මෙවර LPL හි ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රීඩකයින්ගේ ලොකු වෙනසක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

310

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර ජූලි 29 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ඇති අතර තරගාවලිය ආරම්භ වීම සඳහා තවත් ඇත්තේ දින 40කටත් අඩු කාලයක් පමණයි.

මෙවර තරගාවලිය සඳහා ද මහනුවර, යාපනය, දඹුල්ල, කොළඹ සහ ගාල්ල යන කණ්ඩායම් 5 පමණක් සහභාගී වන අතර ඒ ඒ කණ්ඩායම්වලට ඇතුළත් ප්‍රධාන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් (Icon Players) පිළිබඳ තොරතුරු මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ගියවරට සාපේක්ෂව එහි වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙන අතර පසුගිය වසරේ පැවති තරගාවලියේ දී Kandy Tuskers කණ්ඩායමේ නායකත්වය දැරූ කුසල් ජනිත් පෙරේරා මෙවර Colombo Kings කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

තවද ගියවර Dambulla Viiking නියෝජනය කළ කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල Kandy Tuskers කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක Galle Gladiators කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙසත්, දසුන් ශානක Dambulla Viiking කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙසත්, තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග Jaffna Stallions කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙසත් නම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.

එම ප්‍රධාන ක්‍රීඩකයෙකුගේ වටිනාකම ඇමරිකානු ඩොලර් 60,000ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 120ක්) වන අතර ඊට අමතරව Icon Overseas සහ Diamond Overseas යන කාණ්ඩ යටතේ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ප්‍රධාන ක්‍රීඩක කෙටුම්පත් (Draft) කිරීමේ අවස්ථාවට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් සිය කණ්ඩායමේ ක්‍රීඩක නාම ලේඛනය සඳහා ඇතුළත් කර ගත යුතු වෙනවා.  

සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගත හැකි අතර එම ක්‍රීඩකයින් 20 දෙනා අතරට දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් විය යුතුයි. අවශ්‍ය නම් කණ්ඩායම් කළමනාකාරිත්වයට ගියවර සංචිතයේ රැඳී සිටි ක්‍රීඩකයින් අතරින් සිව්දෙනෙකු (දේශීය 2 හා විදේශීය 2) මෙවර තරගාවලිය වෙනුවෙන් ද රඳවා තබා ගත හැකි බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසා සිටියා.

ඒ ඒ කණ්ඩායමේ කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු තරගාවලි සංවිධායකයින්ට ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර දැනුම් දිය යුතු වෙනවා. පසුව ක්‍රීඩක කෙටුම්පත් කිරීම වට 20ක් යටතේ පැවැත්වෙන අතර එහි 15 වැනි හා 16 වැනි වටවල දී සිය කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකා දේශීය නැගී එන ක්‍රීඩකයින් තෝරා ගත යුතු බව සඳහන් වෙනවා.

2021 ජනවාරි පළමු වැනිදා වන විට අවුරුදු 23ට අඩු වයසක පසු වූ සහ ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින හෝ විස්සයි විස්ස ජාතික කණ්ඩායමකට ක්‍රීඩා කර නොමැති ක්‍රීඩකයින් එහි දී තෝරා ගත යුතු අතර, 2021 ජනවාරි පළමු වැනිදායින් පසුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් හට ද මේ කාණ්ඩයෙන් ඇතුළත් වීමට අවස්ථාව තිබෙනවා.

LPL තරගාවලියේ දී ඒ ඒ කණ්ඩායම් සඳහා ක්‍රීඩා කරන අවසන් 11 දෙනාගේ කණ්ඩායමට අවම වශයෙන් විදෙස් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් විය යුතු අතර උපරිම වශයෙන් ක්‍රීඩකයින් සිව් දෙනෙකු ඇතුළත් කළ හැකියි.

තරගාවලියට සම්බන්ධ කර ගත නොහැකි වන ක්‍රීඩකයින් වෙනුවෙන් ආදේශක ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා LPL තරගාවලිය ආරම්භයට දින 10කට පෙර ක්‍රීඩක ආදේශ කිරීමේ කෙටුම්පත් අවස්ථාවක් (Player Replacement Draft) පැවැත්වෙනු ඇත.

එම ආදේශ කිරීමේ දී ද නව ක්‍රීඩකයින් තෝරා ගත යුත්තේ, තරගාවලියට එක් නොවන ක්‍රීඩකයා අයත් වූ කාණ්ඩයට අයත් ක්‍රීඩක කාණ්ඩයෙන්මයි. එසේම මේ සඳහා වන ක්‍රීඩක ලියාපදිංචිය ජුනි 21 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන දෙස් විදෙස් සියලුම ක්‍රීඩකයින් හට අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමේ හැකියාව තිබෙනවා.

දේශීය ප්‍රධාන ක්‍රීඩකයින් සහ ඒ ඒ ක්‍රීඩක කාණ්ඩවලට අදාලව ක්‍රීඩකයින්ගේ වටිනාකම පහතින් දැක්වෙනවා.

No. Round Value (USD)
1 Icon Overseas 60000
2 Icon Local 60000
3 Diamond Overseas 50000
4 Gold Overseas 40000
5 Gold Overseas 40000
6 Gold Local 25000
7 Gold Local 25000
8 Gold Local 25000
9 Gold Local 25000
10 Classic Overseas 15000
11 Classic Overseas 15000
12 Classic Local 15000
13 Classic Local 15000
14 Classic Local 15000
15 Emerging Local 10000
16 Emerging Local 10000
17 Supplementary Local 1 3000
18 Supplementary Local 2 3000
19 Supplementary Local 3 3000
20 Supplementary Local 3 3000

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<