පැරාලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් නවයක්

696
Tokyo Paralympics 2020

ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් උළෙලට පසුව පැවැත්වීමට නියමිත පැරාලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු සහභාගී වන බව ජාතික පැරාලිම්පික් කමිටුව නිවේදනය කර සිටියා.

ජාතික පැරාලිම්පික් කමිටුව විසින් එම ක්‍රීඩකයන් පිළිබඳව දැනුවත් කරමින් ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු උපරිම 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙවර පැරාලිම්පික් උළෙලට පිටත් වීමට නියමිත බවයි.

මෙම සංචිතයට 2016 පැරාලිම්පික් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත ඇතුළත් වන අතර මලල ක්‍රීඩා, දුනු විදීම් සහ ටෙනිස් වැනි ක්‍රීඩා අංශ කිහිපයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම සංචිතයට ඇතුළත්.

එමෙන්ම මෙරට පැරාලිම්පික් ඉතිහාසයේ පළමු වරට Roving ඉසව්ව නියෝජනය කරමින් පැරාලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට මහේෂ් ජයකොඩි සමත්ව තිබීම ද විශේෂත්වයක්.

මෙවර පැරාලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය,

  1. සම්පත් බණ්ඩාර – දුනු විදීම 
  2. දිනේෂ් ප්‍රියන්ත හේරත් – හෙල්ල විසිකිරීම 
  3. සමිත දුලාන් – හෙල්ල විසිකිරීම 
  4. සම්පත් හෙට්ටිආරච්චි – හෙල්ල විසිකිරීම 
  5. කුමුදු ප්‍රියන්කා – 100m/ දුර පැනීම 
  6. සමන් සුභසිංහ – 400m
  7. පාලිත බණ්ඩාර – යගුලිය විසිකිරීම 
  8. මහේෂ් ජයකොඩි – Roving
  9. ඩි.එස්. ධර්මසේන – W/Tennis

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 2012 සහ 2016 පැරාලිම්පික් උළෙලවල දී දැක්වූ දස්කම් නිසාවෙන් මෙවර පැරාලිම්පික් උළෙලේ දී අවම වශයෙන් පදක්කම් දෙකක් හෝ දිනා ගැනීමට හැකියාවක් ඇතැයි තමන් විශ්වාස කරන බව මේජර් ජෙනරාල් රාජිත අම්පේමොහොට්ටි මහතා ප්‍රකාශ කර සිටියා.

මෙරට ඉතිහාසයේ පළමු පැරාලිම්පික් පදක්කම දිනා ගැනීමට 2012 පැරාලිම්පික් උළෙල නියෝජනය කළ ප්‍රදීප් සංජය (ලෝකඩ) සමත් වූ අතර 2016 වසරේ පැවති අවසාන පැරාලිම්පික් උළෙලේ දී හෙල්ල විසිකිරීම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට දිනේෂ් ප්‍රියන්තට හැකි වුනා.

2020 පැරාලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අගෝස්තු 19 වැනිදා මෙරටින් පිටත් වීමට නියමිත අතර ඔවුන් ජපානයට පැමිණීමෙන් පසු ජෛව ආරක්ෂිත බුබුලකට එක්වීමට නියමිතයි.

කොරෝනා වසංගතය නිසාවෙන් 2021 දක්වා කල් තැබූ පැරාලිම්පික් උළෙල අගෝස්තු 24 වැනිදා සිට සැප්තැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<