රහානේ – පුජාරා සබඳතාවය ශ්‍රී ලංකා පන්දු යවන්නන් හඬවයි

1362

ඉන්දීය ප්‍රථම ඉනිම ශක්තිමත් කරමින් චෙටෙස්වර් පුජාරා සහ අජින්ක්‍යා රහානේ අතර ගොඩ නැගුණු නොබිඳුනු ද්විත්ව ශතක සබඳතාවය නිසා අද (03) ඇරඹුණු ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ වැඩි ගෞරවය ද මේ වනවිට සංචාරක ඉන්දියානුවන් සතු වී තිබේ. තරගය පැවැත්වෙන කොළඹ SSC පිටිය පාරම්පරිකව පිතිකරුවන්ගේ පාරාදීසයක් ලෙසින් සැලකුවද තරගයේ මුල් දිනයේදීම ඉන්දියානු කණ්ඩායම ශ්‍රී ලංකාව වෙත එල්ල කොට ඇති අභියෝගය සුළුපටු නොවේ.

හෙට තරගයට මොකද වෙන්නේ?

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් ජාත්‍යන්තර තරගය හෙට (3) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

පළමු ටෙස්ට් තරගයේ දී මෙන්ම මෙවරත් කාසියේ වාසිය තමන්ගේ වාසියට හරවා ගන්නට ඉන්දියානු නායක විරාත් කෝලි සමත් විය. ඒ අනුව ඔහු නැවතත් තීරණය කළේ තම ශක්තිමත් පිතිකරණ බල ඇණියේ සේවය මුලින්ම ලබා ගැනීමටයි. අද තරගය සඳහා ඉන්දියානු කණ්ඩායම නියෝජනය කිරීමට දකුණත් යොවුන් පිතිකරුවෙකු වන ලෝකේෂ් රාහුල් එක්කොට තිබුණි. ඒ හැරුණුකොට තම ජයග්‍රාහී කණ්ඩායමේ වෙනත් විශාල වෙනස්කම් සිදු කිරීමට ඉන්දියානු බලධාරීන් තීරණය කොට තිබුනේ නැත.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට අවතීර්ණ වූයේ තීරණාත්මක වෙනස්කම් ත්‍රිත්වයක්ම සිදු කරමිනි. ඒ අනුව කළින් තරගයේ දී අවාසනාවන්ත ලෙස ආබාධයකට ලක්වුණු අසේල ගුණරත්න වෙනුවට ධනංජය සිල්වාත්, ලහිරු කුමාර වෙනුවට වමත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාරත් කණ්ඩායමත් සමඟ එක්වී තිබුණි. පළමු පෙළ කඩුලු 500කට වඩා බිඳ හෙලා අත්දැකීම් රැසක් ඇතත් මාලින්ද අද ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගත්තේ ශ්‍රී ලංකාවේ 141 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙසයි. මීට අමතරව ඉන්ෆ්ලුවන්සා රෝගයට ගොදුරු වී රෝහල් ගතකොට සිටි නායක දිනේෂ් චන්දිමාල් ඉන් සුවය ලබා නැවතත් කණ්ඩායම සමඟ එක්වීමත් සමඟ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ස්ථානය අහිමි විය.

තරගය ආරම්භ වී පන්දුවාර 9ක් ගත වෙද්දීම තරගයේ උණුසුම දෙගුණ තෙගුණ කරන සිදුවීමක් වාර්තා වූ අතර එහිදී DRS ක්‍රමයේ පිහිටෙන් තම කඩුල්ල බේරා ගැනීමට ලෝකේෂ් රාහුල් සමත්කම් දැක්වීය. ඒ සමස්ථ ප්‍රේක්ෂකාගාරයම පුදුමයට පත් කරමින් වේලාසනින්ම පන්දුව අතට ගත් දිමුත් කරුණාරත්න කඩුල්ල මුවා කිරීමේ වරද වෙනුවෙන් කළ ඉල්ලීමක් හමුවේ විනිසුරුවරයා දැවී යාමක් සටහන් කළ බැවිනි. කෙසේවෙතත් ඊලඟ පන්දුවාරයේ දී ශිකර් ධවාන්ව දවා ගනිමින් ශ්‍රී ලංකා ආරම්භය සාර්ථක කර දීමට දිල්රුවන් පෙරේරා සමත් විය. සුවිශේෂී කරුණ වන්නේ දිල්රුවන් එම කඩුල්ල දවා ගත්තේද විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ ක්‍රමවේදයේ (DRS) පිහිටෙන් වීමයි!

ඒ අනුව කලින් තරගයේ වීරයා බවට පත්වූ ශිකර් ධවාන් ලකුණු 35කට පිටිය හැර යාමෙන් අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නගන්නට ලෝකේෂ් රාහුල් සහ චෙටෙස්වර් පුජාරා සමත් වූහ. අදත් ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කළ නුවන් ප්‍රදීප් තම වේගය සහ ඉලක්කය උපයෝගී කර ගනිමින් ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීමට දැඩි උත්සාහයක් දැරූවද අද දිනයේ වාසනාව ඔහු සමඟ සිටියේ නැත. අවසානයේ ලෝකේෂ් රාහුල්ගේ කඩුල්ල දවා ගැනීමට හැකි වූයේ ඔහු සිදුකළ සියතින්ම දිවිතොර කර ගන්නා ආකාරයේ කඩුලු අතර දිව යාමක ආශිර්වාදයෙනි. දැවී යනවිට තාක්ෂණික වශයෙන් ඉතාමත් ඉහළ පිතිකරුවෙකු වන ලෝකේෂ් රාහුල් ශ්‍රී ලංකා සංචාරයේ තම පළමු අර්ධ ශතකය වාර්තා කරගෙන තිබුණි. ඒ හතරේ පහර 7ක් සමඟයි.

ඔහුගෙන් පසු ඉන්දියානු නායක විරාත් කෝලි පිටියට පිවිසුණු අතර ලෝකවාසී ජනතාව අවාසනාවේ සංඛ්‍යාව ලෙස සලකන ලකුණු 13කට දැවී යාමට ඔහුට සිදුවිය. ඒ වමත් ටෙස්ට් දඟ පන්දුවේ විශිෂ්ටයා වන රංගන හේරත්ගේ පන්දුවක් හමුවේයි. රංගන පන්දුවාරයේ මුල් පන්දු කිහිපයම කඩුල්ල ඉලක්ක කොට ගනිමින් කෝලි වෙත යැවූ අතර ඉලක්කය වෙනස්වූ පළමු පන්දුවම හතරේ සීමාව කරා යැවීමට කෝලි දැරූ උත්සාහය ඔහුව ක්‍රීඩාගාරයට හරවා යැවීමට හේතුවිය. ඒ පිත්තේ පිට අග්‍රයේ වැදී ඉතාමත් සුළු කාලයක් ඇතුළත ස්ලිප් කලාපයට ඇදී ගිය උඩපන්දුව ඇන්ජෙලෝ මැතිව්ස් ක්ෂණයකින් රැකගත් බැවිනි.

ඒ වනවිට ඉන්දියානු ලකුණු පුවරුව ලකුණු 133ට කඩුලු 3ක් ලෙස සටහන් වූවත් එතැන් පටන් දිගින් දිගටම වට ගණනාවක් භ්‍රමණය වූයේ පුවරුවේ ලකුණු කවුළුව පමණි. කෝලිගේ සමු ගැනීමෙන් පසු පිටියට පිවිසි අජින්ක්‍යා රහානේ සහ චෙටෙස්වර් පුජාරා අතරේ ගොඩ නැගුණු නොබිඳුණු ද්විත්ව ශතක සබඳතාවය ඊට හේතුවිය. දිනය නිමා වෙද්දී මොවුන් දෙදෙනාම ශතකලාභීන් බවට පත්ව සිටියි. එහිදී අංක 3 පිතිකරු ලෙස SSC පිටිය ආක්‍රමණය කළ චෙටෙස්වර් පුජාරා මේ වෙද්දී නොදැවී ලකුණු 128ක් ලබා සිටින අතර ඊට හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත වී ඇත.

Photo Album – Sri Lanka vs India 2017 – 2nd Test Day 1

මේ වනවිට ජාත්‍යන්තර ටෙස්ට් ශතක රැස්කර ගැනීම තම විනෝදාංශය කරගෙන සිටින පුජාරා අද වාර්තා කළේ 13 වැනි ටෙස්ට් ශතකයයි. මීට අමතරව ඔහු අද 50 වැනි ටෙස්ට් තරගයේ දී ශතකයක් වාර්තා කළ සත්වැනි ඉන්දියානු ක්‍රීඩකයා බවට ද පත්විය. මේ වනවිට පන්දු යවන්නන්ට දැවැන්තම හිසරදය බවට පත්වී සිටින පුජාරා ශ්‍රී ලංකාවට එරෙහිව පිට පිටම ලබාගත් තෙවැනි ශතකය මෙයයි. අද දිනය නිමාවීමට මොහොතකට පෙර ශතකය වාර්තා කරගත් අජින්ක්‍යා රහානේ මේ වනවිට හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 103ක් ලබා සිටියි.

කෙසේවෙතත් රහානේ ශතකය ලබා ගැනීමට පෙර තමාව දවා ගැනීමට ශ්‍රී ලංකා පිළට අවස්ථාවක් ලබාදුන් අතර එය පන්දු යැවූ මාලින්ද පුෂ්පකුමාරගේ වමතේ වැදී ගිලිහී ගියේ ඔහුට අද දිනය තුලදී කඩුල්ලක් ලබා ගැනීමේ ඉඩකඩ අහුරාලමිනි. මාලින්ද අද ක්‍රියාත්මක කළ බොහෝමයක් පන්දු වලින් සැලකිය යුතු තරමේ පීඩනයක් එල්ල වූවත් ඔහු සෑම පන්දුවාරයකදීම පාහේ එක් කෙටි පන්දුවක් හෝ ලබා දීම නිසා ඉන්දියානුවන් එම අවස්ථාව තම පීඩනය මුදා හැරීමට භාවිතා කළේය. හේරත් අද වැඩි වශයෙන් යැවූ පිට ඉන්නෙන් ඉවත පතිත වන පිට දඟ පන්දු වලටද අත්වූයේ එම ඉරණමයි.

ශ්‍රී ලංකා පිළ සතුව සිටින එකම වේග පන්දු යවන්නා වන නුවන් ප්‍රදීප් ද අද 80 වැනි පන්දුවාරයේ දී නව පන්දුවෙන් පන්දු යැවීමට යාමේදී මස්පිඬු ආබාධයකට ලක්වූ අතර එය හෙට දිනය වෙද්දී යහපත් අතට හැරෙනු ඇති බව ප්‍රේක්ෂක බලාපොරොත්තුවයි. මන්ද හෙට උදෑසනින්ම මෙම දැවැන්ත සබඳතාවය බිඳ දැමීමට ශ්‍රී ලංකාවට නොහැකි වුවහොත් අති විශාල පීඩනයක් ශ්‍රී ලංකා පිතිකරුවන් වෙතට යොමුවීම අනිවාර්ය වන බැවිනි. මේ වනවිටත් 3.82ක ලකුණු වේගයක් පවත්වාගෙන යන ඉන්දියානු කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 344කි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට 

SCORECARD