Home Sinhala සූර්යාගේ රශ්මියෙන් ශ්‍රී ලංකා තරගාවලි බලාපොරොත්තු දැවී අළු වෙයි!

සූර්යාගේ රශ්මියෙන් ශ්‍රී ලංකා තරගාවලි බලාපොරොත්තු දැවී අළු වෙයි!

ශ්‍රී ලංකා පිළේ ඉන්දීය තරග සංචාරය - තෙවැනි විස්සයි විස්ස තරගය

1374

දශක ගණනක් පුරාවට විහිදී යන ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවට ඉන්දියාව තුල දී ම මුල්වරට ද්වීපාර්ශවික තරගාවලි ජයක් එක්කාසු කිරීමට තිබූ අවස්ථාවක් අද (07) ගිලිහී ගියා.

ඒ ලොව අංක එකේ විස්සයි විස්ස පිතිකරුවා වන Surya Kumar Yadavගේ ප්‍රවේගකාරී පිතිකරණය හමුවේ ශ්‍රී ලංකාවට තෙවැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 91ක දැවැන්ත පරාජයක් හිමි වූ නිසයි.

ශ්‍රී ලංකාව අද තරගයට පිවිස තිබුණේ ආසියා කුසලානයෙන් පසු තරමක පසුබෑමකට ලක්ව සිටින භානුක රාජපක්ෂ වෙනුවට LPL තරගාවලියේ ලකුණු අතර සිටි අවිශ්ක ප්‍රනාන්දු කැඳවමිනුයි. පසුගිය තරගය පරාජයට පත්වුව ද, ඉන්දීය කණ්ඩායම එම ක්‍රීඩකයින් පිළිබඳවම තවදුරටත් විශ්වාසය තබා තිබුණා.

තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකා කණ්ඩායම : දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ඩිල්ෂාන් මධුශංක.

ඉන්දීය කණ්ඩායම : Hardik Pandya (නායක), Ishan Kishan, Shubman Gill, Suryakumar Yadav, Rahul Thripathi, Deepak Hooda, Axar Patel, Arshdeep Singh, Yuzvendra Chahal, Shivam Mavi, Umran Malik.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අද පන්දු යැවීම ඇරඹූ ඩිල්ෂාන් මධුශංක තම සිව්වැනි පන්දුවේ දී ම කඩුලු දඩයම ආරම්භ කළා. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව ඉතාමත් හොඳ පිතිකරණ වාර්තා සහිත Ishan Kishanව එක් ලකුණකට පිටියෙන් ඉවත් කරමිනුයි.

එම පන්දුවාරයේම අවසන් පන්දුවට Rahul Tripathi එල්ල කළ පහර කුසල් මෙන්ඩිස්ගේ අත් ආවරණවල දැවටී හතරේ සීමාව වෙත ඇදී ගිය අතර එය ඒ වන විට විස්තර විචාරයේ යෙදී සිටි කුමාර් සංගක්කාර වැනි විශිෂ්ටතම කඩුලු රකින්නෙකුට මිස රැක ගැනීම ඉතා අපහසු උඩපන්දුවක් ලෙස සැලකිය හැකි.

පසුගිය තරගයේ දී ලබා ගත් රිද්මය එලෙසින්ම රඳවා ගත් කසුන් රාජිත අද දෙවැනි පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් ලෙසින් නිමා කළා. කෙසේ නමුත් ගිලිහුණු ලකුණු වේගය ඉදිරි පන්දුවාරවල දී සපුරා ගන්නට Rahul Tripathi සහ Shubman Gill ප්‍රහාරාත්මක පිතිකරණයක් දියත් කළා.

එය නිමා වන්නේ චාමික කරුණාරත්නට පිට පිටම හයේ පහර 2ක් එල්ල කළ Tripathi සූක්ෂමව ලබා ගැනීමට ගිය හතරේ පහරක් මධුශංකගේ දෑතේ රැඳීමෙනුයි. ඒ වන විට ඔහු පන්දු 16කට පමණක් මුහුණ දෙමින් ලකුණු 35ක් ලබා සිටියා.

ශ්‍රී ලංකාව නිරුත්තර කළ ප්‍රහාරය ඇරඹෙන්නේ එතැන් සිටයි. එහි දී කිසිදු පන්දු යවන්නෙකුව තඹයකට මායිම් නොකළ Suryakumar සහ Gill තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක් එක් කරන්නේ පන්දු 59ක් තුල දීයි. තම මංගල තරගාවලිය ක්‍රීඩා කරන Shubman Gill අද පන්දු 36ක දී ලකුණු 46ක් රැස්කර ගත්තා.

මෙම භයානක සම්බන්ධතාවය දළු ළා වැඩෙන අතරේ නායක ශානක සයවැනි පන්දු යවන්නෙක් ලෙස ධනංජය ද සිල්වා හෝ තමා පිළිබඳව විශ්වාසය නොතැබීම ද තුරුම්පු අපතේ හැරීමක් පමණක් වුනා. ධනංජයගේ පන්දු යැවීම වමත් පිතිකරුවන්ට වඩා ප්‍රතිඵලදායක වුවද, දසුන් විශේෂඥ පන්දු යවන්නෙකු නොවූවද අනෙක් සියලු බර අවි නිශ්ක්‍රීය මොහොතක එවැනි විකල්පයක් අත්හදා නොබැලීමේ ඵලය කුමක්ද?

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසි සේ පහර දෙමින් රාජ්කොට් අහසේ පන්දුව රඳවා තැබූ Yadav අද ඉනිම නිමා වන විට නොදැවී ලකුණු 112ක් ලබා සිටියා. විශේෂයෙන්ම Paddle Sweep පහර හොඳින් එල්ල කිරීමට නම් දරා සිටින Yadav වැනි පිතිකරුවෙකුට Deep Fine Leg පන්දු රකින්නෙකු පවා නොමැතිව පන්දු යැවීම නිසා කිසිදු චකිතයකින් තොරව පහරවල් කරා ගිය ඔහු තම ඉනිමට වැය කළේ පන්දු 51ක් පමණයි.

ඉනිමේ අවසන් කොටසේ දී පන්දු 9කින් ලකුණු 21ක් ලබා ගැනීමට Axar Patel සමත් වූ අතර ඉන්දීය කණ්ඩායම තම පන්දුවාර 20 ලකුණු 228-5ක් ලෙස අවසන් කළා. පන්දුකරණයේ යෙදුණු පන්දු යවන්නන් පස් දෙනාටම ඉන්දීය පිතිකරුවන්ගෙන් අනුකම්පා විරහිත සංග්‍රහයක් හිමි වෙද්දී, ඩිල්ශාන් මධුශංක කඩුලු 2කට හිමිකම් කිව්වා.

ශ්‍රී ලංකා පිතිකරණය ආරම්භ කරමින් පාණ්ඩ්‍යා යැවූ පළමු පන්දුවටම පිටියේ විනිසුරු විසින් පැතුම් නිශ්ශංක දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම් කළ ද, අවසන් මොහොතේ එය අභියෝගයට ලක් කිරීමට ගත් තීරණය ශ්‍රී ලංකා කණ්ඩායමට වාසනාව ගෙන ආවා. ඒ පුනරූපන අනුව එය කඩුල්ල මඟ හැර යන පන්දුවක් බව සනාථ වීම නිසයි.

නමුත් පැතුම් අද දිනයේ ක්‍රීඩා කළ ඉනිම ලකුණු 229ක් ලුහුබැඳ යාමට කිසිසේත්ම උචිත නොවූ අතර ඒ නිසා කුසල්ට වැඩි අවදානමක් දරාගෙන විශාල පහරවල් කරා යාමට සිදු වුනා. හතරේ පහර සහ හයේ පහර 2 බැගින් එල්ල කිරීමෙන් පසු ඉනිමේ මුල්ම කඩුල්ල ලෙස කුසල් දැවී ගියේ ලකුණු 23කටයි.

පැතුම් පන්දු 17ක් වැය කරමින් ලකුණු 15ක් ලබා සිටිය දී දැවී ගියා. විස්සයි විස්ස තරග 32ක දී 12ක ලකුණු සාමාන්‍යයක් සහ 94.64ක ප්‍රහාරක වේගයක් සහිතව සැලකිය යුතු යමක් ඔප්පු කර පෙන්වීමට නොහැකි වූ අවිශ්ක ප්‍රනාන්දු අද තම පුනරාගමනය අසාර්ථක කර ගත්තේ එක් ලකුණකට දැවී යමිනුයි.

චරිත් අසලංක (19) අද පැවරී ඇති රාජකාරියට සුදුසු ආරම්භයක් ලබා ගත්ත ද, Shivam Mavi විසින් හතරේ සීමාව අසල රැකගත් විශිෂ්ට උඩපන්දුවක් නිසා අවාසනාවන්ත ලෙස පිටිය හැර යාමට සිදු වුනා. එම අඩිපාරේම ගමන් ගත් ධනංජය සිල්වා පන්දු 14ක දී ලකුණු 22ක් රැස් කළා. ඉන්දීය පන්දු යවන්නන් මෙවැනි පිතිකරණ පාරාදීසයක පන්දු යැවූ සහ පිටිය සැකසූ ආකාරයෙන් ශ්‍රී ලංකාවට පාඩම් රැසක් ඉගෙන ගත හැකි.

මේ අනුව ශ්‍රී ලංකා ඉනිම අද ලකුණු 137කට බිඳ වැටුණේ ඉන්දීය කණ්ඩායමට ලකුණු 91ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා දෙමිනුයි. පන්දු යැවීමේ දී පසුගිය තරගයේ No Ball පන්දු 5ක් යැවීම නිසා දැඩි විවේචනයට පාත්‍ර වූ Arshdeep Singh අද තම වැරදි නිවැරදි කර ගනිමින් ලකුණු 20කට කඩුලු 3ක් බිඳ හෙළුවා. මීට අමතරව Umran Malik, Yuzvendra Chahal සහ නායක Pandya අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා සම්මානයට කලාතුරකින් දැකිය හැකි වන ආකාරයේ මනරම් ඉනිමක් ක්‍රීඩා කළ Surya Kumar Yadav තරම් සුදුස්සෙකු සිටියේ නැහැ. තරගාවලියේ වීරයා ලෙස තුන් ඉරියව්වෙන්ම විශිෂ්ට දක්ෂතා දැක්වූ Axar Patel සම්මාන හිමිකර ගත්තා.

Result


India
228/5 (20)

Sri Lanka
137/10 (16.4)

Batsmen R B 4s 6s SR
Ishan Kishan c Dhananjaya de Silva b Dilshan Madushanka 1 2 0 0 50.00
Shubman Gill b Wanidu Hasaranga 46 36 2 3 127.78
Rahul Trpathi c Dilshan Madushanka b Chamika Karunaratne 35 16 5 2 218.75
Suryakumar Yadav not out 112 51 7 9 219.61
Hardik Pandya c Dhananjaya de Silva b Kasun Rajitha 4 4 0 0 100.00
Deepak Hooda  c Wanidu Hasaranga b Dilshan Madushanka 4 2 1 0 200.00
Axar Patel not out 21 9 4 0 233.33


Extras 5 (b 0 , lb 2 , nb 0, w 3, pen 0)
Total 228/5 (20 Overs, RR: 11.4)
Bowling O M R W Econ
Dilshan Madushanka 4 0 55 2 13.75
Kasun Rajitha 4 1 35 1 8.75
Maheesh Theekshana 4 0 48 0 12.00
Chamika Karunaratne 4 0 52 1 13.00
Wanidu Hasaranga 4 0 36 1 9.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Shivam Mavi b Arshdeep Singh 15 17 3 0 88.24
Kusal Mendis c Umran Malik b Axar Patel 23 15 2 2 153.33
Avishka Fernando c Arshdeep Singh b Hardik Pandya 1 3 0 0 33.33
Dhananjaya de Silva c Shubman Gill b Yuzvendra Chahal 22 14 2 1 157.14
Charith Asalanka c Shivam Mavi b Yuzvendra Chahal 19 14 2 0 135.71
Dasun Shanaka c Axar Patel b Arshdeep Singh 23 17 0 2 135.29
Wanidu Hasaranga c Deepak Hooda  b Umran Malik 9 8 1 0 112.50
Chamika Karunaratne lbw b Hardik Pandya 0 2 0 0 0.00
Maheesh Theekshana b Umran Malik 2 5 0 0 40.00
Kasun Rajitha not out 9 4 2 0 225.00
Dilshan Madushanka b Arshdeep Singh 1 2 0 0 50.00


Extras 13 (b 0 , lb 1 , nb 1, w 11, pen 0)
Total 137/10 (16.4 Overs, RR: 8.22)
Bowling O M R W Econ
Hardik Pandya 4 0 30 2 7.50
Arshdeep Singh 2.4 0 20 3 8.33
Shivam Mavi 1 0 6 0 6.00
Axar Patel 3 0 19 1 6.33
Umran Malik 3 0 31 2 10.33
Yuzvendra Chahal 3 0 30 2 10.00




[/vc_column_text]

දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ මුල්ම තරගය එළැඹෙන 10 වැනිදා ගුවාහාති හිදී පැවැත්වීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1.30ටයි. මෙවර එක්දින ලෝක කුසලානය ද ඉන්දියාව කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබෙන නිසා මෙම තරගාවලිය ඊට පෙර ක්‍රීඩක දක්ෂතා මැන බැලීමට හොඳ මිනුම් දණ්ඩක් වනු ඇති.

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ සියලු තතු විත්ති සැණෙකින් ලබා ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<