ඕස්ට්‍රේලියාව ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

Border - Gavaskar Trophy 2023

735

අද (03) පැවැත්වුණු Border-Gavaskar ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තුන් වැනි තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලබා ගැනීමත් සමඟින් මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන කර ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුනා.

මේ වන විට ලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටින ඕස්ට්‍රේලියාව මෙවර ටෙස්ට් ලෝක ශූූරතාවලියට අදාළ 2021-23 කාලසීමාව තුල තවමත් එකදු තරගාවලියක් හෝ පරාජය වී නොමැති අතර, මෙම වසරේ ජුනි මාසයේ 7 සිට 11 වැනි දින දක්වා ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයේ දී ඔවුන්ට ඉන්දියාව හෝ ශ්‍රී ලංකාව ප්‍රතිවාදීන් ලෙස මුණ ගැසෙනු ඇත.

ඕස්ට්‍රේලියාවේ නිත්‍ය නායක Pat Cummins හට තරගාවලියේ තෙවැනි තරගය අහිමි වීමත් සමඟින් හිටපු නායක Steve Smith විසින් මෙම තරගය මෙහෙයවූ අතර, එක පිට ටෙස්ට් තරග දෙකක් පරාජය වීමට සිදු වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම Smithගේ නායකත්වය යටතේ ඉන්දියාවට එදිරිව පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා.

එහි දී ඉනිම දෙකේ දීම දැවී ගිය ඉන්දීය කඩුලු 20න් 18ක්ම ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන් විසින් බිඳ හෙළු අතර එයින් කඩුලු 6ක් Matthew Kuhnemann සතු කර ගත් අතර, තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලද Nathan Lyon විසින් ඉනිම දෙකේ දී කඩුලු 11ක් බිඳ හෙළීමට සමත් වුනා.

2021-23 තරග සමය තුල එංගලන්ත කණ්ඩායමට එරෙහිව තරග 4-0ක් ලෙස ද, පාකිස්තානයට එරෙහිව තරග 1-0ක් ලෙස ද, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම්වලට එරෙහිව තරග 2-0 බැගින් ද තරගාවලි ජයග්‍රහණය කිරීමට සමත් වූ ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ පැවැත්වුණු ටෙස්ට් තරගාවලිය පමණක් තරග 1-1ක් ලෙස සම මට්ටමින් අවසන් කර ගත්තා.

ඒ අනුව මේ වන විට පැවැත්වෙන ඉන්දියාව සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉතිරිව ඇති තරගය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියාව ලැබුණහොත් මෙවර ටෙස්ට් ලෝක ශූරතාව වෙනුවෙන් නියමිත කාලය තුල කිසිදු තරගාවලියක් පරාජය නොවී අවසන් මහා තරගයට ප්‍රවිෂ්ට වීමට ඔවුන්ට හැකියාව ලබා ගත හැකියි.

අද ඕස්ට්‍රේලියාව ලැබූ ජයග්‍රහණයත් සමඟින් ලෝක ශූරතා ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වී සිටින්නේ 69% ලකුණු ප්‍රතිශතයක් රඳවා ගනිමින් වන අතර, වෙනත් කිසිදු කණ්ඩායමකට පවතින තත්වය අනූව ඕස්ට්‍රේලියාව පසු කර යාමේ අවස්ථාවක් නොමැති හෙයින් ඔවුන්ගේ අවසන් මහා තරගයේ ස්ථානය තහවුරු වුනා.

ඔවුන්ගේ ප්‍රතිවාදියා වීමේ සටන මේ වන විට ඉන්දියා සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර දෝලනය වෙමින් පවතින අතර ඉන්දු-ඕස්ට්‍රේලියා ඉතිරි තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට හැකියාව ලැබුණහොත් ඔවුන්ට ද අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන් කර ගැනීමේ හැකියාව තිබෙනවා.

නමුත් ඉතිරි තරගය ජය පරාජයෙන් තොරව හෝ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කිරීමකින් අවසන් වුවහොත් ශ්‍රී ලංකාවට ලෝක ශූරතා අවසන් මහා තරගය නියෝජනය කිරීමට අවස්ථාවක් ඉතිරි වන අතර, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් නවසීලන්තයට එරෙහිව තරග 2-0ක තරගාවලි ජයග්‍රහණයක් ලැබීම අනිවාර්යය වනවා.

“අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට හැකි වීම වටිනා ප්‍රතිඵලයක්. මෙය කලක පටන්ම අපේ ඉලක්කය වී තිබුණා.”

තරගයේ ජයග්‍රහණයෙන් අනතුරුව වත්මන් ඕස්ට්‍රේලියා නායක Steve Smith එසේ ප්‍රකාශ කළා.

පසුගිය අවුරුදු දෙක තුල අපි ක්‍රීඩා කළ ක්‍රිකට් වල ප්‍රමිතිය වෙනුවෙන් ක්‍රීඩකයින්ට සහ කාර්ය මණ්ඩලයට විශේෂ ගෞරවයක් හිමි විය යුතුයි. අපිට ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීමට හැකි වුව හොත් එය ඔවුන්ට විශාල ප්‍රතිලාභයක් වේවි.

ඒ වගේම අළුබඳුන තරගාවලියට පෙර මෙම තරගයත් එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ දීම ක්‍රීඩා කරනවා බලන්න අපේ ප්‍රේක්ෂකයිනුත් සතුටු වේවි. අපිට ඉන්දියාවේ තවත් එක් තරගයක් ඉතිරිව තිබෙනවා, අපි මේ ජයග්‍රාහී රිද්මය ඉදිරියටත් පවත්වා ගෙන යන්න බලාපොරොත්තු වෙනවා,” Smith තව දුරටත් සිය බලාපොරොත්තු එසේ පවසා සිටියා.

එමෙන්ම ICC ඉසව් ප්‍රධානී Chris Tetley විසින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලද  මෙම වටිනා අවස්ථාව වෙනුවෙන් සුබ පතමින් පවසා සිටියේ මෙම ඕවල් ක්‍රීඩාංගණයේ මධ්‍යස්ථ රටවල් දෙකක් ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වනු ඇති බව සහ ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රතිවාදීන් ලෙස ඉන්දියාව හෝ ශ්‍රී ලංකාව සම්බන්ධ වන තෙක් නොඉවසිල්ලෙන්  යුතුව බලා සිටින බවයි.

මෙවර ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාව වෙනුවෙන් පැවැත්වීමට ඉතිරිව ඇති ටෙස්ට් තරග මෙසේයි;

  • දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර දෙවැනි ටෙස්ට් තරගය – මාර්තු 8-12
  • නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගය – මාර්තු 9-13
  • ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර සිව්වැනි ටෙස්ට් තරගය – මාර්තු 9-13
  • ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගය – මාර්තු 17-21

ටෙස්ට් ලෝක ශූරතාව පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<