ලොව වේගවත්ම මිනිසාගේ ගිණුමේ මුදල් අතුරුදන්

7103

8 වරක් ඔලිම්පික් රන් පදක්කම් ලාභී සුපිරි ක්‍රීඩක Usain Boltගේ ගිණුමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 12.7ක මුදලක් අතුරුදහන් වී ඇති බව ඔහුගේ නීතිඥවරයන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු සිය ක්‍රීඩා දිවියේ උපයා ගත් ධනය ජැමෙයිකාවේ පෞද්ගලික ආයෝජන සමාගමක ආයෝජනය කර තිබූ බවත්, එම ගිණුමෙන් මෙම මුදල් අතුරුදන් වී ඇති බව ඔවුන් ප්‍රකාශ කර තිබුණා.

මෙම පිළිබඳව පසුගිය සතියේ අදහස් දක්වමින් Bolt ප්‍රකාශ කළේ Stocks and Securities Ltd සමාගම සතු සිය ගිණුමේ මුදල් අදහා ගත නොහැකි පරිදි අඩු වී ඇති බවයි.

ඔහුගේ පෞද්ගලික නීතිඥ Linton P Gordon සඳහන් කර තිබුණේ ඩොලර් මිලියන 12.8ක් තිබූ ඔහුගේ ගිණුමේ දැන් ඉතිරිව ඇත්තේ ඇමරිකානු ඩොලර් 12,000ක් පමණක් බවයි.

“සමාගම එම මුදල් නැවතත් ලබා නොදුන්නොත් අපි උසාවි යනවා. මේක නිවැරදි නම් එසේ වෙන්නේ නැහැ කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපගේ සේවාදායකයාට එරෙහිව බරපතළ සොරකමක්, වංචාවක් හෝ මේ දෙකේම එකතුවක් සිදුව තිබෙනවා.

දින 10ක් ඇතුළත මුදල් නොදුන්නොත් සිවිල් සහ අපරාධ නීතිය යටතේ අපි නඩුවලට යනවා”, යැයි ඔහු ප්‍රකාශ කළා.

Boltගේ ගිණුම පැවති Stocks and Securities Ltd සමාගම මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,

“අපගේ ගනුදෙනුකරුවන් වැඩි විස්තර ලබා ගැනීමට නොඉවසිල්ලෙන් පසු වන බව අපි දන්නවා. අපි අවශ්‍ය පියවර හරහා මෙම කාරණය සමීපව නිරීක්ෂණය කරලා එම තොරතුරු හරහා ලබා දෙන විසඳුම් මොනාද කියලා ඔවුන්ට ඉක්මනින් දැනුම් දෙනවා.”

එමෙන්ම මෙම වංචාව පිළිබඳව ඔවුන් මෙම මස මුලදී දැන ගත් බව සහ තවත් ගනුදෙනු කරුවන් කිහිපයකටම මෙලෙස ඩොලර් මිලියන ගණනින් අහිමි වූ බව ඔවුන් ප්‍රකාශ කර තිබුණා.

මෙම සිදුවීම පිළිබඳව අවධානය යොමු කළ ජැමෙයිකානු අග්‍රාමාත්‍යවරයා ද ප්‍රකාශ කළේ මෙය භයානක සහ අවදානම් සහගත තත්වයක් බවයි.

මලල ක්‍රීඩා පිටියේ මෙතෙක් බිහි වූ වේගවත්ම ක්‍රීඩකයා වන Bolt දශකයකට ආසන්න කාලයක් මුළුල්ලේ මෙම සමාගමට ආයෝජනය කර ඇති බව ද වාර්තා වෙනවා.

2008 වසරේ සිට 2016 දක්වා ඔලිම්පික් පිටියේ මීටර් 100 සහ 200 ආධිපත්‍ය පතුරවමින් රන් පදක්කම් දිනා ගත් අතර මීටර් 100 ඉසව්ව තත්පර 9.58ක කාලයකින් සහ මීටර් 200 ඉසව්ව තත්පර 19.19ක කාලයකින් අවසන් කරමින් ලෝක වාර්තාවට ද හිමිකම් කියන්නේ ද ඔහුයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<