කැලණි මහා සටනේ වැඩි ගෞරව ගුරුකුලට

33 වැනි කැලණි මහා සටන 2023

310
Gurukula College vs Sri Dharmaloka College

කැලණිය ගුරුකුල විද්‍යාලය සහ ධර්මාලෝක විද්‍යාලය අතර පැවති 33 වැනි කැලණි මහා ක්‍රිකට් තරගය අද (15) ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුනා.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (14) සහ අද (15) පැවති මෙම තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය හිමි වුනේ කැලණිය ගුරුකුල විද්‍යාලයටයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ධර්මාලෝක ක්‍රීඩකයින්ගේ ආරාධනාවෙන් පිටියට පිවිසි ගුරුකුල පිතිකරුවන් සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 200 ලබා සිටින විට ඉනිම අත්හිටවීමට තීරණය කළා.

ගුරුකුල විද්‍යාලයට අවශ්‍ය ආරම්භය ලබා දුන් ආරම්භ පිතිකරු පූර්ණ කල්හාර පන්දු 51ක් තුළ හතරේ පහර දහයක් සහ හයේ පහර තුනක් සමඟ වේගවත් ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වුනා.

ඔහුට අනගි සහයක් ලබා දුන් අනෙක් ආරම්භක පිතිකරු මොහොමඩ් මුර්සාඩ් පන්දු 83ක් තුළ ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ගොඩ නැගූ සම්බන්ධතාව ලකුණු 110ක්.

ගුරුකුල නායක ජනිත් ශෙහාන් පන්දු 38ක් තුළ ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වූවත්, ධර්මාලෝක පන්දු යැවීම හමුවේ වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වුනේ නැහැ.

ධර්මාලෝක කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ සතිඳු ප්‍රබෝද ලකුණු 44ට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර හෙලංක විදුරංග ලකුණු 34ට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ධර්මාලෝක පළමු ඉනිම ලකුණු 142කට සීමා කරමින් පළමු ඉනිමේ ආධිපත්‍ය රැක ගැනීමට ගුරුකුල පන්දු යවන්නන්ට හැකි වුනා.

ගුරුකුල කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ තෙමිර මිකාසන පන්දු 97ක් තුළ ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වූ අතර ආරම්භක පිතිකරුවන් වන හෙලංක විදුරංග සහ සනිරු නිර්මාල් ලකුණු 24 බැගින් රැස් කළා.

වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාව පසු කිරීමට නොහැකි වූ අතර නාරද කාංචන ලකුණු 44කට කඩුලු 4ක් සහ තරූෂ ඩිල්සර කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

ලකුණු 58ක් ඉදිරියෙන් සිට දෙවැනි ඉනිම ආරම්භ කළ ගුරුකුල පිතිකරුවන් පන්දුවාර 31.1ක් තුළ කඩුලු 7ක් දැවී ලකුණු 160ක් ලබා සිටින විට ඉනිම අත්හිටවීමට තීරණය කළා.

ගුරුකුල වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ කඩුලු රකින ක්‍රීඩක දෙනුර දිමන්සිත් පන්දු 52ක් තුළ නොදැවී ලකුණු 50ක් වාර්තා කිරීමට සමත් වූ අතර ආරම්භ පිතිකරු පූර්ණ කල්හාර පන්දු 26ක් තුළ ලකුණු 39ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නැවතත් කැපී පෙනෙන දස්කම් දැක්වූ හෙලංක විදුරංග ලකුණු 58කට කඩුලු 4ක් දවා ගත්තා.

ලකුණු 219ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ධර්මාලෝක ක්‍රීඩකයින් තරගය අවසන් කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 117ක් ලබා සිටියා.

ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ සනිරු නිර්මාල් පන්දු 146ක් තුළ ලකුණු 48ක් සහ කවිඳු උමයංග ලකුණු 23ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් නාරද කාංචන ලකුණු 25ට කඩුලු 2යි.

  • ගුරුකුල පළමු ඉනිම – 200/9d (51.1): පූර්ණ කල්හාර 80, මොහොමඩ් මුර්සාඩ්, ජනිත් ශෙහාන් 26, සතිඳු ප්‍රබෝධ 4/44, හෙලංක විදුරංග 3/34.
  • ධර්මාලෝක පළමු ඉනිම – 142/10 (60): තිමිර මිකාසන 35, හෙලංක විදුරංග 24, සනිරු නිර්මාල් 24, නාරද කාංචන 4/44.
  • ගුරුකුල දෙවැනි ඉනිම – 160/7 (31.1): දෙනුර නිමන්සිත් 50*, පූර්ණ කල්හාර 39, හෙලංක විදුරංග 4/58.
  • ධර්මාලෝක දෙවැනි ඉනිම – 117/5 (53): සනිරු නිර්මාල් 43, කවිඳු උමයංග 23, නාරද කාංචන 2/25.

තරගය ජය පරාජයෙන් තොරයි.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ මහා තරග උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<