ක්‍රිකට් පිටියේ අග්‍රගණ්‍ය දිල්ලි පුරාවෘත්තය

1963
Virat Kohli
@Getty Images
 

1998 මැයි හෝ ජුනි වගේ මාසෙක ඉන්දියාවේ දිල්ලි නුවර තවත් එක්තරා සාමාන්‍ය දවසක්. අපේ කතානායකයා අවුරුදු නමයක විතර චබී කොල්ලෙක්. මේ පොඩි එකා එයාගේ තාත්තා ප්‍රේම්ගේ අතේ එල්ලිලා බටහිර දිල්ලි ක්‍රිකට් ඇකඩමියට ආවේ ක්‍රිකට් ගහන්න පුරුදු පුහුණු වෙන්න.

මම මෙතන දී කියන්න ආපු කතාව නවත්තලා වෙනත් පැත්තකට යනවා.

1998 අප්‍රේල් මාසේ අග දවසක, සාජා නුවර පැවති කොකා-කෝලා කුසලාන තරගයක දී සචින් තෙන්දුල්කාර් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පන්දු යවන්නට මදි නොකියන්න නොසෑහෙන්න බැට දුන්නා.

සචින්ගේ ඔය ඉනිමට ‘Desert Storm’ කියල අපූරු නමකුත් පටබැඳුණා. සචින් එදා හතරේ පහර නමයක් සහ හයේ පහර පහක් සමඟ පන්දු 131කින් ලකුණු 143ක් රැස් කළා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කිසිම පන්දු යවන්නෙක්‍ට සචින්ගෙන් සමාවක් ලැබුණේ නැහැ.

සචින්ගේ ප්‍රහාරයට වහ වැටිච්ච ඉන්දියාවේ ගොඩක් පොඩි දරුවෝ තමන්ට ළඟම තියන ක්‍රිකට් ඇකඩමිය හොයාගෙන ගියා. අපි මේ කතා කරන දරුවාත් එහෙම කෙනෙක්.

Virat Kohli
ක්‍රිකට් ලෝලී ප්‍රේම් සිය පුත්‍රයා සමඟ

අපි ආපහු ප්‍රධාන කතාව පැත්තට එමු.

ක්‍රිකට් ගහන්න කියල ආවට බටහිර දිල්ලි ක්‍රිකට් ඇකඩමියේ ඉන්න ප්‍රධාන පුහුණුකරුවා වෙච්ච රාජ්කුමාර් ෂර්මාට මේ කොලුවගේ අනිත් එවුන්ට වඩා විශේෂයක් පේන්න නෑ. මොකද දිල්ලි නුවර ක්‍රිකට් ඇකඩමිවලට එන පොඩි එවුන් ඔක්කොම දක්ෂතාවය අතින් එක සමානයි. ඉස්සරහට යන්න නම් මොකක් නමුත් සුවිශේෂී දෙයක් දක්ෂතාවයක් පේන්න ඕන.

ඔහොම ටික දවසක් ගත වුනා. දවසක් මේ සියල්ල උඩු යටිකුරු කරන යමක් සිදු වුනා.

අපි මේ කියන දවසේ පුහුණුකරුවාගේ ඇස් උඩ යන දෙයක් කරන්න අද අපි කතා කරන පොඩි කොලුවට හැකියාවක් ලැබුණා.

ඒක බවුන්ඩ්‍රි ලයින් එකේ ඉඳන් දාපු ත්‍රෝ එකක්. බුලට් එකක් වගේ විදුලි වේගයෙන් ආපු බෝලේ නැවතුණේ කඩුලු රකින්නා අතේ.

අවුරුදු නමයක පොඩි එකෙක්ගෙන් එහෙම පන්දු බාරදීමක් කිසිම ආකාරයකින් බලාපොරොත්තු වෙන්න බැරි බව දන්න පුහුණුකරුවා අතිශයින්ම මවිතයට පත්වුනා.

ප්‍රධාන පුහුණුකරුවා එයාගේ සහාය පුහුණුකරු දිහා බැලුවාම ඒ මනුස්සයාගේ ඇස් දෙක නළලේ.

සමහර පොඩි දේවල්වලින් දක්ෂ පුහුණුකරුවන් ක්‍රීඩකයින් මැන ගන්න ආකාරය පුදුමයි. මේ පුහුණුකරුවාත් එහෙම කෙනෙක්.

ඊළඟ තරගයේ දී අර පොඩි කොලුවා ගහපු ෆ්ලික් ෂොට් එකක් මිඩ් විකට් දෙසින් වාතය කපාගෙන ගිහින් නරඹන්නන් අතරට වැටෙනවා. ඒකත් ලේසි පහසු පහරක් නෙවෙයි.

දැන් නම් අර පුහුණුකරුවාට ටක්කෙටම ෂුවර් මේ චබී, පොඩි කොලුවාට ක්‍රිකට් ක්‍රීඩාවේ දිග, ලොකු ගමනක් තියනවා කියල.

“පිතිකරණ ලැයිස්තුවේ දෙන ඕනම තැනක බැට් කරන්න එයා ලෑස්ති වෙලා හිටියා. පුහුණුවීම් ඉවර වෙලා එයාව ගෙදර යවන්න මට වෙනම මහන්සියක් දරන්න වුනා. ඒ දරුවා පුහුණුවට එන්න කවදාවත් ප්‍රමාද වුනේ නැහැ. කැපවීම උපරිමයි.

අනෙක් දරුවෝ වගේ මේ දරුවා අතන, මෙතන නිකරුණේ කාලය නාස්ති කළේ නැහැ. හැමවෙලේම බැට් එක හෝ බෝලේ අතේ. වැදගත්ම දේ එයා ඉගෙන ගත යුතු පාඩම් ඔක්කොම ඉතා ඉක්මනින් ඉගෙන ගත්තා”.

පුහුණුකරුවා පස්සේ කාලෙක අපේ කතානායක කොලු ගැටයා ගැන කිව්වේ එහෙම. ·

කොච්චර දක්ෂයෙක් වුනත් මේ දරුවාට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉස්සරහට එන්න විශාල බාධාවක් තිබුණා. ඒ දිල්ලියේ කනිෂ්ඨ මට්ටමෙන් ක්‍රිකට් වලින් ඉදිරියට එන්න නම් යම්තාක් දුරකට හිතමිත්‍ර සම්බන්ධකම් තියෙන්න ඕන.

මේ දරුවගේ හෝ එයාගේ තාත්තාගේ නෑදෑ, හිතමිත්‍රයෝ දිල්ලි ක්‍රිකට් වල ලොකු ලොකු තැන්වල නෑ. ඒ හින්දාම මේ කොලුවා සමහර වෙලාවට අහේතුකවම ටීම් එකෙන් කැපිච්ච වෙලාවල් තිබුණා.

හැබැයි ඉතින් කොල්ලා ගේම අතෑරියෙත් නෑ. ඔහු මානසිකව ඉතාම ශක්තිමත් කෙනෙක්. මේ ඒකට හොඳ උදාහරණයක්.

2006 දෙසැම්බර් මාසේ දවසක අපි මේ කතා කරන දරුවාගේ තාත්තා හෘදයාබාධයකින් මෙලොව හැර යනවා. ඒ වෙද්දී අපේ කතානායක තරුණයා ඉන්නේ දිල්ලි කණ්ඩායම නියෝජනය කරමින් කර්නාටක කණ්ඩායමට එරෙහිව රංජි කුසලාන තරගයක.

පියා මිය යන අවස්ථාවේ දී ඔහු ලකුණු 40ක් රැස් කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටියා. දිල්ලි කණ්ඩායම එවෙලේ වැටී සිටියේ ඉතාම අවදානම් තත්ත්වයකට. දිල්ලිය අවමානයෙන් ගලවා ගැනීමට නම් සුවිශේෂී යමක් කිසියම් හෝ පිතිකරුවෙකුට කිරීමට සිදු වුනා.

එදා දිල්ලි කණ්ඩායම ගලවා ගැනීමට පැමිණියේ අප කතානායක තරුණ ක්‍රීඩකයා. සිය පියාගේ නිසල දේහය නිවසේ තැන්පත් කර තිබිය දී ඔහු ක්‍රීඩාංගණයට පැමිණ ලකුණු 90ක් රැස්කර ගනිමින් දිල්ලියේ ගෞරවය බේරාගත්තා.

Virat Kohli
පියාගේ දේහය නිවසේ තැන්පත් කර තිබිය දී දිල්ලි කණ්ඩායමේ ගෞරවය වෙනුවෙන් ෆිරෝෂා කොට්ලාවේ දී පිතිහරඹයේ යෙදෙමින්. ©The Hindu Archives/ S. Subramanium

බටහිර දිල්ලි ක්‍රිකට් ඇකඩමියේ දී අපි ඉහත කියපු විශේෂ දේවල් දැකපු දවසේ ඉඳලම රාජ්කුමාර් ෂර්මා කියන පුහුණුකරුවා මේ පොඩි දරුවාගේ පිටිපස්සෙන්ම හිටියේ.

2006 වසරේ යොවුන් ලෝක කුසලානය පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ.

ලෝක කුසලානයට සහභාගී වූ ඉන්දියානු යොවුන් කණ්ඩායම නවාතැන් ගෙන සිටි කොළඹ හෝටලය වටා නොයෙක් ආකාරයේ ඒජන්තවරු ඒ දවස් කිහිපයේම කඳවුරු බැඳගෙන හිටියේ.

මේ ඒජන්තවරුන්ගේ මූලික අභිප්‍රාය වූයේ යම් යම් මූල්‍යමය වටිනාකම්වලට ඉන්දීය යොවුන් ක්‍රීඩකයින් තමන් වෙත නතු කරගැනීම.

කොළඹ සිදුවීම් මාලාව මෙසේ වෙද්දී ඉන්දියාවේ දිල්ලි නගරයේ වෙසෙන රාජ්කුමාර් ෂර්මා පසුවුනේ මහත් නොසන්සුන් බවකින්.

Virat Kohli
රාජ්කුමාර් ෂර්මා සිය අනභිභවනීය ගෝලයා සමග.

ඔහුගේ ළාබාල සිසුවා එනම් අපේ කතානායකයා මේ වෙද්දී හිටියේ ඉන්දීය යොවුන් කණ්ඩායමේ එළිපත්තේ. බාහිර ලෝකයේ නපුරු බලවේගවලින් සිය ගෝලයා ආරක්ෂා කර ගත යුතු බව ෂර්මා පුහුණුකරුවා නිතරම හිතුවේ.

“ඔහු වයසින් ගොඩාක් අඩුයි. තරුණ ක්‍රීඩකයින්ට එන මේ සල්ලි ගනුදෙනු නිසා ඔළුව වෙන වෙන පැති වලට යන්න පුළුවන්.”

දිල්ලියේ පුහුණුකරුවා සිය මිත්‍රයින් සමඟ කනස්සල්ලෙන් පැවසුවා.

“බය වෙන්න එපා. ඔබට මා ගැන කවදාවත් නරක දෙයක් නම් අහන්න ලැබෙන්නේ නෑ.”

ගෝලයා සිය පණිවිඩය ඉතාම පැහැදිලිව ගුරුතුමාට දන්වා හිටියා.

ඉන් දශක එකහමාරක කාලයක දී බොහෝ දුක්ගැහට මැදින් ආ ඒ යොවුන් ක්‍රීඩකයා සිය දක්ෂතාවය නිසාම ලෝක ක්‍රීඩාවේ දක්ෂතම සහ ජනප්‍රියතම තරු ගොන්නේ ඉහළින්ම වැජඹෙන්න සමත් වී සිටිනවා. අද වෙද්දී ඔහුගේ වාණිජමය වටිනාකමේ ද අඩුවක් නැහැ.

ඔහුගේ නම විරාත් කෝලි.

එතෙක් මෙතෙක් ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ අග්‍රගණ්‍ය ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් හිමි කරගන්නත් පසුකාලීනව මේ දිල්ලි කොලු ගැටයාට හැකියාවක් ලැබුණා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<