LPL හිමිකරුවන්ට හිසරදයක් වන අවසන් මොහොතේ තීරණ: LPL insights

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by MyCola

11409

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් සතියකටත් අඩු කාලයක් ඉතිරිව තිබිය දී ඊට එක්වන කණ්ඩායම් මේ වන විට යුහුසුළුව සිය සංචිත අවසන් කරගැනීමට දැඩි නොඉවසිල්ලකින් කටයුතු කරමින් සිටී. 

දැඩි සංචරණ සීමා කිරීම් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ හමුවේ වුවද, ඉතා සුළු පිරිසක් හැරුණුකොට ඉතිරි සියලුම විදෙස් ක්‍රීඩකයින්, සහය කාර්ය මණ්ඩලය සහ කණ්ඩායම් නියෝජිතයින් මේ වන විට හම්බන්තොට බලා පැමිණ අවසන් ය. 

කෙසේ නමුත් අවසන් මොහොතේ සිදු වූ ඉවත්වීම්, ඇතිවූ ආබාධ තත්වයන් සහ සමහරෙක් විසින් වෘත්තීය නොවන පරිදි ඔවුන්ට අදාළ මුළු මුදල ගෙවන ලෙස සිදු කරනු ලැබූ ඉල්ලීම් හමුවේ කණ්ඩායම්වලට ඔවුන්ගේ සංචිතවල වෙනස්කම් කිහිපයක්ම සිදු කරන්නට සිදුව ඇති අතර ඒ අනුව ඒවා තවමත් අවසන් කර නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත. 

‘Universe Boss’ අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන සුපිරි පිතිකරු Chris Gayle සහ ශ්‍රී ලංකා පන්දුවාර 20 ජාතික නායක ලසිත් මාලිංග පිළිවෙළින් ඔවුන් නියෝජනය කිරීමට නියමිතව සිටි Kandy Tuskers සහ Galle Gladiators කණ්ඩායම්වලින් ඉවත් වී ඔවුන් මෙවර තරගාවලියට සහභාගී නොවන බව හදිසියේ ම ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එය LPL තරගාවලියට විශාල අඩුවක් වනු ඇති බව නොඅනුමාන ය. කෙසේ නමුත් එම කණ්ඩායම් දෙකම මේ වන තෙක් ඔවුන්ගේ ආදේශන නම් කිරීමට කටයුතු කර නොමැත. 

මෙහි දී විශේෂයෙන් මාලිංග Galle Gladiators කණ්ඩායමේ නායකත්වය දැරීමට ද නියමිතව සිටි බැවින් ඔහුගේ ඉවත් වීමත් සමඟ ඔවුන්ට කණ්ඩායමට නව නායකයෙකු ද සොයාගැනීමට මේ වන විට සිදුව ඇත. හිටපු පාකිස්තාන ක්‍රිකට් නායකයෙකු වන Shahid Afridi හට ඒ අනුව එහි දී නායකත්ව වගකීම් පැවරෙනු ඇතැයි විශ්වාස කෙරෙන අතර ඒ හරහා ඔහු මෙවර LPL තරගාවලිය තුළ සිටින එකම විදෙස් නායකයා බවට පත්වනු ඇත. කෙසේ නමුත් Afridi තරගාවලිය ආරම්භ වීමට දින 4කට පමණක් පෙර ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව ඇති බැවින් ඔහුට සිය කණ්ඩායමේ පළමු තරගය මඟහැරීමට ද ඉඩකඩක් ඇත.

අනෙක් පසින් පසුගිය දා අවසන් වූ පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියේ දී Karachi Kings නියෝජනය කරමින් එහි අවසන් මහා තරගයේ දී තීරණාත්මක කඩුලු ද්විත්වයක් දවා ගැනීමට සමත් වූ එරට වමත් වේගපන්දු යවන ක්‍රීඩක Waqas Maqsood හට LPL තරගාවලිය වෙනුවෙන් නව ගිවිසුමක් ලබා දීමට Galle Gladiators කටයුතු කර ඇත. එම කණ්ඩායම නියෝජනය කරනු ලබන අනෙක් විදෙස් ක්‍රීඩකයින් වන Azam Khan, Mohammad Amir, Hazratullah Zazai, Chadwick Walton සහ Ahsan Ali මේ වන විටත් ශ්‍රී ලංකාව බලා පැමිණ අවසන් ය. 

Kandy Tuskers වෙනුවෙන් Gayleගේ ආදේශනය හැරුණුකොට එය නියෝජනය කරනු ලබන අනෙක් විදෙස් ක්‍රීඩකයින් වන Irfan Pathan, Rahmanullah Gurbaz, Naveen Ul-Haq, සහ Munaf Patel මේ වන විට හම්බන්තොට ඇති ‘bio-secure bubble’ එක වෙත වාර්තා කර ඇති නමුත් ඔවුන්ගේ පාකිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩක Sohail Tanvir හට COVID-19 වයිරසය ආසාදිත වී ඇති බවට ඊයේ (19) දිනයේ දී අනාවරණය වීමත් සමඟ ‘bio-bubble’ එක තුළ සිට වයිරස ආසාදිතයින් බව හඳුනා ගන්නා ක්‍රීඩකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්ථාපිත කර ඇති විශේෂ ස්ථානයක ඔහුව මේ වන විට හුදකලා කිරීමට කටයුතු සිදුකර ඇත.  

මේ වන විට වඩාත් සංවිධානාත්මක ම කණ්ඩායම ලෙස හඳුනා ගත හැකි Jaffna Stallions හට අවසාන මොහොතේ දී ගැටලුවකට මුහුණ පෑමට සිදු වූයේ ඔවුන් සමඟ එක්වීමට නියමිතව සිටි එංගලන්තයේ Ravi Bopara එරටින් පිටත් වීමට පෙර ඔහුට අදාළ සම්පූර්ණ ගාස්තුව ලබාදෙන ලෙස ඉල්ලා සිටීමත් සමඟයි. 

කණ්ඩායම එම ඉල්ලීමට එකඟ නොවූ අතර තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින්ට ලබා දෙනු ලබන තුන් පාර්ශවීය ගිවිසුමට අනුව තරගාවලියේ ආරම්භයට පෙර කණ්ඩායම් විසින් ක්‍රීඩකයින් වෙත ලබා දිය යුතු වන්නේ ඔවුන්ගේ මුළු මුදලෙන් 40%ක ප්‍රමාණයක් පමණි. ඒ අනුව ThePapare.com අපට ලැබෙන ආරංචි මාර්ගවලට අනුව Boparaගේ ආදේශනය ලෙස Jaffna Stallions සමඟ බටහිර ඉන්දීය කොදෙව් ඉදිරිපෙළ පිතිකරු Johnson Charles ඉදිරියේ දී ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව ඇති නමුත් ඔහුට පළමු තරග කිහිපය සඳහා එක්වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.  

තවදුරටත් එම කණ්ඩායමේ ම වමත් දඟපන්දු තුන් ඉරියව් ශ්‍රී ලාංකික ක්‍රීඩක චතුරංග ද සිල්වා උණ රෝග තත්වයකට ගොදුරු වීමෙන් අනතුරුව තවමත් ඉන් 100%ක් සුවය ලබා නොමැති වීම හේතුවෙන් ඔහුව ආවරණය කිරීමට Jaffna Stallions හට කණ්ඩායමට වමත් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය එක්කර ගැනීමට සිදු විය.

ඔවුන්ගේ සෙසු විදෙස් ක්‍රීඩකයින් වන Duanne Olivier, Usman Khan Shinwari, Tom Moores සහ Kyle Abbott මේ වන විට කණ්ඩායම් හෝටලය වෙත ළඟා වී සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ නිරෝධායනයට ලක්වෙමින් සිටින අතර අවසාන වශයෙන් පාකිස්තාන මැදපෙළ පිතිකරු Shoaib Malik එළඹෙන ඉරිදා (22) ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව ඇත. 

ඉන්දීය ප්‍රසිද්ධ රංගන ශිල්පී Sunil Joshiගේ හිමිකාරීත්වය යටතේ පවතින Dambulla Viikings ද වාර්තා වන පරිදි කණ්ඩායමට වෙනස්කම් කිහිපයක් ම සිදුකර ඇති අතර ඒ අතරට පාකිස්තාන ක්‍රීඩකයින් තිදෙනෙක් වන Kamran Akmal, Sohaib Maqsood සහ Anwar Ali මෙන්ම ඇෆ්ගනිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක Aftab Alam ද ඇතුළත් වේ. එමෙන්ම මීට දින 2කට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට විශ්‍රාම දුන් ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Sudeep Tyagi ද තවදුරටත් ඔවුන් සමඟ එක්වීමට නියමිතව ඇත. 

කෙසේ නමුත් මීට පෙර ඔවුන් සමඟ ගිවිසුම් ගතව සිටි Carlos Brathwaite, Brendon Taylor සහ Lendl Simmons මෙවර තරගාවලිය සමඟ එක්නොවන අතර ඒ අතරින් Brathwaite මීට දින කිහිපයකට පෙර ඕස්ට්‍රේලියාවේ Big Bash League (BBL) තරගාවලියේ Sydney Sixers කණ්ඩායම සමඟ නැවතත් ගිවිසුම් අත්සන් කරනු ලැබීය. දසුන් ශානකගේ නායකත්වය සහ එංගලන්තයේ Owais Shahගේ ප්‍රධාන පුහුණුකාරීත්වය යටතේ තරගාවලියට එක්වන Dambulla Viikings කණ්ඩායම සමඟ එක්ව සිටින අනෙක් විදෙස් ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ Paul Stirling සහ Samit Patel ය. 

මෙම මාසයේ අග භාගයේ දී Mauritius Cric T10 League තරගාවලියේ ක්‍රීඩා කිරීමට නියමිතව සිටි ශ්‍රී ලංකා වමත් දඟපන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර මේ වන විට දිවයිනට පැමිණ සිටීමත් සමඟ ඔහු ද ඒ අනුව Dambulla Viikings වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත. 

එමෙන්ම නව පුහුණුකරණ සැකැස්මක් යටතේ තරගාවලියට එක්වන Colombo Kings කණ්ඩායමේ පිතිකරු කැනඩාවේ Ravindrapal Singh, COVID-19 වයිරස ආසාදිතයෙකු බව පසුගිය දා හඳුනාගැනීමත් සමඟ ඔහුව හුදකලා කිරීමට මේ වනවිට කටයුතු සිදුකර ඇත. 

තවත් කියවන්න;

තවදුරටත් ඔහු පැමිණි ගුවන් යානයේ ම ශ්‍රී ලංකාව බලා පැමිණි සුපිරි පන්දුවාර 20 ක්‍රීඩක Andre Russel ද වයිරසයට නිරාවරණය වී තිබීමට අවස්ථාවක් ඇති නමුත් ඔහු දිගින් දිගට ම පරීක්ෂණ හරහා COVID-19 ආසාදිතයෙකු නොවන බව තහවුරු වන්නට වුවහොත් එළඹෙන බ්‍රහස්පතින්දා (26) පැවැත්වෙන තරගාවලියේ සමාරම්භක තරගයට ඔහු ඇතුළත් කිරීමට හැකියාව ලැබෙනු ඇත. 

අනෙක් පසින් Ravindrapal මෙම වයිරසයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නමුත් ඔහුව කණ්ඩායමට ඇතුළත් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ ඔහුව නියමිත සෞඛ්‍ය ක්‍රියාපටිපාටි වලට ලක්කිරීමෙන් අනතුරුව ය. ඒ අනුව කණ්ඩායම ශක්තිමත් කිරීම සඳහා Colombo Kings විසින් ඇෆ්ගනිස්ථාන පිතිකරු Karim Sadiq සහ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් තවදුරටත් කණ්ඩායමට එක්කරගෙන ඇත. 

ඊට පෙර ඔවුන් Manvinder Bisla සහ Mohammad Hafeezගේ ආදේශන ලෙස එංගලන්තයේ තවමත් ජාතික වරම් නොලබා ඇති පිතිකරුවන් දෙදෙනෙක් වන Daniel Bell-Drummond සහ Laurie Evans කණ්ඩායමට එක්කරගනු ලැබීය. ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ තරගාවලියට එක්වන Colombo Kings නියෝජනය කරනු ලබන අනෙක් විදෙස් ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ ඇෆ්ගනිස්ථාන පා දඟපන්දු යවන ක්‍රීඩක Qais Ahmed සහ හිටපු ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Manpreet Singh Gony ය. 

මේ වන විට පල්ලෙකැලේ පැවැත්වෙමින් තිබෙන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ පුහුණු කඳවුරේ ක්‍රීඩකයින් 18 දෙනා ද එළඹෙන ඉරිදා (22) හම්බන්තොට බලා පැමිණීමෙන් අනතුරුව එළඹෙන අඟහරුවාදා (24) දිනයේ දී සියලුම ක්‍රීඩකයින් ‘bio-bubble’ එක තුළ ඔවුන්ගේ පළමු නිරෝධායන කාලය සම්පූර්ණ කර එය අවසානයේ LPL තරගාවලියේ සියලුම සංචිත නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.  

Franchises ringing in squad changes; LPL insights ලිපියේ පරිවර්තනයකි.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<