ICCයේ ඇස් ඇරෙයි, Indoreට දඬුවම් ලකුණු!

Border - Gavaskar Trophy 2023

1210

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගය ඊයේ (03) දිනයෙන් අවසන් වූ අතර, පසුව තරගය පැවැත්වුණු Indore හී Holkar ක්‍රීඩාංගණය “දුර්වල” මට්ටමේ එකක් බවට තීරණය කළ ICC විසින් ක්‍රීඩාංගණයට දඬුවම් ලකුණු 3ක් පිරිනමා තිබුණා.

තරගයේ තුන්වැනි දිනයේ පළමු සැසියේ මැද භාගයේ දී ම මෙම තරගය නිමා වූ අතර, එහි දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉන්දියාව කඩුලු නමයකින් පරාජයට පත් කිරීමට සමත් වුනා.

“ඉතාම වියළුණු ස්වභාවයක් ගත් තණතිල්ල පන්දුව සහ පිත්ත අතර කිසිදු සමබරතාවක් ඇති නොකළ අතර, තරගය ආරම්භයේ පටන් ම දඟපන්දු යවන්නන්ට වැඩි වාසි අත්කර දුන්නා. තරගයේ පස්වැනි පන්දුවම තණතිල්ල මතු පිට බිඳීමක් ඇති කළ අතර, පසුවත් වරින් වර එවැනි බිඳීම් ඇති කිරීමට හේතු වුනා. එමෙන්ම තරගය පුරාවටම අසාමාන්‍ය මට්ටමේ පන්දු ඉලිප්පීම් ද ඇති වුනා.”

තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ Chris Board විසින් Holkar තණතීරුව පිළිබඳ දක්වා තිබුණේ එවැනි අදහසක්.

ඒ අනුව තරගය පැවැත්වුණු Indore හී Holkar ක්‍රීඩාංගණය “දුර්වල” (poor) මට්ටමේ එකක් බවට තක්සේරු කර ක්‍රීඩාංගණය වෙනුවෙන් දඬුවම් ලකුණු (Demerit Point) 3ක් ලබා දී ඇති අතර, ඒ වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට BCCI හට දවස් 14ක කාලයක් ඉතිරිව තිබෙනවා.

යම් ක්‍රීඩාංගණයක් වසර පහක කාලයක් ඇතුළත දඬුවම් ලකුණු 5ක් හෝ ඊට වඩා ලබා ගෙන ඇත්නම් එම ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීම මාස දොළහක කාලයකට අත් හිටවනු ලබනවා.

මෙහි දී මෙම තරගය මීට පෙර පැවැත්වීමට සැලසුම් කර තිබුණේ ඉන්දියාවේ Dharmasala ක්‍රීඩාංගණයේ වන අතර, පසුව එය Indore වෙත මාරු කර තිබුණා. නමුත් ඒ පිළිබඳ BCCI විසින් දැනුම් දී තිබුණේ තරගය පැවැත්වීමට නියමිත දිනට සති දෙකක් පමණක් කාලයක් ඉතිරිව තිබිය දීයි.

ඉන්දීය කණ්ඩායම නිතරම සිය රටේ ක්‍රීඩා කරන ටෙස්ට් තරගවල දී දඟපන්දු යවන්නන්ට උචිත ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීමට ඇලුම් කරන නමුත්, මෙවර එය ඔවුන්ට ම පාරා වලල්ලක් ලෙස ක්‍රියාත්මක වූ බවක් පෙනී ගියා. තෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීම තීරණය කළ නමුත් පළමු දිනයේ පළමු සැසිය නිමා වන විට ඔවුන්ගේ ලකුණු තත්වය දිස් වුයේ ලකුණු 84ක් ලෙස අතර, ඒ වන විට ඔවුන්ගේ කඩුලු 7ක් බිඳ වැටී තිබුණා.

පසුව තරගයේ දිවා ආහාරය වෙලාවේ ඉන්දීය පුහුණුකරු Rahul Dravid විසින් ක්‍රීඩාංගණයට පැමිණ තණතිල්ල පරීක්ෂා කරන අයුරු ද පෙනී ගියා.

කෙසේ වෙතත් ඉන්දීය නායක Rohit Sharma නම් එම ක්‍රීඩාංගණයේ ස්වභාවය පිළිබඳ එතරම් ම කනගාටු වන බවක් පෙනී ගියේ නැහැ.

“ඇත්තටම කියනවා නම්, අපිට අවශ්‍ය මේ වගේ තණතීරු වල ක්‍රීඩා කරන්න. මේ තමයි අපේ ශක්තිය. ඔබ ගෙදර දී (මව්බිමේ දී) ක්‍රීඩා කරන විට ඔබ හැම තිස්සෙම ඔබේ ශක්තියත් එක්ක තමයි ක්‍රීඩා කරන්න උත්සාහ කරන්නේ. එළියෙන් ඉන්න මිනිස්සු කතා වෙන දේවල් ගැන කනගාටු වෙලා වැඩක් නැහැ.

Rohit තරගයෙන් අනතුරුව එසේ පවසද්දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වැඩ බලන නායක Steve Smith විසින් දැරුවේ ද ඒ හා සමාන අදහසක්.

“මම පෞද්ගලික මේ වගේ කඩුලුවල ක්‍රීඩා කරන්න කැමතියි. දින පහක් තිස්සේ තරගය ඇදෙන කම්මැළි ටෙස්ට් තරග පැවැත්වෙන Flat Pitch වලට වඩා මම මේකට කැමතියි. මේ වගේ කඩුලුවල නිතරම මොනවා හරි දෙයක් වෙනවා. ලකුණු ලබා ගන්න නම් ඔබට ගොඩක් මහන්සි වෙන්න සිදු වෙනවා. නමුත් අපේ ක්‍රීඩකයින්ට එය කළ හැකි බව පෙන්නුවා. ඒ වගේම ඔබට වාසනාවත් අවශ්‍යයි.

පළවෙනි පන්දුවේ සිටම එක් අන්තයකට තරගය ගලා ගියා වෙන්න පුළුවන් (දඟපන්දු යැවීමට හිතකර ලෙස). නමුත් එය විඳින්න පුළුවන් තරගයක්.

කණ්ඩායම් නායකයින් කෙසේ පැවසුවත් මෙම තරගය පන්දුව සහ පිත්ත අතර ඇති විය යුතු සමබරතාවට දැඩි බලපෑමක් එල්ල කළ බව බැලූ බැල්මට ම පෙනී යනවා. සමස්ත තරගයේ ම වාර්තා වුනේ අර්ධ ශතක දෙකක් පමණක් වන අතර, ඉන්දීය පළමු ඉනිමේ දී ඔවුන් ලබා ගත් ලකුණු 109 සිය රටේ පළමු ඉනිමක් ක්‍රීඩා කරමින් ඉන්දීය කණ්ඩායම ලද හය වන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එකතු වුනා.

එමෙන්ම තරගයේ බිඳ වැටුණු කඩුලු 31න් 26ක්ම දඟපන්දු යවන්නන් අතරේ බෙදී ගිය මෙම තරගයේ දී තනි ඉලක්කමේ ලකුණු ලද ඉනිම 16ක් වාර්තා වී තිබුණා.

එමෙන්ම මීට පෙර ඉන්දියාවේ ක්‍රීඩාංගණයක් දුර්වල මට්ටමේ ඇති බවට තීරණය කළේ 2017 වසරේ දී වන අතර, එදා එම තරගය ඉන්දියාවේ පූනේ හී දී ඕස්ට්‍රේලියාව සමඟම ක්‍රීඩා කළ එකක් වුනා. එමෙන්ම එම තරගයේ දීත් ඕස්ට්‍රේලියාව විසින් ඉන්දියාව පරාජයට පත් කිරීමට සමත් වූ අතර, එහි දී ද තරග තීරක ලෙස කටයුතු කළේ Chris Board විසින්මයි.

මෙවර තරගාවලියේ මුල් තරග ද්විත්වය ඉන්දියාවේ නාග්පූර් සහ දිල්ලි ක්‍රීඩාංගණවල පැවැත්වුණු අතර එම ක්‍රීඩාංගණ සාමාන්‍ය මට්ටමේ පවතින බවට තරග තීරක විසින් තීරණය කර තිබුණා.

තරගාවලියේ සිව්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අහ්මදාබාද් හී දී මාර්තු 09 වැනිදායින් ආරම්භ වීමට නියමිතයි.

ඉන්දු – ඕස්ට්‍රේලියා ක්‍රිකට් ගැටුමේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<