මාලිංගගෙන් ධනංජය ලක්ෂාන් ගැන සහතිකයක්

144

එදා මෙදාතුර ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුනු “Yorker King” ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය නිල YouTube චැනලය හරහා පසුගිය දා ශ්‍රී ලංකා යොවුන් නැගී එන ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් ගැන සිය අදහස් පළ කර තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී සංචිතයේ සිටින දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ධනංජය ලක්ෂාන් පිළිබඳව අදහස් දැක්වූ මාලිංග එහි දී පවසා සිටියේ, පවසන ආකාරයට ධනංජය ලක්ෂාන්ව ඔහුට මුලින්ම මුණ ගැසී තිබෙන්නේ 2018 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් ක්‍රිකට් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් අතරතුරයි.

“පළමු වරට තිබ්බ LPL තරගාවලියේ ගාලු කණ්ඩායමේ පළමු තරග 2ක් හෝ 3ක් ක්‍රීඩා කිරීමට ධනංජයට හැකියාවක් ලැබුණේ නැහැ. හැබැයි පසු ඔහුට ආබාධයකට ලක්වූ ක්‍රීඩකයෙක් වෙනුවෙන් කණ්ඩායමට එන්න පුළුවන් වුනා. ඒ ලැබුණු අවස්ථාවෙන් ඔහු උපරිම ප්‍රයෝජන ලබාගෙන තුන් ඉරියව් දස්කම් පෙන්නන්න ඔහුට පුළුවන් වුනා. ගාලු කණ්ඩායම අවසන් මහා තරගය දක්වා රැගෙන එන්න ඔහුගේ දායකත්වය ලොකු හයියක් වුනා” මාලිංග එහි දී පැවසුවා.

තවත් ක්‍රිකට් පුවත්:

මාලිංගට අනුව ශ්‍රී ලංකාවේ දැනට සිටින වේගපන්දු යවන්නන් අතරින් වැඩිම දෝලනයක් සහිතව දකුණත් පිතිකරුවන්ගේ විකට්ටුව තුලට පන්දු යැවිය හැකි පන්දු යවන්නා වන්නේ ධනංජයයි. ධනංජයට අලුත් පන්දුවෙන් සහ පරණ පන්දුවෙන් පන්දු යැවීම සඳහා තිබෙන දක්ෂතා ගැන බව පැවසු මාලිංග ඔහුට ඉනිම මැද දී පන්දු යැවිය යුතු ආකාරය කෙරෙහි තව වැඩි අවධානයක් ලබා දෙන මෙන් ද පවසා සිටියා.

ධනංජය ලක්ෂාන්ගේ පිතිකරණ විලාසය පිළිබඳව අදහස් දැක්වූ මාලිංග ඔහුට ඩිල්ස්කූප් පහර (Dilscoop), පැඩල් ස්වීප් පහර (Paddle sweep) සහ රිවර්ස් ස්වීප් පහර (Reverse sweep) එල්ල කිරීමට තිබෙන විශේෂ හැකියාවන් ගැන සහ වර්තමාන ක්‍රිකට් ලෝකයේ කණ්ඩායම්වල අංක 6 ,7 ස්ථානයන් තුල ක්‍රීඩා කරන පිතිකරුවන්ගෙන් දැකිය හැකි තරගයක් වෙනස් කළ හැකි දක්ෂතා ධනංජය තුලින් දැක ගැනීමට හැකියාව තිබෙන බව ද පවසා සිටියා.

“ධනංජය ලක්ෂාන් කියන ක්‍රීඩකයාගෙන් ඇන්ජලෝ මැතිව්ස් කරපු Role එක වගේ වැඩ ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද ඔහුගේ හැකියාව එතරම් පරිපූර්ණයි. 2023 ලෝක කුසලානයට යන ගමනේ දී මේ වගේ තරුණ ක්‍රීඩකයින් දැන්මම කණ්ඩායමට ගෙනල්ලා අත්දැකීම් ලබා දීන එක ගොඩක් වටිනවා. ධනංජය ලක්ෂාන් කියන ක්‍රීඩකයා 2023 ලෝක කුසලානයේ දී අපිට නැතිවම බැරි ක්‍රීඩකයෙක් වෙයි” යැයි ලසිත් මාලිංග එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<