ක්‍රිකට් පිටියේ දෙබරවැව මරු සුරා!

1302

අවුරුදු ගණනකට පෙර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති ක්‍රිකට් තරගයකි. එය නරඹමින් සිටි පාසල් ක්‍රීඩකයින් කිහිපදෙනෙකි.

“මම කවදහරි මෙයාව අවුට් කරනවා. ඔළුවටම බවුන්සර් එකක් දානවා.” එකෙකු කටහඬ අවදි කළේය.

මේ පාසල් ක්‍රීඩකයා කවදා හෝ දවා ගන්නෙමියි කීවේ එසේ මෙසේ ක්‍රීඩකයෙකු නොවේ. සචින් තෙන්දුල්කාර් නම් ඔහු දවා ගන්නට ලෝක මට්ටමේ කිසිම පන්දු යවන්නෙකුට ලෙහෙසියෙන් කරන්නට බැරි වැඩක්ය. බිඳ හෙළන්නට අපහසු පිතිකරණ වාර්තා සෑහෙන ප්‍රමාණයක් තැබුවෙකි.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන මෙම ළාබාල ක්‍රීඩකයාගේ ප්‍රකාශයට ඔහුගේ මිතුරෝ සරදම් සහගතව සිනාසුණේ එය යථාර්ථයක් වන්නට කෙතරම් අපහසු කාරණාවක් ද කියා දන්නා නිසාය.

වසර ගණනාවකට පසුව ඉන්දියාවේ කල්කටා නුවර දී සිය දෙවැනි ජාත්‍යන්තර කඩුල්ල ලෙස සචින් තෙන්දුල්කාර් දවා ගන්නට අප කතානායක ක්‍රීඩකයාට හැකියාවක් ලැබුණි.

ඔහු නමින් සුරංග ලක්මාල් ය.

1987 වසරේ මාර්තු 10 වැනිදා තිස්සමහාරාමයේ දී උපත ලද රණසිංහ ආරච්චිගේ සුරංග ලක්මාල්ගේ කුඩා කාලය ගෙවුණේ ගොවිතැනට හුරු ගැමි වටපිටාවකය.

දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය ක්‍රිකට් ගමන ඇරඹි ලක්මාල්ට පසුකලෙක ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එක්වන්නට ලැබෙන්නේය.

“‍රිච්මන්ඩ් එකයි දෙබරවැව සෙන්ට්‍රල් එකයි එක්ක තිබුණ පහළොවෙන් පහළ මැච් එකක සුරා සෑහෙන වේගයෙන් බෝල් කරලා තිබුණා. පස්සේ කාලෙක රිච්මන්ඩ් එන්න ඒ තරගය සෑහෙන බලපාලා තිබුණා.

ඒ වෙනකොටත් අපි දන්නවා දෙබරවැව සෙන්ට්‍රල් එකේ හීන්දෑරී උස කොල්ලෙක් හොඳට, හයියෙන් බෝල් කරනවා කියල”.

සුරංග ලක්මාල් සමග රිච්මන්ඩ් කණ්ඩායම නියෝජනය කළ ඔහුගේ සමීපතම මිතුරෙකු වූ චමිත් ද සිල්වා අප සමඟ පැවසුවේය.

“සුරා මුලින්ම රිච්මන්ඩ් එන්න ලොකු කැමැත්තකින් හිටියේ නෑ. එයාට හුරුපුරුදු පරිසරය වෙනස් වීම ඒකට ලොකුවට බලපාන්න ඇති කියල මම හිතන්නේ.

2007 වසරේ රිච්මන්ඩ්- මහින්ද පාසැල් මහා තරගයේදී සුරංග ලක්මාල් රිච්මන්ඩ් විද්‍යාලය නියෝජනය කරමින්.

සුරාට ගෙදර ගැන ලොකු සාංකාවක් තිබුණා. සමහර මැච් දවස්වල උදේට සුරා හොයාගන්න නැහැ. බැලුවාම බස් එකේ එල්ලිලා ගෙදර ගිහින්. එයාගේ මස්සිනාට බස් තිබුණා. ඒ නිසා ඒ පැත්තේ බස්වල වැඩ කරන හැමෝම සුරාව දන්නවා. එහෙම යන බස් එකක එල්ලිලා කාටත් නොකියාම සුරා ගෙදර යනවා.

හදිස්සියේ ගෙදර දුවපු නිසා පළවෙනි අවුරුද්දේ සෑහෙන මැචස් ගානක් සුරාට මිස් වෙන්න ඇති.

අන්තිමේ අපේ ඉස්කෝලේ මාස්ටර් ඉන් චාජ් එහේ ගිහින් කතා කරලා කොහොම හරි ආපහු සුරාව එක්කං එනවා.

සුරා ගැන කිව්වොත් එයාගේ කැපවීම ගැන තමයි ගොඩාක් කතා කරන්න පුළුවන්. ගොඩාක් පොඩි තැනක ඉඳන් ඇවිත් සුරා ඇචීව් කරපු දේවල් හිතාගන්නවත් බෑ.

අපි සුරාගේ ගෙදර ගිහින් තියනවා. ගොවිතැනට හුරු පරිසරයක්. සෑහෙන දුෂ්කරයි. හැබැයි සුරංග ලක්මාල් කියන ධෛර්යවන්ත ක්‍රීඩකයා බිහි වෙන්නේ ඒ වගේ දුෂ්කර පරිසරයක් නිසාවෙන්.” ·

2006 වසරේ සුරංග ලක්මාල් නම් අංකුර වේගපන්දු යවන්නාට ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය හා එක්වීමට ඉඩ කඩ ලැබෙන්නේය. එය ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂී කඩඉමකි.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට ක්‍රිකට් ක්‍රීඩා කරන්නට පැමිණිය ද ලක්මාල් සතුව සපත්තු කූට්ටමක් හෝ තිබුණේ නැත.

ටැමිල් යූනියන් එකේ අය මාව හොඳට බලා ගත්තා. මට අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර පාන, මගේ ඉඳුම් හිටුම් ඔක්කොම දේවල් එයාලා හොඳටම බලා ගත්තා. එවකට ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ සභාපති වූ ඩිනාල් පිලිප්ස්, බ්‍රෙන්ඩන් කුරුප්පු යන මහත්වරු ඉන් විශේෂයි.

ජනශක්ති රක්ෂණ සමාගමෙන් මට රැකියාවක් ලැබෙන්නෙත් ඒ කාලේ දී ම. ඒක මට ආර්ථිකය පැත්තෙන් ලොකු හයියක් වුනා.

එවන් අතිශය අසීරු පරිච්ඡේද පසු කරමින් ආ සුරංග ලක්මාල් 2022 වසරේ බැංගලෝරයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගවල දී වැඩිම කඩුලු දවා ගත් ලැයිස්තුවේ හතරවැනි ස්ථානය හිමි ක්‍රීඩකයා ලෙසය.

එමෙන්ම ටෙස්ට් තරග පහකට ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් සුරංග ලක්මාල් ඉන් තරග තුනක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් විය. එහි අනර්ඝතම ජයග්‍රහණය වූයේ 2018 වසරේ බාර්බඩෝස්’හිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලබා ගත් ජයග්‍රහණයයි.

මෙම ලියුම්කරුට සුරංග ලක්මාල් ගැන අපුරු අත්දැකීමක් තිබේ. 2016 වසරේ SL Cricket ෆේස්බුක් සමුහය විසින් මෙහෙය වූ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය පැවැත්වුණේ රත්මලාන වාරිමාර්ග ක්‍රීඩාංගණයේ දී ය.

එහි ප්‍රධාන අමුත්තා ලෙස පැමිණියේ අප කතානායක සුරංග ලක්මාල් ය.

වාරිමාර්ග ක්‍රීඩාංගණයේ පැත්තක ලෙදර් පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන කුඩා දරුවන් පිරිසකි. ක්‍රීඩාවේ යෙදෙන දරු පිරිස දුටු ලක්මාල් සෙමෙන් සෙමෙන් ඔවුන් වෙත ඇවිද ගිය අතර කුඩා දරුවන් පිරිසට ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික සිද්ධාන්ත සම්බන්ධයෙන් සෑහෙන

අවබෝධයක් ලබා දුන්නේය. පන්දුවේ සීමය අල්ලන ආකාරයේ සිට ක්‍රිකට් ක්‍රීඩාවේ ආචාරධර්ම ගැන ද උපදෙස් මාලාවක් ඒ අතර විය.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් සුරංග ලක්මාල් මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය වෙනුවෙන් ඩාර්බිෂයර් කණ්ඩායම හා එක්වීමට නියමිතය. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලැබුණ මහඟු වරමකි.

තමා සතු දැනුම, අත්දැකීම් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් හා බෙදා හදා ගන්නට සැදී පැහැදී සිටින ලක්මාල්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් උපරිමය ලබා ගන්නට ක්‍රියා කළ යුතුය.

ආදරණීය සුරා, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඔබ කළ සේවයට ස්තුතියි!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<