී 374කි.

වසර හතරකට පසුව චිතගොන් ක්‍රීඩාංගණය දෙරට අතර තරගයකට විවර කරමින් බංග්ලාදේශ නායක මහමදුල්ලා සහ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසියහ. තරග තීරක ඩේව්ඩ් බූන් අතින් ඉහළට නැගී කාසිය බිම පතිත වෙද්දී සත්කාරක නායකයාගේ නිගමනය නිවැරදි වීමෙන් කාසියේ වාසිය තමන් සන්තක කර ගැනීමට බංග්ලාදේශය සමත් විය. ඒ අනුව ඔවුන්ගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීමයි.

නායකයාගේ අණත් සමඟින් පළමු කඩුල්ලට පිටියට පිවිසි තමීම් ඉක්බාල් සහ ඉම්රුල් කයිස් ඉනිම ආරම්භ කළේ කිසිදු අපහසුවකින් තොරවය. වරෙක ඔවුන්ගේ පිතිකරණය එක්දින තරගයකට සමාන විය. කෙසේ වෙතත් දිල්රුවන් පෙරේරාගේ පන්දුවක් තමිම් ඉක්බාල්ගේ පිත්ත පරාජය කරමින් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් මේ වමත් පිතිකරුවන්ගේ පළමු කඩුල්ලේ සබඳතාව බිඳී ගියේය. ඒ වන විට ලකුණු පුවරුව 72 නතරව තිබුණි. තම 25 වැනි ටෙස්ට් අර්ධ ශතකය පන්දු 46ක දී වාර්තා කළ තමීම් දැවී යන විට පන්දු 53ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා සිටියේය.

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට යම් තරමකින් සැනසීමක් ලැබුණේ දිවා විවේකයට ප්‍රථම ලක්ෂාන් සඳකැන් විසින් යැවුණ පන්දු වාරයේ හතර වැනි පන්දුවේ දී ඉම්රුල් කයිස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු 40කට දවා ගැනීමෙනි. එම දැවී යෑමත් සමඟින් දහවල් විවේකය සඳහා තරගය නතර කෙරුණ අතර ඒ වන විට ලකුණු පුවරුව දිස් වූයේ කඩුලු 2කට ලකුණු 120ක් ලෙසිනි.

ජයග්‍රහණයේ උණුසුම මැද ඇරඹෙන ටෙස්ට් තරගාවලියට පෙර

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (31) ආරම්භ වන අතර එහි පළමු ටෙස්ට් තරගය චිතගොන් හිදී පැවැත්වෙනු ඇත. මේ එම තරගාවලියට පෙර විමසුමයි. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී බංග්ලාදේශ පරාජය කරමින් ලකුණු 79ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

දිවා විවේකය වෙද්දී ලකුණු 26ක් ලබා නොදැවී පිටියේ රැඳී සිටි වමත් පිතිකරු මොමිනුල් හක් සමඟින් එකතු වූ මුස්ෆිකර් රහීම් තරගයේ එම කාර්තුව තමන් වෙනුවෙන්ම ලියවා ගත්හ. වමත් දකුණත් මේ අපූරු සුසංයෝගය එතැන් සිට තේ විවේකය දක්වා තම කඩුලු ආරක්ෂා කර ගනිමින් ලකුණු පුවරුව 250 දක්වා රැගෙන ආහ.

එම කාර්තුවේ දී මොමිනුල් හක් තම ටෙස්ට් තරග දිවියේ 5 වැනි ශතකය තමන් මුහුණ දුන් 96 වැනි පන්දුවේ දී ලබා ගැනීමට සමත් වන්නේ ය. මීට ප්‍රථම චිතගොන් පිටියේ දී ම මීට වසර 4කට ප්‍රථම 2014 වසරේ පෙබරවාරියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව නොදැවී ලකුණු 100ක් වාර්තා කළ මොමිනුල් මේ රැස් කළේ ශ්‍රී ලංකාවට එරෙහි 2 වැනි ශතකයයි.

මෙම ශතකය බංග්ලාදේශය වෙනුවෙන් රැස් කරන ලද වේගවත්ම ශතකයේ වාර්තාව පන්දු දෙකකින් අහිමි කර ගැනීමක් ලෙසින් ද සටහන් වේ. මෙහි වාර්තාව වන්නේ තමීම් ඉක්බාල් විසින් එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් පිටියේ දී පන්දු 94කදී රැස් කරන ලද ශතකයයි.

තේ විවේකයෙන් අනතුරුව බංග්ලාදේශ ටෙස්ට් තරග ඉතිහාසයේ තෙවැනි කඩුල්ලේ හොඳම ලකුණු සබඳතාව වාර්තා කිරීමට මොමිනුල් සමත් වූයේ තමීම් ඉක්බාල්ගේ නම වෙනුවට ඊට මුශ්ෆිකර් රහීම්ගේ නම එක්කර ගනිමිනි. මීට ප්‍රථම 2013 වසරේ දී නවසීලන්තයට එරෙහිව ඩකා ක්‍රීඩාංගණයේ දී ලකුණු 157ක් ලෙසින් මේ වාර්තාව ලියැවී තිබුණේ මොමිනුල් සහ තමීම් ඉක්බාල්ගේ නම් ඉදිරියෙනි.

දිනයේ තෙවැනි කාර්තුවේ 25 වැනි පන්දු වාරයේ දී නව පන්දුව ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හිසරදයක් වන් මේ ක්‍රීඩකයන් දෙදෙනාගේ සබඳතාව බිඳ හෙළීමට ගැසිය යුතු සෑම තුරුම්පුවක් ගසන්නට වන්නේ නව පන්දුවෙන් පළමුව පන්දු යැවීමට රංගන හේරත් කැඳවමිනි.  

එසේ වූවත් දෙවැනි නව පන්දුවෙන් වාසි ගැනීමට සමත් වූයේ උප නායක සුරංග ලක්මාල් ය. නව පන්දුවේ සිව්වැනි පන්දු වාරයේ 5 වැනි පන්දුවේ දී මේ වාර්තාගත කඩුලු සබඳතාව බිඳ හෙළීමට ලක්මාල් සමත් වෙන්නේ කඩුල්ල පිටුපස සිටිමින් ඉතා පහසු උඩ පන්දුවක් රැක ගන්නා නිරෝෂන් දික්වැල්ලගේ ද සහාය හේතුවෙනි.

ශතකයට ලකුණු 8ක් මෙපිටින් සිටි මුශ්ෆිකර් රහීම් පන්දු 192ක දී හතරේ පහර 10ක් සමඟින් තම කඩුල්ල අහිමි කර ගනිද්දී බංග්ලාදේශ ඉනිම 356ක්ව තිබුණි.  

මොමිනුල් සහ මුශ්ෆිකර් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට එක් වූ ලකුණු සංඛ්‍යාව 236ක් වන අතර එය බංග්ලාදේශ ටෙස්ට් තරග ඉතිහාසයේ තෙවැනි කඩුල්ලේ හොඳම ලකුණු සංඛ්‍යාව මෙන්ම බංග්ලාදේශය වෙනුවෙන් වන ඕනෑම කඩුල්ලක් සඳහා වන තෙවැනියට ලැයිස්තු ගත වූ හොඳම ලකුණු සබඳතාව ද වන්නේය.

එම දැවී යෑමෙන් අනතුරුව යැවුණ පළමු පන්දුවෙන් ලිට්න් දාස් දවා ගැනීමට ලක්මාල් සමත් වූයේ දිනයේ හොඳම පන්දු යවන්නා බවට පත් වෙමිනි. දිනය අවසානයේ ඔහුගේ පන්දු යැවීම කියවුණේ 17-3-43-2ක් ලෙසිනි.

මොමිනුල් අද තම ටෙස්ට් දිවියේ ලකුණු 2000 වාර්තා කිරීමට සමත් වූයේ එම දක්ෂාව වෙනුවෙන් අඩුම ඉනිම් සංඛ්‍යාවකට (47) සහභාගී වූ බංග්ලාදේශ ක්‍රීඩකයා ලෙසිනි. මීට ප්‍රථම මෙකී වාර්තාවේ හිමිකාරීත්වය තමීම් ඉක්බාල් (53) සතු විය. රංගන  හේරත් විසින් යැවුණ, ඉනිමේ 81 වැනි පන්දු වාරයේ 5 වැනි පන්දුවේ දී එල්ල කෙරුණ යෝධ හයේ පහරක් සමඟින් මොමිනුල් මෙම කඩඉම පසු කළේය.

ජයග්‍රහණය සාමකාමීව සමරන්න; මේ වසන්තය නොවේ

“ඔව්, ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි” චිංගිස් අයිත්මාතව් නම් සුප්‍රකට ලේඛකයා විසින් රචනා කරනු ලදුව , දැදිගම වී. රුද්‍රිගු විසින් ‘ ගුරු ගීතය ‘ නමින් සිංහලට අනුවාදනය කරනු ලැබූ ග්‍රන්ථයේ එන මේ පද පෙළ ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ගේ උදාන වාක්‍ය බවට පත්ව තිබුණේ බොහෝ කලක සිටයි.

දිනය අවසන් වන විට මොමිනුල් හක් පන්දු 203කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 175ක් ලබා සිටියේය. මෙම ඉනිම ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම දෙවැනි ඉනිම ලෙසින් ද සටහන් වේ.

අනෙක් අන්තයෙන් ලකුණු 9ක් ලබා සිටින නායක මහමුදුල්ලා පිටියේ රැඳී සිටී.

දඟපන්දු යවන්නන්ට වඩාත් උචිත තණතිල්ලකැයි පැවසෙන චිතගොන් තණතිල්ලේ අද ශ්‍රී ලංකා දඟපන්දු යවන්නෝ සිව්දෙනෙක් විසින් පන්දු වාර 61ක් යැවුණ ද ලබා ගත හැකි වූයේ කඩුලු 2ක් පමණක් වීම කැපී පෙණේ. එම කඩුලු 2 ලබා ගැනීම සඳහා ඔවුන් ලබා දුන් ලකුණු සංඛ්‍යාව 267කි.

අද තරගයට සත්කාරක බංග්ලාදේශ ක්‍රීඩකයෝ සහභාගී වූයේ 28 හැවිරිදි සුන්සාමුල් ඉස්ලාම්ට ටෙස්ට් වරම් ලබා දෙමිනි. පළමු පෙළ කඩුලු 224ක් ලබා ඇති ඔහු මෙම තරගයට කැඳවා ඇත්තේ වමත් දඟපන්දු යවන්නෙක් ලෙසිනි.

බංග්ලාදේශය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 374 (90.0) තමිම් ඉක්බාල් 52, ඉම්රුල් කයිස් 40, මොමිනුල් හක් නොදැවී 175, මුශ්ෆිකර් රහීම් 92, සුරංග ලක්මාල් 2/43

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<