“සමශූරතාව කියන්නේ විසඳුමක් නෙමෙයි. එක ජයග්‍රාහකයෙකුට ශූරතාව හිමි විය යුතුයි”

ICC ටෙස්ට් ශූරතාවලිය - අවසන් මහා තරගය 2021

113

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුවහොත් එමඟින් කණ්ඩායම් දෙකටම අසාධාරණයක් සිදු වන බැවින් එවැනි අවස්ථාවක දී ගත යුතු අවසන් තීරණය සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහි ICCය අවධානය යොමු කළ යුතු බව හිටපු ඉන්දීය නායක Sunil Gavaskar මහතා ප්‍රකාශ කොට තිබේ.

එංගලන්තයේ Southampton හී Rose Bowl ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් මේ දිනවල ක්‍රියාත්මක වන ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා දිගින් දිගටම වර්ෂාවෙන් බාධා පමුණුවීමත් සමඟම සම්පූර්ණ දින දෙකක් එකදු පන්දුවාරයක් හෝ දියත් නොකොට අතහැර දැමීමට තරග තීරක මඩුල්ලට සිදු විය. 

තරගයේ සිව්වැනි දිනය වන ඊයේ (21) දිනයේ දී ද අයහපත් කාලගුණික තත්වයන් හරස් වීම නිසාවෙන් මෙම තරගයේ ජය පැරදුම සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව Gavaskar මහතා සිය ප්‍රකාශය මඟින් අවධාරණය කිරීමට කටයුතුකොට තිබුණි.

කාලගුණික බලපෑම් නිසාවෙන් යම්හෙයිකින් තරගය අඛණ්ඩව පවත්වා ගෙන යෑමට නොහැකි වුවහොත් ඊට පිළියමක් ලෙස අතිරේක දිනයක් වෙන් කිරීමට තරගයට පෙරාතුව සැලසුම්කොට තිබූ නමුත් එම උපායමාර්ගය ද මේ වන විට පුස්සක් බවට පත්වී තිබෙන්නේ සම්පූර්ණ දින දෙකක් දැනටමත් ක්‍රීඩා කිරීමේ අවස්ථාව මඟහැරී ගොස් ඇති නිසාවෙනි.

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ නමුත් අවසන් මහා තරගය දියත් කිරීමට පෙරාතුව ICCය මඟින් පැහැදිලිව මේ සම්බන්ධයෙන්  සඳහන්කොට තිබුණේ යම් හෙයකින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් කණ්ඩායම් දෙකටම සමශූරතාව පිරිනමමින් තරගාවලිය අවසන් කිරීමට කටයුතු කරන බවයි.

මේ වන විට දින හතරක් අවසානයේ දී සමස්ත තරගය පුරාවටම යවා ඇත්තේ පන්දුවාර 141.1ක් පමණක් වන අතර අතිරේක දිනය ද ඇතුළුව ඉතිරිව ඇති දෙදින තුල පන්දුවාර 308.5ක් සම්පූර්ණ කිරීම ඉතාමත් අසීරු ඉලක්කයක් බවට පත්ව ඇත්තේ තරගයේ තීරණයට ද එමඟින් දැඩි බලපෑමක් එල්ල කරමිනි.

ප්‍රධාන පෙළේ ICC තරගාවලියක අවසන් මහා තරගයක් මේ වන තෙක් සමශූරතාවකින් අවසන්ව නොමැති බව සඳහන් කර සිටින Gavaskar පෙන්වා දී සිටින්නේ පවතින තත්වයන් සැලකිල්ලට ගනිමින් එක් කණ්ඩායමකට තරගය ජය ගැනීමට ඇති අවස්ථාවන් ඉතාමත් සීමා සහිත බවයි.

“දින දෙකක් වගේ කාලයක් ඇතුළත ඉනිම් තුනක් සම්පූර්ණ කරනවා කියන එක අපහසු කර්තව්‍යයක් නමුත් කණ්ඩායම් දෙකම දුර්වල විදියට පන්දුවට පහර දුන්නොත් යම් අවස්ථාවක් නැතුවාමත් නෙමෙයි.”

“නමුත් මම කියන්නේ දැන් උදාහරණයකට ගන්න පාපන්දු සහ ටෙනිස් ක්‍රීඩාවන් දෙක. පාපන්දු තරගයක් සම ලකුණු මට්ටමෙන් අවසන් වුනොත් දඬුවම් පහර අවස්ථා මඟින් තරගයේ ජයග්‍රාහී කණ්ඩායම  නිශ්චය කරන්න පුළුවන්. ටෙනිස් වලත් එක් වටයක තරග 6ක් අවසානයේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා සමාන නම් Tie-Break අවස්ථාව නිර්මාණය කරලා තියෙනවා ජයග්‍රහණය තීරණය කරන්න. ඉතින් මම හිතනවා ක්‍රිකට් වලටත් ඒ වගේ ආදේශකයක් හඳුන්වා දිය යුතුයි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<