පරාජයෙන් ගෞරවය ලැබූ දිගුදුර ශූරිය

521

රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,000කට අධික පිරිසක් සහභාගි වන ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමට ලැබීම එම ක්‍රීඩකයන් සිය ක්‍රීඩා දිවියේ ලබන විශාලතම ජයග්‍රහණයකි.

එලෙස ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කරමින් සිය ක්‍රීඩා දිවියේ විශාලතම ගෞරවය ලබන ක්‍රීඩකයන් අතරේ තරග පරාජය වූවත් ඔලිම්පික් ඉතිහාසයේ අමරණීය තරග අවසන් කරන්නන් බවට පත්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපයක් ද දැකගත හැක.

1984 වසරේ ජූලි මාසයේ අතිවිශාල වාර්තාගත ප්‍රේක්ෂකයන් පිරිසක් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට පැමිණ සිටියේ ක්‍රීඩකයන් 5,000කට අධික සංඛ්‍යාවක් සහභාගි වන වසරේ විශාලතම ක්‍රීඩා සැණකෙළිය වූ 23 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල දැක ගැනීම සඳහායි.

එවර ඔලිම්පික් උළෙල තවත් සුවිශේෂී එකක් වූයේ එතෙක් කල් පිරිමි පාර්ශවයට පමණක් විවෘතව තිබූ ඔලිම්පික් මැරතන් ඉසව්ව, ඉතිහාසයේ මුල්ම වතාවට කාන්තාවන් සඳහා ද පැවැත්වෙන බව ප්‍රකාශ කර තිබූ නිසාවෙනි.

ඔලිම්පික් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සටහන් කරමින් 1984 අගෝස්තු මස 05 වැනි දින මුල්ම ඔලිම්පික් කාන්තා මැරතන් තරගය ආරම්භ වීමට සියල්ල සූදානමින් පැවති අතර ඒ සඳහා රටවල් 28ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 50කට ආසන්න සංඛ්‍යාවක් සූදානමින් සිටින්නට විය.

සියල්ලන්ගේ අවධානය ඇමරිකානු ක්‍රීඩිකා Joan Benoit සහ මැරතන් ඉසව්වේ එවකට ලෝක ශූරිය වූ නෝර්වේ ක්‍රීඩිකා Grete Waitz හට යොමු වී තිබූ අතර තරගය ආරම්භ වූ පසු සියල්ලම එකිනෙකාට නොදෙවෙනි ලෙස තරග වදින්නට වූවත් එදින පැවති දැඩි උෂ්ණත්වය ක්‍රීඩිකාවන්ට දැඩි බලපෑමක් එල්ල කරන්නට විය.

උෂ්ණත්වයේ අභියෝගය යටතේ වූවද සියලුම ක්‍රීඩිකාවන් මංගල ඔලිම්පික් මැරතන් ජයග්‍රහණය සොයා සටන් වදින්නට වූ අතර එම ක්‍රීඩිකාවන් ගොන්න අතරේ ස්විස්ටර්ලන්තය නියෝජනය කරමින් පැමිණි 39 හැවිරිදි Gabriela Andersen-Schiess ද තමන්ට හැකි උපරිම ජවයෙන් තරග වදින්නට වූයේ සිය දේශයට ඔලිම්පික් පදක්කමක් ගෙන යාමේ අදිටනිනි.

Gabriela Andersen
1984 ඔලිම්පික් උළෙලේ කාන්තා මැරතන් තරගය අතරතුරදී

කෙසේ නමුත් තරගයේ කිලෝමීටර පහක පමණ දුරක් අවසන් වෙද්දී ඇමරිකානු ක්‍රීඩිකා Joan Benoit සිය වේගය වැඩි කරගනිමින් අනෙකුත් ක්‍රීඩිකාවන් සමඟ යම් පරතරයක් නිර්මාණය කරගැනීමට සමත් වූ අතර පැවති උෂ්ණත්වය අධික කාලගුණය නිසාවෙන් අනෙකුත් ක්‍රීඩිකාවන් ද එම පරතරය අඩු කරගැනීමට උත්සහයක් දරන බවක් දක්නට නොලැබුණි.

තරගයේ අඩක දුරක් නිමාවෙද්දී දැඩි උෂ්ණත්වය නිසාවෙන් ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම තරගයෙන් ඉවත් වීමට කටයුතු කරමින් සිටි නමුත් Gabriela Andersen-Schiess තරගය කෙසේ හෝ අවසන් කිරීමේ අදිටනින් දිගින් දිගටම තරග වදින්නට විය.

“මම විශාල වශයෙන්ම කනගාටුවට පත්වුනේ පැවතුණු උෂ්ණත්වය සහ කාලගුණය පිළිබඳවයි, මගේ හිස සහ මුලු ශරීරයම රිදුම් දෙන්නට වුනා, ඒත් මම දැන සිටියා මම යන්න ඕන තැන. තවත් දුවන්න උත්සහ කරන්න, කෙළින් නැගීසිටින්න උත්සහ කරන්න කියලා මම මටම කියාගන්න ගත්තා”  Gabriela Andersen-Schiess ඉසව්ව ගැන අදහස් දක්වමින් පවසා තිබුණි. 

Joan Benoit සහ Grete Waitz තරගයේ මුල් ස්ථාන වෙන් කරගනිමින් තරග වදිද්දී දැඩි උෂ්ණත්වය නිසාවෙන් පීඩා විදී Gabriela Andersen පසුකරමින් ක්‍රීඩිකාවන් රැසක්ම ඉදිරියට ඇදෙන්නට වූ නමුත් ඇය තමන්ට හැකි පමණ රිද්මයෙන් ඉදිරියට ඇදෙන්නට විය.

තවත් විශේෂාංග ලිපි:

Joan Benoit
ඇමරිකානු ක්‍රීඩිකා Joan Benoit

තරගය ආරම්භ වී පැයක් පමණ ගතවෙද්දී ඇයගේ ශක්තිය බොහෝ අඩු වන්නට වූ අතර පැවති කාලගුණයේ බලපෑමත් සමඟ ඇයගේ ශරීරයේ බොහෝ ස්ථානවලින් ආබාධ තත්වයන් ඇති වූවත් ඇය තරගය අවසන් කිරීමට සිතා ගනිමින් හැකි පමණ වේගයෙන් ධාවනයේ නිරතවන්නට විය.

ජයග්‍රහණයක් පේන තෙක් මානයකවත් නොතිබුණත්, ඇය තරගයෙන් ඉවත් වීමට තීරණය නොකළ අතර ක්‍රීඩිකාවන් 35කට පමණ පිටුපසින් සිටි ඇය සෙමින් ඉදිරියට ඇදෙන්නට වූයේ සියලු බාධා තම සිතෙහි ශක්තියෙන් යටපත් කරගනිමිනි.

තරගය ආරම්භ වී පැය 2:24:52ක කාලයක් ගතවෙද්දී ඇමරිකානු ක්‍රීඩිකා Joan Benoit පළමු වැන්නා ලෙසත්, එයින් මිනිත්තු කිහිපයකට පසුව Grete Waitz සහ Rosa Mota පිළිවෙළින් දෙවැන්නා සහ තුන්වැන්නා ලෙසත් තරගය නිමා කිරීමට සමත් වූ නමුත් Gabriela Andersen තරගය අවසාන කිරීමට නියමිතව තිබූ ක්‍රීඩාංගණය අසලටවත් පැමිණ සිටියේ නැත.

1984 ඔලිම්පික් උළෙලේ කාන්තා මැරතන් තරගය අතරතුරදී

සිතෙහි ශක්තිය නිසාවෙන් අවසාන කිලෝමීටර් කිහිපයට ද පැමිණි Gabriela Andersen හට අවාසනාවකට මෙන් උෂ්ණත්වය නිසාවෙන් පිහිටුවා තිබූ වතුර විදින ස්ථානය (water station) මගහැරෙන්නට වූ අතර ඇය එය නොතකා ඉදිරියට ධාවනය කරන්නට විය.

එනමුත් එය මගහැරීම නිසාවෙන් තවත් ශරීර උෂ්ණත්වය ඉහළ යෑම නිසා ඇයට තවත් ඉදිරියට ධාවනය කිරීමට නොහැකි මට්ටමකටම පැමිණි නමුත් මෙය සිය මුල්ම සහ අවසන් ඔලිම්පික් උළෙල මෙය බව සිහියේ තබා ගනිමින් ඇය ක්‍රීඩාංගණයට ඇතුළු වන්නට විය.

“මම දැන සිටියා මම වේදනාව නිසා නැවතුනොත් හරි බිම ඉඳගත්තොත් හරිමෛ් තරගයෙන් මට ඉවත් වීමට සිදු වන බව, ඒ නිසා මම අදිටන් කරගත්තා කෙසේ හෝ අවසාන රේඛාව කරා මම ගමන් කරනවා කියලා” Gabriela Andersen-Schiess පසුකාලීනව පවසා තිබුණි.

Gabriela Andersen
Gabriela Andersen-Schiess ක්‍රීඩාංගණය තුළ තරග වදිමින්

ක්‍රීඩාංගණයට ඇතුළු වී ධාවනයේ යෙදීමට කිසිදු ජවයක් නොමැතිව සහ හිස එක් පසෙකට ඇලව ධාවන පථය තුල එහා මෙහා විසි වෙමින් ඉදිරියට ඇදෙන්නට වූ ඇය දුටු ප්‍රේක්ෂකයන් විමතියට පත් වූ අතර වහාම ක්‍රියාත්මක වූ වෛද්‍ය කණ්ඩායම් ද ඇය අසලට පැමිණෙන්නට විය.

දැඩි උෂ්ණත්වය නිසාවෙන් ඇයට ජලය උවමනා වුවත්, එම තරගයෙ පැවති නීති රීතින් නිසාවෙන් ජලය ලබා දීමට හැකියාවක් නොමැති වූ අතර තරගයෙන් ඉවත් වන ලෙස වෛද්‍ය නිලධාරීන් ඇයගෙන් සිදු කළ ඉල්ලීම ද ඇය විසින් ප්‍රතික්ෂේප කරන්නට විය.

තරගයේ අවසන් මීටර් 400 ආරම්භ විය දිවීමට, ඇවිදීමට හෝ කෙළින් සිට ගැනීමට පවා හැකියාවක් Gabriela Andersen හට නොතිබූ අතර රැස්ව සිටි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ දිරි ගැන්වීම මධ්‍යයේ ඇය සෙමින් සෙමින් ඉදිරියට ඇදෙන්නට විය.

“ඒ මොහොතේ මම හිතාගත්තා, මම ඉන්නේ ඔලිම්පික් උළෙලේ මම මේ තරගය අනිවාර්යයෙන්ම නිමා කරන්න ඕනේ කියලා. මොකද මේක තමා මගේ මුල්ම සහ එකම අවස්ථාව කියලා. ඇය ඇත්තෙන්ම වෙනත් තරගයක් වුනා නම් මම අනිවාර්යයෙන්ම නැවතිලා” Gabriela Andersen-Schiess පවසා තිබුණි 

Gabriela Andersenතමන් සතු උපරිම ශක්තියෙන් ඉදිරියට ඇදෙන්නට වූ ඇය හට සියලූම ප්‍රේක්ෂකයන් සිය අසුන්වලින් නැගිට විශාල දිරි ගැන්වීමක් ලබා දෙන්නට වූ අතර තරගය නිමා කළ අනෙකුත් ක්‍රීඩිකාවන්ගේ ද උණුසුම් සහයෝගය මධ්‍යයේ ඇය අවසන් රේඛාව අසලට පැමිණෙන්නට විය.

“මට විශාල දිරිගැන්වීමක් ලැබුණා, එය මම කිසිවිටකත් බලාපොරොත්තු නොවූ දෙයක්. ඒක මට විශාල ශක්තියක් වුනා, ඒ දිරිගැන්වීම මට තරගයේ ඉදිරියට යන්න උපකාරයක් වුනා. වෛද්‍යවරයෙක් මා පසුපස පැමිණියා මාව නිරීක්ෂණය කරමින්, ඔහු නැවතත් පැවසුවා මට නවතින ලෙස” Gabriela Andersen-Schiess පවසා තිබුණි. 

ඇයගේ අපහසුව දුටු වෛද්‍යවරුන් නැවත වරක් තරගයෙන් ඉවත් වෙන ලෙස ඇයගෙන් ඉල්ලීම් කළත් ඒ සියල්ල ඇය ප්‍රතික්ෂේප කරමින් ඉදිරියට ඇදෙන්නට වූ නිසාවෙන් එම වෛද්‍යවරයා ඇයගේ පසුපස යමින් ඇයගේ ඉරියව් නිරීක්ෂණය කරමින් ඇය සමඟින්ම ඉදිරියට ඇදෙන්නට විය.

කෙමින් කෙමින් Gabriela Andersen අවසාන සීමාවට ළං වන විට රැස්ව සිටි ප්‍රේක්ෂකයන්ගෙන් සහ ක්‍රීඩිකාවගෙන් ලද දිරිගැන්වීම් තවත් වැඩි වන්නට වූ අතර ඒ උණුසුම් දිරිගැන්වීම් මධ්‍යයේ ඇය පැය 2:48.42 කාලයක් ගත කර අවසාන රේඛාව පසුකරමින් ඇද වැටෙන්නට වූයේ ඔලිම්පික් ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක් තබමිනි.

 Gabriela Andersen
Gabriela Andersen-Schiess තරගය නිම කිරීමෙන් පසුව

තරග අවසානයත් සමඟින් එම රේඛාව මතම ඇද වැටුණ ඇයට හැකි ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට වෛද්‍ය කණ්ඩායම් කටයුතු කළ අතර පැය දෙකක පමණ කාලයක් ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ඇයව යහපත් සෞඛ්‍ය තත්වයෙන් පිටත් කරන ලදි.

“මම මහත් සතුටට මෙන්ම ප්‍රබෝධයට පත් වුනා අවසාන රේඛාව දැක්ක වෙලාවේ, ඒ වෙලාවේ මම සතියක් අසනීපයෙන් සිටියත් කමක් නෑ කියලා හිතුණා. ප්‍රධානම දේ වුනේ මම ඒ දේ කළා කියන එක. අවසානයෙන් පසුව මුල් පැයෙහි මම මහත් වේදනාවෙන් සිටියේ, නමුත් පැය දෙකකට පමණ පසුව මම යථා තත්වයට පත්වුණා” Gabriela Andersen-Schiess පවසා තිබුණි.

Gabriela Andersen
Gabriela Andersen තරගය නිම කිරීමෙන් පසුව

තරගයේ ප්‍රතිඵලවලට අනුව ඇය තරගය නිමා කළ ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ 37 වැනි තැන දිනාගෙන තිබූ අතර ඇය විසින් එහි දී පදක්කමක් දිනා ගැනීමට අසමත් වූවත් ජයග්‍රාහී ක්‍රීඩිකාවන්ට වඩා ගෞරවයක් ඇයට හිමි විය.

එම තරගයෙන් පසුව තවත් තරගාවලි කිහිපයකටම සහභාගි වීමට ඇය සමත් වූ අතර පසුව ඇය, Sally Edwards සමඟින් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැවති සම්මාන උළෙලක දී sport’s two-woman සම්මානයෙන් පිදුම් ලැබීමට ද වාසනාවන්ත විය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<