පාකිස්තාන යොවුන් තරුවක් ඉන්දීය ක්‍රීඩකයෙකුගේ අඩිපාරේ

340

පාකිස්තානයේ නව පිතිකරණ තරුවක් වන හයිඩර් අලි තමා ආදර්ශයට ගන්නා ක්‍රීඩකයා ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා බව පසුගිය දා කියා සිටියා. 

ක්‍රිකට් ලෝකය තුල කීර්තිමත් ප්‍රතිවාදීන් වන ඉන්දියාව සහ පාකිස්තානය එකිනෙකා සමඟ ක්‍රීඩා කරන්නේ කලාතුරකිනි. ඒ ඉහල මට්ටමක පවතින කාශ්මීර දේශපාලන ආතතීන් නිසාවෙනි.

“රෝහිත් ෂර්මා තමයි මම ආදර්ශයට ගන්නා ක්‍රීඩකයා. ඔහු ඉන්දීය කණ්ඩායමට ආරම්භයක් ලබා දෙන ආකාරය ගොඩක් සුවිශේෂී. එය පුදුම සහගතයි” යැයි 19 හැවිරිදි හයිඩර් වාර්තාකරුවන්ට පැවසීය.

2011 අවසන් තරගය පාවා දුන්නා යැයි හිටපු ඇමතිගෙන් චෝදනාවක්!

“එය ටෙස්ට්, එක්දින ජාත්‍යන්තර හෝ විස්සයි විස්ස වේවා ඒ සෑම තරගයක දී ම ඔහු විශිෂ්ටයි. ඔහු යම් සැලැස්මක් සහිතව එන්නේ. එසේ පැමිණ පන්දු යවන්නන්ට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරනවා. මට අවශ්‍ය වන්නේ එම ආරම්භය පාකිස්තාන කණ්ඩායමට ලබා දීමයි.”

මේ වසර මුලදී දකුණු අප්‍රිකාවේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ කනිෂ්ඨ ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාවට එරෙහිව අර්ධ ශතකයක් වාර්තා කිරීම ඇතුළුව කැපී පෙනෙන දස්කම් දැක්වීමෙන් පසුව හයිඩර් එළඹෙන එංගලන්ත සංචාරය සඳහා පාකිස්තානයේ 29 දෙනෙකුගෙන් යුත් සංචිතයට අවතීර්ණ විය.

2008 වසරේ දී මුම්බායි වෙත එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ පාකිස්තානය අතර තරග ඇනහිටියේය. ඉන් අනතුරුව ඉන්දීය පාකිස්තාන තරග බොහෝමයක් පැවතියේ ලෝක මට්ටමේ තරගාවලිවල දී ය. ද්වීපාර්ශ්වික තරගාවලි කිසිවක් පවත්වා නොමැත.

එක්දින තරගයක දී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමි ලෝක වාර්තාව වන ලකුණු 264ක් ද ඇතුළුව එක්දින තරගවල දී ද්විත්ව ශතක 3ක් ලබා ගනිමින් ඉන්දියාවේ රෝහිත් මෑත වසරවල දී ඉහළ දස්කම් දැක්වීමට සමත් විය.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල දී වැඩිම හයේ පහරවල් එල්ල කළ වාර්තාව ද ඔහු සතුය. එම සංඛ්‍යාව 127කි. තවමත්, හයිඩර්ගේ දක්ෂතා ලෝක දත්ත වෙත ඒමට සමත්ව නැත.

ඉන්දීය නායක විරාත් කෝලි බොහෝ විට පාකිස්තානයේ වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර්ට ප්‍රශංසා කරන අතර පාකිස්තාන පිතිකරු බාබර් අසාම් ඉන්දීය ක්‍රීඩකයන්ට බෙහෙවින් ප්‍රිය කරයි.

හයිඩර් පැවසුවේ රෝහිත්ගේ ස්ථාවර, ආක්‍රමණශීලී විලාසය තමා අගය කරන බවයි.

“ඔහු 50ට ළඟා වූ විට ඔහු 100ක් ගැනත් 100 දී 150ක් ගැනත් සිතනවා” යැයි හයිඩර් පැවසීය.

ලෝක කුසලානය ගැන කණගාටුදායක අනාවැකියක්

පසුගිය මාස කිහිපය තුළ හයිඩර් පාකිස්තානයේ වඩාත්ම කතාබහට ලක් වූ තරුණ පිතිකරුවෙකු බවට පත්විය.  පසුගිය වසරේ සැප්තැම්බරයේ දී සිය පළමු පන්තියේ ක්‍රිකට් ගමනේ ආරම්භය පමණක් ලබා සිටි 19 හැවිරිදි ඔහු ආරම්භක සමය විශිෂ්ට ලෙස ක්‍රීඩා කළේය. 

Quaid-e-Azam කුසලාන තරගාවලියේ දී උතුරු කණ්ඩායමට එරෙහිව දෙවන ඉනිමේ දී වාර්තා කළ ලකුණු 134 ඉන් ප්‍රධාන විය. එය එම වාරයේ හයිඩර් වාර්තා කළ දෙවන ශතකය වන අතර අර්ධ ශතක තුනක් ද වාර්තා කිරීමට ඔහු සමත් විය.

පාකිස්තාන – එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගි වීමට පාකිස්තානය ලබන සතියේ එංගලන්තයට යාමට නියමිතය. අගෝස්තු 5 මැන්චෙස්ටර් හිදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට පෙර දින 14ක් නිරෝධායනය සඳහා ද පාකිස්තාන කණ්ඩායම එක්වේ.   

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<