මාලිංග හා සම වී මහේල අභිබවා යෑම

1229
Fastest t20 50 for Sri Lanka Featured

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දිය සංචාරයේ විස්සයි විස්ස තරගාවලියේ දෙවැනි තරගය අවසන් වෙන්නේ ශ්‍රී ලංකා පිතිකරුවෙක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග ඉතිහාසයේ ලබා ගත් වේගවත්ම අර්ධ ශතකය එක් කරමින්.

එහි හිමිකාරීත්වය දසුන් ශානක සතු වුනා. පන්දු 20ක දී වාර්තා වූ මෙම අර්ධ ශතකය, වසර 15ක් තිස්සේ රඳවා තබා තිබුණේ මහේල ජයවර්ධනගේ දක්ෂතා අතරයි.

දසුන් එදින ක්‍රීඩා කළේ මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම තරග ප්‍රමාණයකට ක්‍රීඩා කළ ලසිත් මාලිංග සතු වූ වාර්තාව සම කරමින්. මේ වෙද්දී ඔවුන් දෙදෙනා සහභාගී වී ඇති ජාත්‍යන්තර විස්සයි විස්ස තරග ප්‍රමාණය 84ක්.

ශ්‍රී ලංකා විස්සයි විස්ස පිටියේ වේගවත් ම අර්ධ ශතකලාභී ලැයිස්තුව

Player 50s Runs Opposition Ground 4s 6s
1 දසුන් ශානක 20 56* (22) ඉන්දියාව Pune 2 5
2 මහේල ජයවර්ධන 21 65 (27) කෙන්යාව Johannesburg 6 2
3 කුමාර් සංගක්කාර 21 78 (37) ඉන්දියාව Nagpur 6 2
4 කුසල් පෙරේරා 22 66 (37) ඉන්දියාව ආර්. ප්‍රේමදාස 5 3
5 සනත් ජයසූරිය 23 51* (23) නවසීලන්තය Wellington 10 1

මෙම ලැයිස්තුව 10 දෙනෙක් දක්වා දිගු වෙද්දී එහි ස්ථාන 2ක් වෙන් කර ගැනීමට දසුන් සමත් වීම කැපී පෙනෙනවා. ඒ ඔහු මීට මාස 6කට පෙර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී සංචාරක ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දු 25ක දී නොදැවී ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වීමත් සමඟින්. එම දක්ෂතාවට ඔහුට මෙම ලැයිස්තුවේ හිමි වෙන්නේ 8 වැනි ස්ථානයයි.

මෙම ලැයිස්තුවේ නොවූවත් මෙරට ඉතිහාසයේ වේගවත් ම විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමි වෙන්නේ ටී. එම්. ඩිල්ෂාන් වෙතයි. ඔහු 2014 වසරේ දී එංගලන්තයේ Sussex කණ්ඩායමට එරෙහිව පන්දු 18ක දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වෙනවා.

එය 100 දෙනෙක්ගෙන් යුත් විස්සයි විස්ස පිටියේ වේගවත් ම අර්ධ ශතකලාභී ලැයිස්තුවේ 64 වැනි අසුනට පත් දක්ෂතාව ලෙසිනුයි සටහන් වෙන්නේ. කෙසේ වෙතත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ මෙරට ක්‍රීඩකයන් අතරින් මෙතෙක් වැඩිම ලකුණු ලබා සිටින ක්‍රීඩකයා ලෙසින් තව දුරටත් තම ස්ථානය රඳවා තබා ගැනීමට ඩිල්ෂාන් සමත් ව සිටිනවා.

දසුන් ශානක (2023)

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී Dharamsala ක්‍රීඩාංගණයේ දී ඉන්දියාවට එරෙහිව පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 74ක් ලබා ගනිමින් තම විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ හොඳම ඉනිම ක්‍රීඩා කරන දසුන් ඊට වසරක් ආසන්න වෙද්දී ඔවුන්ට ම එරෙහි ව මේ දක්ෂතාව දැක්වීම කැපී පෙනෙනවා.

මෙම ලැයිස්තුවට එක් වූ ක්‍රීඩකයන් අතරින් පසුපෙළින් පිටියට පිවිස දක්ෂතා දැක්වූවන් අතර පළමු අසුන ද දසුන් වෙන් කර ගන්නවා. ඔහු මෙම තරගයේ දී පිටියට පිවිසෙන්නේ අංක 6 පිතිකරු ලෙසිනුයි.

ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 110ක් ව පැවතුණා. එතැන් සිට 5 වැනි කඩුල්ල වෙනුවෙන් චරිත් අසලංක සමඟ ලකුණු 28ක සබඳතාවක් එක් කරන දසුන්, චාමික කරුණාරත්න සමඟ එක් වෙමින් 7 වැනි කඩුල්ල සඳහා නොදැවුණ ලකුණු 68ක සබඳතාවක් ගොඩ නගනවා.

Batting How Out Bowler R B 4s 6s SR
දසුන් ශානක Not Out 56 22 2 6 254.54

දසුන්ගේ මෙම දක්ෂාවත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 206ක් ලබා ගන්නා ලද අතර ප්‍රතිවාදීන්ට පිළිතුරු ඉනිමේ දී ලබා ගත හැකි වන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 190ක් පමණයි.

එම තරගයේ දී ලකුණු 16ක ජයග්‍රහණයක් ලබා ගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලිය 1-1ක් ලෙස සම කර ගැනීමට සමත් වෙනවා. තරගයේ වීරයා සම්මානය දිනා ගන්නේ දසුන් ශානකයි.

මහේල ජයවර්ධන (2007)

කෙන්යාවට එරෙහිව නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරන මහේල ජයවර්ධන මෙම දක්ෂතාව දක්වන්නේ 2007/2008 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයේ දී.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 260ක් ලබා ගන්නවා. එය මෙරට තරග ඉතිහාසයේ එතෙක් මෙතෙක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

එම තරගයේ දී අංක 4 ස්ථානයෙන් පිටියට පිවිසෙන මහේල, සනත් ජයසූරිය හා එක් ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වෙනවා.

Batting How Out Bowler R B 4s 6s SR
මහේල ජයවර්ධන LBW Jimmy Kamande 65 27 9 2 240.74

ප්‍රතිවාදී කෙන්යානුවන්ට එම තරගයේ දී ලබා ගැනීමට ලැබෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 88ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු172ක ජයග්‍රහණයක් හිමි වෙනවා.

මෙම තරගයේ දී ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි සනත් ජයසූරිය පන්දු 44ක දී හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 88ක ලබා ගන්නා ලද අතර ඔහු තරගයේ වීරයා ලෙසින් නම් කෙරෙනවා. මෙම ඉනිම ජයසූරියගේ විස්සයි විස්ස පිටියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

කුමාර් සංගක්කාර (2009)

තරග 2කින් යුත් ඉන්දීය සංචාරයේ දී කුමාර් සංගක්කාර විසින් මෙම ඉනිම වාර්තා කරන ලද්දේ දෙරට අතර පැවති පළමු තරගයේ දී.

කණ්ඩායමේ නායකයා ද වූ සංගක්කාර අංක 3 ස්ථානයෙන් පිටියට පිවිසෙමින් මෙම දක්ෂතාව දැක්වීමේ දී චාමර කපුගෙදර (45) සමඟ එක් වෙමින් සිව්වැනි කඩුල්ලට පන්දු 21ක දී ලකුණු 69ක සබඳතාවක් ද එක් කරනවා.

පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සංගක්කාරගේ මෙම දක්ෂතාව ද සමඟින් කඩුලු 5ක් දැවී ලකුණු 215ක් ලබා ගන්නවා. එය ඉන්දියාවට එරෙහිව විස්සයි විස්ස තරගයක දී මෙතෙක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වෙනවා.

Batting How Out Bowler R B 4s 6s SR
කුමාර සංගක්කාර Run Out 78 37 11 2 210.81

පිළිතුරු ඉනිමේ දී ඉන්දීය ක්‍රීඩකයන් කඩුලු 9කට ලකුණු 186කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වෙනවා.

මෙම ඉනිම සංගක්කාරගේ විස්සයි විස්ස තරග දිවියේ හොඳම ඉනිම ලෙසින් වාර්තා වූ අතර තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගන්නේ ද කුමාර් සංගක්කාර විසින්.

කුසල් පෙරේරා (2018)

මෙරට දී පැවති තුන්කොන් නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී කුසල් පෙරේරා මෙම දක්ෂතාව දක්වනවා.

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හඹා යන ඉනිමේ අංක 3 පිතිකරු ලෙසින් පිටියට පිවිසෙන කුසල්, ධනුශ්ක ගුණතිලක (19) සමඟ දෙවැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් ද, දිනේෂ් චන්දිමාල් (14) සමඟ තෙවැනි කඩුල්ලට ලකුණු 28ක සබඳතාවක් ද සහ උපුල් තරංග (17) සමඟ සිව්වැනි කඩුල්ලට ලකුණු 29ක සබඳතාවක් ද ගොඩ නගනවා.

Batting How Out Bowler R B 4s 6s SR
කුසල් පෙරේරා St. Dinesh Karthik Washington Sundar 66 37 6 4 178.37

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 174ක් වාර්තා කරන ලද අතර පිළිතුරු ඉනිමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් පන්දු 9ක් ඉතිරිව තිබිය දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 175ක් ලබා ගනිමින් තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් හිමිකර ගන්නවා.

මෙම තරගයේ වීරයා ලෙසින් නම් කෙරෙන්නේ ද කුසල් පෙරේරා.

සනත් ජයසූරිය (2006)

නවසීලන්තයට එරෙහිව හඹා යන ඉනිමේ දී ජයසූරිය මේ දක්ෂතාව දැක්වීමට සමත් වෙනවා.

මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුක්තව තරග 2කින් යුත් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව සහභාගී වූ අතර මෙම තරගය දෙරට අතර විස්සයි විස්ස තරග ඉතිහාසයේ පැවති පළමු තරගය ද වුනා. ඊට පෙර ඔවුන් සහභාගී වී සිටියේ එංගලන්තය සමඟ තරගයකට පමණයි. කෙසේ වෙතත් එම තරගයේ ජයග්‍රහණය ද ශ්‍රී ලංකාව සතු වුනා.

එම වාසියත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම තරගයට පිවිසෙන්නේ චාමර සිල්වා, මුත්තයියා මුරලිදරන්, මාවන් අතපත්තු සහ චමින්ද වාස් යන කෝඩුකාර ක්‍රීඩකයෝ ද කණ්ඩායමට එක්කර ගනිමින්. එම තරගය නවසීලන්තයේ පසුකාලීන ක්‍රිකට් වීරයෙක් බවට පත් වූ Ross Taylorගේ ද මංගල තරගය වුනා.

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 162ක් ලබා ගන්නවා. එහි දී පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ජයසූරිය ලකුණු 21කට කඩුලු 3ක් දවා ගන්නවා.

පිළිතුරු ඉනිමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පන්දුවට පහර දීමට ලැබෙන්නේ පන්දුවාර 5.5ක පන්දු 35කට පමණයි. වර්ෂාව හේතුවෙන් තරගය එම අවස්ථාවේ නතර වන විට ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 62ක් ලබා සිටියා.

Batting How Out Bowler R B 4s 6s SR
සනත් ජයසූරිය Not Out 51 23 10 1 221.73

තරගයේ විසඳුම ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ගණනය වෙද්දී ඔවුන්ට අවශ්‍ය තිබුණේ ලකුණු 45ක් පමණයි. ඒ අනුව එම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 18ක ජයක් හිමි වෙනවා. තුන් ඉරියව්වෙන් දක්ෂතා පෑ සනත් ජයසූරිය තරගයේ වීරයා ලෙසින් නම් කෙරෙනවා.

ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<