LPL හම්බන්තොටට; ක්‍රීඩක ලියාපදිංචි දින තීන්දුයි

ලංකා ප්‍රිමියර් ලීගය 2021

309
Google

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරග අදියර මේ වසරේ ජූලි 30 සිට අගෝස්තු 22 දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බව LPL තරගාවලි අධ්‍යක්ෂක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පවසා සිටිනවා.

එසේම ඒ සඳහා වන ක්‍රීඩක ලියාපදිංචිය ජුනි 21 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන දෙස් විදෙස් සියලුම ක්‍රීඩකයින් හට  අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමේ හැකියාව තිබෙන බව ද වික්‍රමරත්න මහතා Sunday Times වෙත පවසා තිබෙනවා.

“අපිට උවමනා වුනේ මේ පාර LPL එක ක්‍රීඩාංගණ කිහිපයක තියන්න හැබැයි, Bio-secure bubble එකක් කරගෙන යනකොට ක්‍රීඩාංගණ කිහිපයක තරග පවත්වන්න ගියොත් වියදමත් වැඩියි සහ කළමනාකරණය කරන එකත් ලේසි වෙන්නේ නැහැ. ඒ වගේම ක්‍රීඩකයින්ගේ ලියාපදිංචිය ජුනි 21 ඉඳන් 28 වෙනකන් online විදිහට කරන්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා” යැයි වික්‍රමරත්න මහතා එහි දී පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

“දැනට සැලසුම් කරලා තියෙන විදිහට අපි මේ තරගාවලිය ඒ කාලවකවානුව තුල පවත්වන්න සූදානමින් ඉන්නවා. ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු ටිකත් දැනට නියමිත පරිදි අපි කරගෙන යනවා. එහෙම නැතිනම් මේ තරගාවලිය වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙන වෙළඳ සහකරුවන්ගේ සහ කණ්ඩායම් හිමිකරුවන්ගේ විශ්වාසය දිනා ගන්න අපිට අමාරු වෙනවා. එහෙම නැති වුනාම මේ තරගාවලියේ ඉදිරි පැවැත්මට ඒක බාධාවක් වෙන්න පුළුවන්.”

“මෙම වසරේ LPL තරගාවලිය සඳහා පෙර වසරේ දී කණ්ඩායම් හිමිකාරිත්වය දරපු හිමිකරුවන්ගේ සහභාගීත්වය පිළිබඳ යම් යම් අවිනිශ්චිතතාවයන් තියෙනවා හැබැයි ගාල්ල සහ යාපනය කණ්ඩායම් වල දැනට එහෙම ගැටලුවක් නැහැ. IPG ආයතනයට සහ අපිට අනෙක් කණ්ඩායම්වල හිමිකාරිත්වයත් ඉක්මනින්ම තහවුරු කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා”  යැයි වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.

පසුගිය වසරේ පැවති පළමු LPL තරගාවලියේ ශූරයින් ලෙස තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් Jaffna Stallions කණ්ඩායම විසින් දිනා ගත් අතර එහි දී ඔවුන් හමුවේ පරාජයට පත්වුණු Galle Gladiators කණ්ඩායම එහි අනු ශූරතාවය දිනා ගත්තා.

පසුගිය වසරේ පැවති LPL පළමු අදියරේ අවසන් මහා තරගය (රූපවාහිනී සහ වෙනත් ඩිජිටල් වේදිකා සියල්ලම තුල) ලොව පුරා මිලියන 135කට ආසන්න ප්‍රේක්ෂක ප්‍රමාණයක් විසින් නරඹා තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටිනවා.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<