Yohan Blake ක්‍රීඩා පිටියෙන් සමුගැනීමට දින නියම කරයි

223

ලබන (2024) වසරේ පැවැත්වීමට නියමිත පැරිස් ඔලිම්පික් උළෙලෙන් පසුව තමා ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව මීටර් 100 ඉසව්වේ හිටපු ලෝක ශූරයෙකු වන ජැමෙයිකානු ක්‍රීඩක Yohan Blake ප්‍රකාශ කර තිබෙනවා

2011 වසරේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 100 රන් පදක්කම දිනා ගනිමින් ජාත්‍යන්තරයට පිවිසි Yohan Blake මීටර් 100 ඉසව්වේ ලෝක ශූරතා රන් පදක්කමක් දිනූ ළාබාලතම ක්‍රීඩකයා ද වෙනවා.

එම ජයග්‍රහණයෙන් පසු 2012 වසරේ පැවති ඔලිම්පික් උළෙලේ සුපිරි ක්‍රීඩක Usain Boltට පමණක් දෙවැනි වෙමින් මීටර් 100 සහ 200 රිදී පදක්කම් දිනා ගැනීමට ඔහුට හැකි වුනා.

2012 ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව තත්පර 9.75ක කාලයකින් සහ 200 ඉසව්ව තත්පර 19.44ක කාලයකින් ඔහු අවසන් කළ අතර ඔලිම්පික් උළෙලක දී එම ඉසව් සඳහා රන් පදක්කම් දිනා නොගත් ක්‍රීඩකයා වාර්තා කළ වේගවත්ම කාලය තවමත් ඔහු සතු වීම ද විශේෂත්වයක්.

ජැමෙයිකානු මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම් නියෝජනය කරමින් 2012 සහ 2016 වසරවල ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙකු වන ඔහු එම ඉසව්වේ ලෝක වාර්තාව (තත්පර 36.84) පිහිට වූ කණ්ඩායමේ සාමාජිකයෙක් ද වෙනවා.

නමුත් පසුව වරින්වර ඇති වූ ආබාධ නිසාවෙන් සිය දස්කම් වර්ධනය කර ගැනීමට අසමත් වූ Blake 2012 වසරින් පසුව දිනා ගත් එකම තනි පදක්කම් වුනේ 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දිනා ගත් පදක්කමයි.

2021 වසරේ පැවති ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ද ඔහු සහභාගී වූවත් මීටර් 100 අවසන් තරගයට හෝ සුදුසුකම් ලබා ගැනීමට ඔහුට නොහැකි වූ අතර ජැමෙයිකානු සහය දිවීමේ කණ්ඩායමට ද එම තරගාවලියේ පදක්කමක් දිනා ගැනීමට හැකි වුනේ නැහැ.

ඔහු අවසන් වරට සහභාගී වූ 2022 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී ද ඔහුට මීටර් 100 සහ 200 යන ඉසව් ද්විත්වයේම අවසන් තරගවලට හෝ සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුනා.

මේ වන විට 32 වැනි වියේ පසු වන Blake සිය සමුගැනීම පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,

“මීටර් 100, 200 සහ සහය දිවීමේ තරග නියෝජනය කරද්දී ඔබෙන් බොහෝ ශක්තියක් වැය වෙනවා. ඒ නිසා මම ඒකට විශාල අවධානයක් ලබා දෙන්න ඕන. 2024 පැරිස් ඔලිම්පික් උළෙල මගේ ක්‍රීඩා දිවියේ අවසන් ධාවන තරගය වෙයි.”

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<