රෝහිත් – කෝලි සීතල යුද්ධයක ද?

1789
News NCR

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය පිළිබඳ ඇතිව තිබූ කතාබහ පසුගිය දා අවසන් වුනේ රෝහිත් ෂර්මා හට ටෙස්ට්, එක්දින සහ විස්සයි-විස්ස යන රටා තුනෙහිම නායකත්වය ලබා දෙමිනි. මේ අතරින් නිත්‍ය ටෙස්ට් නායකත්වය ලැබුණු මොහොතේ ඔහු මාධ්‍ය වෙත පැවසූ විශේෂ කාරණා කිහිපයක් ගැන යළිත් කියවා බැලීම වටියි.

රෝහිත් හට නිත්‍ය ටෙස්ට් නායකත්වය පිරිනැමෙන තෙක් ඉන්දියානු කණ්ඩායමේ දිගුකාලීන නිත්‍ය ටෙස්ට් නායකයා වූයේ සුපිරි පිතිකරු විරාත් කෝලියි. පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසුව තමන් ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වන බව ඔහු විසින් නිවේදනය කිරීමෙන් පසුව නායකත්ව තනතුරට සුදුසු ක්‍රීඩකයෙකු සොයා ගැනීම ඉන්දියානු පරිපාලකයන්ට තරමක හිසරදයක් වූ බව කිව යුතුය.

ඒ ආජින්ක්‍ය රහානේ, රෝහිත් ෂර්මා, කේ.එල්.රාහුල්, රිශාබ් පන්ට්, ශ්‍රෙයාස් අයියර් වැනි නම් කිහිපයක්ම ඊට සුදුසු බව ඔවුන්ට වැටහුනත් ඒ එක් එක් ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් රටා තුනෙහිදීම එක ලෙස දස්කම් අතර නොසිටීම සහ එක් එක් ක්‍රීඩකයා සතු නායකත්ව ගුණාංග එකිනෙකාගෙන් වෙනස් වූ බැවිනි.

“ඉන්දියානු ක්‍රිකට් ඉදිරියට ගෙන යා යුත්තේ කුමන නායකයා සමඟ ද?” යන්න ඉන්දියානු පරිපාලකයන් අතර පමණක් නොව ක්‍රිකට් විචාරකයන් අතර ද කතාබහට ලක්විය.

>> ඉන්දීය නායකත්ව ගැටලුව ගැන මෙතනින්

විරාත් කෝලි යටතේ ඉන්දියානු කණ්ඩායම දකුණු අප්‍රිකාවේ දී හැර අන් සෑම ටෙස්ට් රටක දී ම (පාකිස්තානයට හෝ මැදපෙරදිගට සංචාරය කිරීම ප්‍රතික්ෂේප කර තිබිය දී) ජයග්‍රහණ වාර්තා කළේය.

ඊට ප්‍රධානම හේතුවක් වූ නායක විරාත් කෝලිගේ පිතිකරණය වුවත් මෑත කාලීනව එය දියාරු වීමට ලක්වීම ඉන්දියාවට දැඩි ප්‍රශ්නයක්ව පැවතිණි. එමෙන්ම තමන් දස්කම් අතර නොසිටින කාලයක නායකත්වයෙන් ඉල්ලා අස්වීමට කෝලි තීරණය කිරීම සහ ඔහු හා සමීපව වැඩ කටයුතු කළ පුහුණුකරු රවී ශාස්ත්‍රිගේ ධුර කාලය අවසන් වීම නිසා අප්‍රකට ගැටලු රැසක් ප්‍රකට වන්නට පටන් ගත්තේය. බොහෝ දෙනා පවසන්නේ නව පුහුණුකරු රාහුල් ද්‍රාවිඩ් සහ විරාත් කෝලි අතර එතරම් සුහද සම්බන්ධයක් නොමැති බවයි.

තරගාවලි ජයග්‍රහණය කළත් “ශූරතා ජයග්‍රහණය” නම් කරුණ තිබුණේ කෝලිට මඳක් ඈතිනි. කෝලිගේ නායකත්වය යටතේ ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමිකරගෙන නොසිටි රෝහිත් ෂර්මාව එංගලන්තයට එරෙහි තරගාවලියේ දී යළි කණ්ඩායමට ඇතුළත් කිරීම සහ එහි දී ඔහු ඉවසිලිවන්තව ලකුණු අතරට පැමිණීම මේ අතර සිදු විය.

මීළඟට පැවති දකුණු අප්‍රිකානු සංචාරයේ දී ඉන්දීය ටෙස්ට් නායකත්වයේ වෙනසක් සිදු වනු ඇති බවට හොඳම ඉඟිය එය වුවත්, ආබාධයක් නිසා රෝහිත් එම සංචාරයෙන් ඉවත් විය. කෙසේ වෙතත් එතෙක් කෝලි හට නායකයෙකු ලෙස ජයග්‍රහණය කිරීමට ඉතිරිව තිබූ එකම අභියෝගයේ දී ඔහු ඇතුළු ඉන්දියානු කණ්ඩායම පරාජය විය. මේ වන විටත් දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කොට ඇති එකම ආසියානු රට ශ්‍රී ලංකාව ය.

>> විරාත් කෝලිගේ ජීවිත කතාව

කෝලිගේ නායකත්වය යටතේ තනි ක්‍රීඩකයන්ගේ දක්ෂතා කැපී පෙනුණු අතර කෝලි වැනි ක්‍රීඩකයෙකුගේ පෞද්ගලික දස්කම් වටා ඉන්දියානු කණ්ඩායම සවිමත් වීම කැපී පෙනිණි.

එහෙත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන අධ්‍යයනය කරන ඔබ අප කාලාන්තරයක් තිස්සේ දැක ඇති කාරණය නම් පෞද්ගලික දක්ෂතා මත පමණක් ජයග්‍රහණ තීරණය වීම දිගුකාලීනව කණ්ඩායමකට අවාසියක් බවයි.

කණ්ඩායමක් ලෙස ජයග්‍රහණ කරා යාම අතිශයින්ම වැදගත් ය. 1996 ලෝක කුසලාන ජයග්‍රහණය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම සහ 2007 විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණය කළ ඉන්දියානු කණ්ඩායම මීට කදිම උදාහරණ ලෙස ගෙනහැර දැක්විය හැකිය.

එම ජයග්‍රහණ දෙකෙන් පසුව අදාළ කණ්ඩායම් දිගුකාලීනව ජාත්‍යන්තරයේ දී පෑ දස්කම් ගැන ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

එබැවින් දක්ෂ ක්‍රීඩකයන් රැසකගෙන් සැදුම්ලත් ඉන්දියාව වැනි කණ්ඩායමකට පෞද්ගලික දස්කම් ඉක්මවා කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළ හැකි ද යන්න ගැන කාලයක් පුරා ක්‍රිකට් ලොව තුළ කතාබහට ලක්විය.

නිත්‍ය නායකත්වය ලැබූ දිනයේ රෝහිත් ෂර්මා ඊට පිළිතුරු ලබා දුන් ආකාරය පසුපස රෝහිත්-කෝලි සීතල යුද්ධයක සේයා සැඟව තිබුණි දැයි විටෙක සිතිනි. Xtra Time ඔස්සේ සජීව ලෙස සම්බන්ධ වෙමින් රෝහිත් මෙසේ කීය.

ඔබ ක්‍රීඩාවක යෙදෙනවා නම් වඩා වැදගත් වෙන්නේ ශූරතා ජයග්‍රහණය කිරීමයි. ඔව්, ඔබට ලකුණු ගොඩක්, ශතක ගොඩක් ලබාගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. ඒත් ශූරතාවයක් ජයග්‍රහණය කිරීම හැමදාම ඔබේ මතකයේ රැඳෙනවා. මොකද ඒක කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයක්.”

Indian Express විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා IPL තරගයක් අතරතුර

මෙසේ අදහස් දක්වන්නේ වත්මන් ඉන්දීය ක්‍රිකට් නායකයා පමණක් නොවේ. IPL ඉතිහාසයේ සාර්ථකම නායකයා ය. රෝහිත් ෂර්මාගේ නායකත්වය යටතේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම විසින් ජය ගෙන ඇති IPL ශූරතා ගණන 5කි.

IPL සහ ජාත්‍යන්තර ක්‍රිකට් යනු සම්පූර්ණයෙන්ම ක්‍රිකට් ක්ෂේත්‍ර දෙකක් බව අප දත යුතු නමුත් නායකයෙකු ලෙස කණ්ඩායමක් ඉදිරියට ගෙන යෑම ගැන රෝහිත්ගෙන් උගත යුතු පාඩම් රැසක් ඇත.

විරාත් කෝලි මෙතෙක් නායකයෙකු ලෙස තරගාවලි ජය ගෙන ඇතත් ශූරතා ජය ගෙන නැත. එහෙත් පෞද්ගලික දස්කම් අනුව ලොව වැඩිම එක්දින ශතකලාභීන් අතර දෙවැන්නායි. එක්දින ලකුණු 10,000 පසු කළ වේගවත්ම පිතිකරුවායි. රෝහිත්ගේ අදහස් දැක්වීම පිටුපස එවැන්නක් සැඟව තිබුණේ දැයි අපි නොදනිමු.

අපි ක්‍රීඩා කරන්නේ කණ්ඩායම් ක්‍රීඩාවක්. අවසානයේ දී වැදගත් වෙන්නේ තනියෙන් ලබා ගන්නා ජයග්‍රහණවලට වඩා කණ්ඩායමක් හැටියට ලබා ගන්නා ජයග්‍රහණයි. මට තියෙන්නේ කණ්ඩායමක් හැටියට තියෙන ඉලක්කයක්. ශූරතා ජයග්‍රහණය කරන්න තියෙන ඉලක්කයක්.”

එය පැහැදිලිය. ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියානු සංචාරයක යෙදෙමින් සිටින මේ මොහොතේ දී එය ශ්‍රී ලංකාවට එතරම් සුබදායී පුවතක් විය නොහැකිය. කණ්ඩායමක් තනාගෙන එය ඉදිරියට ගෙන යන නායකයෙකු වටා ඉන්දියාව රොද බඳිමින් සිටියි.

අපට ක්‍රීඩකයන් ඉන්නවා. සහාය කාර්යමණ්ඩලයක් ඉන්නවා. ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න තියෙනවා. හැමෝම එකතු වෙලා උත්සාහ කිරීම තමයි අවශ්‍ය. එතන ලොකු පීඩනයක් තියෙනවා. මම කරන්න කැමති දේ තමයි අඩු තරමින් ක්‍රීඩකයන්ගෙන් ඒ පීඩනය ඉවත් කරන එක. ඔවුන්ට එළියට ගිහින් තමන්ගේ දේ කරන්න අවශ්‍ය ආරක්ෂාව සහ නිදහස සලසන එක.”

විරාත් කෝලි වැනි අග්‍රගණ්‍ය ක්‍රීඩකයෙකුගේ නායකත්වය යටතේ ඉන්දියානු කණ්ඩායම ශූරතා ජයග්‍රහණය නොකිරීමට හේතු ඒවා දැයි අපි නොදනිමු. එහෙත් රෝහිත් ෂර්මා තම නායකත්වය ස්ථිර වූ මොහොතේ මෙවැනි විවෘත අදහස් දැක්වීමක් කිරීම පිටුපස ඉන්දියානු ක්‍රිකට් බලය ඔහු පසුපස සිටගෙන සිටින බවට ඉඟි පළකරයි.

ක්‍රීඩකයෙකු ලෙස ඔහු කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක් දැයි මාධ්‍යවේදී බෝරියා මජුම්දර් ඔහුගෙන් විමසුවේය.

නායකයා ඉන්න ඕන පිටිපස්සේ. ඔහුට ඉස්සරහ ඉන්න බෑ. මට තේරෙනවා, දස්කම් දැක්වීමේ දී ඉදිරියෙන් සිටිය යුතුයි. ඒත් අනිත් දේවල්වල දී පිටිපස්සේ ආසනයක ඉන්න එක හොඳයි. නායකයා හොඳයි කියලා පේන්නේ කණ්ඩායම හොඳට කරද්දියි. කණ්ඩායම හොඳට කරන්නෙ නැති වෙන කොට නායකයා නරකයි වගේ පේනවා. නායකයෙකු ක්‍රීඩකයන්ට රාජකාරිය කරන්න දෙන ඉඩකඩ ඉතා වැදගත්. නායකයාගේ රාජකාරිය අවබෝධ කර ගැනීම අවශ්‍යයි”

Circle of cricket
රෝහිත් ෂර්මා තම IPL සහ CL ශූරතා සමඟ

විරාත් කෝලි නායකත්වය දරන අවධියේ දී ඔහු සෑමවිටම කැමරාව ඉදිරියේ සිටගැනීමට කැමැත්තක් දැක්වූ බව අපි දැක ඇත්තෙමු. ජයග්‍රහණයක දී, පරාජයක දී, වාග් සටනක දී, දවා ගැනීමක දී පවා අන් සියල්ලන්ටම ඉදිරියෙන් වේදිකාවට පැමිණියේ ඔහුය.

එය ඔහුගේ තරගකාරී මානසිකත්වය නිසා සිදු වූවක් බව නිගමනය කළ හැකි වුවත්, ක්‍රිකට් ක්‍රීඩාවේ දී අප දැක ඇති විශිෂ්ට නායකයන් සාමාන්‍යයෙන් හැඟීම් සඟවා ගෙන සිටිය හැකි දැඩි චරිත ය.

එමෙන්ම අත්‍යාවශ්‍යම මොහොතේ දී පමණක් වේදිකාවට නගින්නෝ ය. අර්ජුන රණතුංග, ස්ටීව් වෝ, මහේන්ද්‍ර සිං දෝනි ආදී විශිෂ්ට නායකයන් සියල්ල ඊට සාක්ෂි දරයි. එහෙත් කෝලිගේ ක්‍රමය ඊට හාත්පසින්ම වෙනස් එකකි. රෝහිත් පවසන අන්දමට ඔහුගේ වැඩි කැමැත්ත ඇත්තේ පැරණි ක්‍රමයේ නායකයෙකු වීමට ය. එනම් පසුපස ආසනයේ සිට කණ්ඩායම මෙහෙයවා අත්‍යාවශ්‍යම මොහොතේ දී පමණක් ඉදිරියට පැමිණීම ය.

රෝහිත්ගේ විස්සයි-විස්ස නායකත්වය යටතේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ඉන්දියාව තරගාවලි ජයක් ලැබුවේය. එළඹෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරයකි. ඊට විස්සයි-විස්ස ජාත්‍යන්තර තරග 3ක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත් ය.

ශ්‍රී ලංකා කණ්ඩායම එතරම් ශක්තිමත් කණ්ඩායමක් ද නොවන බව අප පිළිගත යුතුය. විස්සයි-විස්ස නායකයෙකු ලෙස අපි රෝහිත් ෂර්මාව හඳුනමු. එහෙත් ඔහුගේ ටෙස්ට් නායකත්වය කුමන අයුරින් සිදුවේද යන්න අපට එළඹෙන ටෙස්ට් තරග දෙකෙහිදී දකින්නට ලැබෙනු ඇත.

මේ අතර විරාත් කෝලිගේ ළමා අවධියේ ඔහුගේ පුහුණුකරුවෙකු වූ රාජ්කුමාර් ෂර්මා නව නායක රෝහිත් ෂර්මා ගැන අදහස් දක්වා ඇත්තේ එතරම් සතුටුදායක අයුරින් නොවේ.

අපි රෝහිත්ව දන්නේ කලබලයක් නැති නායකයෙක් හැටියට. ඒත් අන්තිම දවස් කිහිපයේ දී ඔහුට තරහ යනවා මම දැක්කා. ක්‍රීඩකයන්ට ප්‍රසිද්ධියේ අවවාද නොකරන්න ඔහු ඉගෙන ගන්න ඕන. කවුරුහරි වැරැද්දක් කරනවා නම් ඒක තැන්පත්ව තේරුම් කරන්න ඕන”

ඕනෑම කණ්ඩායමක සිටින ප්‍රබල ක්‍රීඩකයන් අතර දස්කම් පිළිබඳ සීතල යුද්ධ තිබිය හැකිය. ඒවා අප්‍රකට වීම ද හොඳ ය. සීතල යුද්ධවලට වඩා ප්‍රබලයන් එකමුතුව ක්‍රීඩා කිරීම ඊට වඩා වැදගත් ය. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දී ශූරතා ජයග්‍රහණය කළ කණ්ඩායම් තුළ අප දැක ඇති විශේෂත්වය එයයි.

එබැවින් රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි අතර මතභේදයක් ඇත්නම් එය සමතයකට පත්වීම ඉන්දියානු කණ්ඩායමට මේ මොහොතේ ලැබිය හැකි හොඳම දායාදයයි. එය එසේ වුවහොත් ප්‍රතිවාදීන්ට නම් නරක සිහිනයක්ම වනු ඇත. රෝහිත් ෂර්මා මෙම අභියෝගය භාරගන්නා අයුරු දෙස බලා සිටිමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<