ඔලිම්පික් ඉතිහාසය වෙනස් කළ සුපිරි දිගුදුර ධාවකයා

810
Billy Mills Olympic Story

ඒ 1964 වසරේ ගිම්හානයයි, රටවල් 82ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,000කට අධික පිරිසක් ජපානයේ ටෝකියෝ නුවරට රැස්ව සිටියේ එවර ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීමටයි. 

තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව් ආරම්භයෙන් පසු බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් ඉසව්වක් වූ මීටර් 10,000 ඉසව්ව ඇරඹීමට සියලු කටයුතු සූදානම්ව පැවති අතර එවර තරගාවලියේ මීටර් 10,000 ඉසව්ව එවකට එම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියූ Ron Clarke විසින් ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු විය. Pyotr Bolotnikov සහ Murray Halberg යන ක්‍රීඩකයින් ද මෙය ජය ගනු ඇතැයි සමහරක් මත පලකළේය.

සියල්ලන් බලා සිටි තරගය ආරම්භ විය, මුල් වට කිහිපයේ දී තරගකරුවන් සියල්ලම කරට කර තරග වදින්නට විය. කෙසේ නමුත් තරගයේ සම්පූර්ණ දුරෙන් අඩක් පමණ නිමා වෙද්දී තරගකරුවන් කිහිප දෙනෙකු පමණක් ඉදිරියෙන් ඇදෙන්නට වූ අතර අවසාන මීටර් කිහිපයේ දී සියල්ලන් පුදුමයට පත් කරමින් එතරම් අවධානයකට ලක් නොවූ ඇමරිකානු ක්‍රීඩකයෙකු Ron Clarke පසුකරමින් ජය කණුව කරා ඇදෙනු දක්නට ලැබුණි.

1938 ජුනි මස 30 වැනි දින ඇමරිකානු එක්සත් ජනපදයේ Pine Ridge හිදී උපත ලැබූ Billy Mills කුඩා කලම සිය මවගේ අභාවය නිසාවෙන් ඇයගෙන් වෙන් වීමට සිදු වූ අතර ඉන් ටික කලකට පසුව ඔහු වෙත ඔලිම්පික් උළෙල පිළිබඳව සඳහන් වූ සඟරා කිහිපයක් ලැබී ඇත.

එම සඟරාවල සටහන්ව තිබූ කරුණු ඉතා ආසාවෙන් කියවීමට ඔහු හුරු වූ අතර එම එක් සඟරාවක සඳහන්ව තිබූ කරුණක් නිසාවෙන් ඔහුගේ වයස අවුරුදු නවයක් පමණ වන විට දී අනාගතයේ ඔලිම්පික් නියෝජනය කළ ක්‍රීඩකයෙකු වීමට ඔහු අදිටන් කරගත්තේය.

“එක් සඟරාවක සඳහන්ව තිබුණා ඔලිම්පික් තරගකරුවන් තෝරාගන්නේ දෙවියන් විසින් බව, මම ඒ වදනට කැමති වුනා, එම නිසා මට අවශ්‍ය වුනා දෙවියන් විසින් තෝරාගන්නෙකු බවට පත්වන්න. මම ඇත්ත වශයෙන්ම එය විශ්වාස කළා, එලෙස දෙවියන් විසින් තෝරාගතහොත් මට නැවතත් මගේ මව බැලීමට හැකි වනු ඇතැයි මම සිතුවා” – Billy Mills

එතැන් පටන් සිය සිහිනයට යෑමට වෙහෙසුණු ඔහුගේ අරමුණ තේරූම් ගත් ඔහුගේ පියාණන් වරක් ඔහු කැඳවා තමන්ගේ අරමුණට යන ආකාරය සහ තම සිහිනය සපුරා ගැනීමට කටයුතු කල යුතු ආකාරය පිළිබඳව ඔහු හට කියා දුන් අතර එම උපදෙස් සියල්ලම තදින් සිතට ගත් Billy Mills ඔලිම්පික් ඉලක්ක කරමින් ක්‍රීඩාවට අවතීර්ණ වන්නට විය.

“ඔහු මට පැවසුවා කේන්තිය සහ වෛරය ඔබව විනාශ කරන බව, ඔබේ සිහිනය තිබෙන තැන පිළිබඳව ගැඹුරටම බලන්න, ඔබේ සිහිනය සොයා එම සිහිනය ලුහුබැඳ යන්න එය ඔබව සුවපත් කරනු ඇතැයි බව”- Billy Mills

පියාගේ මගපෙන්වීම සහ තම අධිෂ්ඨානය නිසාවෙන් මලල ක්‍රීඩා දිවිය ආරම්භ කළ නමුත් ඔහු වයස 12ක් වන විට සිය පියා ද මෙලොවින් සමුගැනීම ඔහුව අන්ත අසරණයෙක් කරන්නට සමත් විය.

කෙසේ නමුත් සියලු බාධකවලට මුහුණ දෙමින් තම සිහිනය හඹායෑමට අදිටන් කරගත් ඔහු සිය පාසල වූ Haskell Institute හිදී මලල ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සඳහා අවධානය යොමු කළ අතර 1956 වසරේ දී ඔහු KSHSAA Class B State Championship හි රට හරහා දිවීමේ ශූරතාවය ජයග්‍රහණය කරන්නට සමත් විය.

පාසල් වියේ දී මලල ක්‍රීඩාවට මෙන්ම බොක්සිං ක්‍රීඩාවට ද ඉහළ දස්කම් දැක්වූ ඔහු පසුව බොක්සිං ක්‍රීඩාව අතහැර මලල ක්‍රීඩාවට තම සම්පූර්ණ අවධානය යොමු කිරීමට කටයුතු කළේය.

ක්‍රීඩා පිටියේ දැක්වූ දස්කම් නිසාවෙන් ලද ක්‍රීඩා ශිෂ්‍යත්වය මගින් Kansas විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලද ඔහු දිගුදුර ධාවනයේ ඉහළ දස්කම් දක්වමින් NCAA All-America රට හරහා දිවීමේ ක්‍රීඩකයා ලෙස තුන්වරක් තේරී පත්වීමට සමත් වූ අතර 1960 වසරේ දී පැවති Big Eight රට හරහා දිවීමේ තරගාවලිය ද ජය ගැනීමට ඔහු සමත් විය.

තම අධ්‍යාපන කටයුතු නිමා වීමෙන් අනතුරුව ඇමරිකානු Marine Corps හා එක් වීමට තීරණය කළ ඔහුට දිගුදුර ධාවන පිටියේ දැක්වූ දස්කම් නිසාවෙන් 1964 ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුස්සන් තේරීමේ තරග සඳහා පෙනී සිටීමට අවස්ථාව හිමි විය.

තවත් විශේෂාංග ලිපි:

එම තේරීම් තරගවල දී සිය සුපුරුදු රිද්මයට පැමිණීමට නොහැකි වීම නිසාවෙන් මීටර් 10,000 ඉසව්ව දෙවැන්නා ලෙස අවසන් කිරීමට ඔහුට සිදු වූ නමුත් ඔහුගේ කුඩා කල සිහිනය යථාර්ථයක් කරගනිමින් 1964 ඔලිම්පික් තරගාවලිය සඳහා තේරී පත්වීමට ඔහුට හැකි විය.

අහිමි වීම් මැද තම සිහිනය සාර්ථක කරගැනීමට ජපානය වෙත ඔහු පැමිණියත්, මීටර් 10,000 ඉසව්ව ඇමරිකානුවන් සෑම විටම දුර්වල වූ ඉසව්වක් වූ නිසාවෙන් ඔහුට කිසිවෙකුගේ අවධානය යොමු නොවූ අතර නවසීලන්ත ක්‍රීඩක Ron Clarke මෙම තරගය ජය ගනු ඇතැයි බොහෝ දෙනා මත පල කර තිබුණි.

1964
1964 ඔලිම්පික් උළෙලේ මීටර් 10,000 ඉසව්ව අතරතුර දී   Image Courtesy: Getty Images

තරගය ආරම්භ වී අඩක දුරක් අවසන් වෙද්දී ක්‍රීඩකයන් සිව්දෙනෙකු ඉදිරියෙන් තරග වදින්නට වූ අතර ඒ අතර කිසිවෙකු නොසිතූ ලෙස Billy Mills ද සිටින්නට විය. එම ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම ලෝක ශූර Ron Clarke සහ එම ඉසව්වේ ඔලිම්පික් ශූර Kokichi Tsuburaya ද සිටීම නිසාවෙන් ඔවුන් අයෙකු මෙම තරගය ජය ගනු ඇතැයි සියල්ලන් බලාපොරොත්තු විය.

කෙසේ නමුත් තරගයේ අවසාන වටයේ දී Billy Mills සහ Ron Clarke මුල් ස්ථානය සඳහා තියුණු සටනක නිරතව සිටි නමුත් ඔවුන් පසුපසින් පැමිණි ටියුනීසියා ක්‍රීඩක Mohammed Gammoudi ඔවුන් දෙදෙනාම පසුකරමින් ඉදිරියට ඒමට සමත් වූ අතර ඒ සමඟින්ම Ron Clarke සිය වේගය වැඩි කරමින් Billy Mills තෙවැනි තැනට ඇද දමමින් ඉදිරියට ඇදෙන්නට විය.

කෙසේ නමුත් Ron Clarke හට තරගයේ පෙරමුණ ලබා ගැනීමට හැකි නොවුන අතර තරගයේ අවසාන මීටර් කිහිපය තුළ දී ඉතා වේගවත් ධාවනයක් පෙන්නුම් කරමින් Clarke සහ Gammoudi අභිබවමින් රැස්ව සිටි සියල්ලන්ම මෙන්ම ලෝක වාසී ප්‍රේක්ෂකයන් ද පුදුමයට පත් කරමින් මිනිත්තු 28:24.4ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් ඔලිම්පික් වාර්තාවක් ද සමඟින් රන් පදක්කමකට උරුමකම් කියන්නට Billy Mills සමත් විය.

Billy Mills තරගය ජයගැනීමෙන් අනතුරුව Image Courtesy: Getty Images

එම ජයග්‍රහණයත් සමඟින් මීටර් 10,000 ඉසව්වක ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ ප්‍රථම සහ එකම ඇමරිකානු ක්‍රීඩකයා ලෙස ඔහු ඉතිහාස ගත වූ අතර ඔහුගේ ජයග්‍රහණය නිසාවෙන් උද්දාමයට පත්ව නිවේදක මැදිරිය තුළ දී සතුට සැමරූ ඇමරිකානු විශ්ලේෂක Dick Bank හට සිය රැකියාව ද අහිමි විය.

එම ජයෙන් අනතුරුව ඔලිම්පික් තරගාවලියේ මැරතන් තරගය සඳහා ද Billy Mills ඉදිරිපත් වූ නමුත් එම තරගය සිය සුපුරුදු රිද්මයෙන් අවසන් කිරීමට ඔහුට නොහැකි වීම නිසාවෙන් සමස්ත තරගය පැය 2:22:55.4ක කාලයකින් අවසන් කරමින් 14 වැන්නා ලෙස අවසන් කිරීමට ඔහුට සිදු විය.

ඔලිම්පික් තරගාවලියෙන් පසුව ද දස්කම් අතර සිටි Mills එම තරගාවලියෙන් කෙටි කලකට පසුව මීටර් 10,000 ඉසව්වේ ඇමරිකානු වාර්තාව (මිනිත්තු 2817.6) පිහිටුවීමට ද සමත් වූ අතර 1965 වසරේ ඔහු six-mile ඉසව්ව Gerry Lindgren හා සමව අවසන් කරමින් එම ඉසව්වේ ලෝක වාර්තාව (27:11.6) පිහිටුවීමට ද සමත් විය.

මලල ක්‍රීඩා පිටියෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව Eugene Krizek සමඟින් එක්වෙමින් Running Strong for American Indian Youth නම් පදනම් පිහිටුවීමට කටයුතු කළ ඔහු එම පදනම මගින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට උපකාර කිරීම සිදු කළ අතර සංචාරක දේශකයෙකු ලෙස ද කටයුතු කරමින් පුද්ගලයන්ට තම සිහිනයන්ට යෑමට අවශ්‍ය දිරිගැන්වීම් නිරන්තරයෙන් සිදු කරන ලදි.

කුඩා අහිමිවීම් නිසාවෙන් තම සිහින අතහැර දමන මිනිසුන් අතරේ මෙලොව තමාට හිමි සියල්ල අහිමි වීමෙන් පසුව ද ශක්තිවන්තව සිය සිහිනය කරා ගිය Billy Mills චරිතය අප සැමටම කදිම නිදසුනකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<