දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට වින කරන හෙනය

20991
 

රටක ජාත්‍යන්තර ක්‍රිකට් වල සාර්ථකත්වය පිටුපස ඇති ප්‍රබල සාධකයක් නම්, ඕනෑම මොහොතක ජාතික කණ්ඩායමට ඇතුළත් කොට දස්කම් බලාපොරොත්තු විය හැකි මට්ටමේ දේශීය ක්‍රීඩකයන් සිටීමයි.

වචන එහාමෙහා කොට ගත්කල, ඕනෑම මොහොතක දී ජාතික මට්ටමට යොමු කළ හැකි දේශීය තලයේ ක්‍රීඩකයන්ගේ හිඟයක් ඇත්නම් එරට ජාත්‍යන්තර ක්‍රිකට් අසාර්ථක ය. කෙලින්ම ’90 දශකයට යමු.

වසර ගණනාවක දී දැරූ උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ශීඝ්‍ර දියුණුවක් පෙන්නුම් කළ දශකය 1990 දශකයයි. එම දශකය තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ බල කණු ද්විත්වය වූයේ අරවින්ද ද සිල්වා සහ අර්ජුන රණතුංග ය. ’90 දශකයේ පළමු අර්ධයේ දී ඒ බලකණු දෙකට සවියක් වූ අසංක ගුරුසිංහ, රොෂාන් මහානාම, හෂාන් තිලකරත්න යන නම් එක්වූ අතර ’90 දශකයේ දෙවැනි අර්ධය වන විට සනත් ජයසූරිය, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන යන සුවිශේෂී නම් ද එක්විය.

අර්ජුන-අරවින්ද යුගය අවසන් වන විට සනත්-මාවන් යුගය බිහි විය. සනත්-මාවන් යුගය අවසානයේ මහේල-සංගා (කුමාර් සංගක්කාර) යුගය බිහි විය. එතැනින් පසු? ඔව්, එතැන් සිට බිහි වූ යුගලයක් ගැන සිතා ගැනීමට නොහැකිය. චන්දිමාල්-තිරිමාන්න (දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න) යුගයක සුබ සිහින බොහෝ දෙනාගේ සිත් තුළ තිබුණ ද, නොවැළැක්විය හැකි හේතූන් නිසා එම සිහිනය සැබෑ වූයේ නැත. ඔවුන්ට පෙර හුදකලා ඇන්ජලෝ මැතිව්ස් කෙනෙකු බිහි වූ බව නම් මතක ය.

අර්ජුන-අරවින්ද සුසංයෝගයෙන් 1996 ලෝක කුසලාන ජයගත් මොහොත

කුමක්ද හේතුව? හේතුව නම් ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් ක්‍රම ක්‍රමයෙන් දියාරු වී යාමයි. නිසි ප්‍රමිතියේ තණතිලි, නිසි ප්‍රමිතියේ ක්‍රීඩාංගණ, නිසි ප්‍රමිතියේ තරගාවලි, නිසි ප්‍රමිතියේ ක්‍රීඩකයන්, පුහුණු කාර්ය මණ්ඩල, නිසි ප්‍රමිතියේ තරගකාරීත්වයක්, නිසි ප්‍රමිතියේ ක්‍රීඩා සංගම් පද්ධති අපගෙන් දුරස් වීමයි. එනම් දේශීය තරගාවලි ජය ගැනීමේ අටියෙන් කෙටි මාර්ග සෙවීමට පිළිපන් නිසා සමස්තයක් ලෙස රටේ ක්‍රිකට් අභාවයට යාමයි. මෑතක දී අවසන් වූ ඉන්දු-ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලිය වෙතට ඔබේ අවධානය යොමු කරමි.

එම තරගාවලියේ දී නවකයන් ලෙස කණ්ඩායමට ආදේශ වූ ජනිත් ලියනගේ සහ කමිල් මිෂාරගේ පිතිකරණය ගැන නොයෙකුත් කතාබහ ඇති විය. එනමුත් ඒ කතාබහේ දී අසාධාරණයට ලක්වූයේ ඒ නවකයින් දෙදෙනා ය.

පැහැදිලි කිරීමට අවසර පතමි. එය ඔවුන් දෙදෙනාගේ දෙවැනි ජාත්‍යන්තර ක්‍රිකට් සංචාරයයි. දෙදෙනාම දේශීය තලයේ පන්දු යවන්නන්ට එලව එලවා පහර දිය හැකි මට්ටමේ පිතිකරුවන් ය. එහෙත් ජාත්‍යන්තර පන්දු යවන්නන් ඉදිරියේ අසරණ තත්වයට පත්විය. ඔවුන්ට කාලය ඇති බව සැබෑ ය. එහෙත් ඔවුන් ඒ කාලය තුළ ප්‍රේක්ෂකයන්ගේ උසුළු විසුළු වලට හෝ ගැරහුම් වලට හෝ ලක්විය යුතු නැත. කාලයක් නොගෙනම ජාත්‍යන්තර මට්ටමට හිස සකසා ගෙන ජාත්‍යන්තර ක්‍රිකට් වෙත ආ හැකි ක්‍රීඩකයන් අප විසින් නිර්මාණය කරන්නේ කවදා ද?

’90 දශකය වන විට සෑම දේශීය තරගාවලියක දී ම දැකිය හැකිව තිබූ සුවිශේෂී කරුණක් වන්නේ ජාත්‍යන්තරයේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් සෑමවිටම දේශීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමයි. සිය අත්දැකීම් දේශීය ක්‍රීඩකයන් හා බෙදා ගැනීමයි. දේශීය ප්‍රමුඛ පෙළේ තරගාවලියේ දී පමණක් නොව වෙළඳසේවා තරගාවලියේ දී පවා ජාත්‍යන්තර ක්‍රීඩකයන් දේශීය ක්‍රීඩකයන් සමඟින් ක්‍රීඩා කළේය.

එනම් එය මෙවැන්නකි. චමින්ද වාස් වැනි වේගපන්දු යවන්නෙකු ඉදිරියේ ඉනිම ආරම්භ කරන්නට සිදු වූ දේශීය මට්ටමේ ආරම්භක පිතිකරුවෙකුට ජාත්‍යන්තර අවස්ථාවක් ලැබුණු විට, ජාත්‍යන්තර පන්දු යවන්නන් ඉදිරියේ ඔහු අසරණ වන්නේ නැත. ඔහු දේශීය ක්‍රිකට්වල දී ඉනිම ආරම්භ කරන්නේ ලෝක පූජිත චමින්ද වාස්ට එරෙහිව ය. ඔහු ඉනිම මැද දී පන්දුවට පහර දෙන්නේ මුත්තයියා මුරලිදරන් වැනි දඟපන්දු යවන්නන්ට එරෙහිව ය. ඉනිම අවසන් කරන්නේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට එරෙහිව ය. ඒ අත්දැකීම් වල ප්‍රමාණය විශාල ය. · සතියේ ක්‍රීඩා පුවත් විශ්ලේෂණාත්මකව · අසංක ගුරුසිංහ කියන්නේ කවුද? · හෂාන් තිලකරත්න කියන්නේ කවුද?

පන්දු යවන්නෙකුට වුව ලැබෙන ඒ අත්දැකීම් වල ප්‍රමාණය මිනිය නොහැක්කකි. සනත් ජයසූරිය වැනි ප්‍රහාරකයෙකුගෙන් මිදී පන්දු යවන්නට හුරුවන වේගපන්දු යවන්නෙකුට ලොව ඕනෑම ප්‍රහාරක පිතිකරුවෙකු ඉදිරියේ හිස කෙළින් තබාගෙන පන්දු යැවිය හැකිය.

අරවින්ද ද සිල්වාගේ මට්ටමේ පිතිකරුවෙකුට පන්දු යවන දඟපන්දු යවන්නෙකුට ලොව ඕනෑම මට්ටමේ පිතිකරුවෙකු ඉදිරියේ පන්දු යැවිය යුතු ආකාරය ගැන අත්දැකීම් සම්භාරයක් එකතු කර ගත හැකිය.

තිලාන් සමරවීර, චාමර සිල්වා වැනි පිතිකරුවන් බිහි වූයේ එලෙසිනි. නුවන් සොයිසා, රංගන හේරත් වැනි පන්දු යවන්නන් බිහි වූයේ එලෙසිනි. ජ්‍යෙෂ්ඨයන් හා කරට-කර ක්‍රීඩා කිරීමෙන් ලබා ගන්නා අත්දැකීම්වල වැදගත්කම කියා නිම කළ නොහැකි ය. සෑම යුගයක් අවසානයේ දී ම නව යුගයක් බිහිකරන්නට හැකි ක්‍රීඩකයන් බිහි වූයේ එලෙසිනි. එහෙත් වත්මන් ක්‍රීඩකයන්ට ඒ අත්දැකීම් ලැබෙනවා ද?

සනත් ජයසූරිය වැනි පිතිකරුවන් හෝ මුත්තයියා මුරලිදරන් වැනි පන්දු යවන්නන් මේ මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නැත. එය එක්තරා අවාසනාවකි. එහෙත් 2000 වසරේ පළමු දශකයේ මැද භාගය පමණ වන විට ලොව අනෙක් රටවල්වල පැවති සැණකෙළි ක්‍රිකට් වැළඳ ගැනීමට ජාත්‍යන්තර ප්‍රබලයන්ට සිදුවීම සහ තවත් හේතූන් නිසා දේශීය මට්ටමේ ක්‍රීඩකයන් හා අත්දැකීම් බෙදාහදාගනිමින් ක්‍රීඩා කිරීමට ඔවුන්ට ලැබුණු කාලය ප්‍රමාණවත් නොවීය.

එබැවින් ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න ආදී ක්‍රීඩකයන් බිහි වූ යුගයේ සිටි අනෙකුත් සියලු ක්‍රීඩකයන්ට සිදු වූයේ අසාධාරණයකි. පසුකාලීනව ඇතැම් ජාත්‍යන්තර ක්‍රීඩකයන් දේශීය තරග බිමට පය තැබීම පවා ප්‍රතික්ෂේප කළ බව රහසක් නොවේ. ඊට හේතුව ද දේශීය මට්ටමේ දස්කම් නිසි ප්‍රමිතියේ නොතිබීමයි.

පාසල් ක්‍රිකට්වලින් බිහි වන 19න් පහළ සුපිරි පිතිකරුවන් සහ පන්දු යවන්නන් දේශීය තරග බිමට පැමිණ වසරකින් දෙකකින් දස්කම් වර්ධනය කර ගන්නවා නොව, දියාරු කරගනියි. එය ඉක්මනින් ලිහා ගත යුතු ගැටලුවකි. එබැවින් ජාත්‍යන්තර ක්‍රීඩකයන් අදාළ වර්ෂයන් තුළ දී දේශීය තරග බිමේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම පිටුපස ද තර්කයක් ඇත. කෙසේ වෙතත් අවසානයේ දී ඒ සියල්ලෙන්ම බැටකෑවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ය. · ග්‍රෑම් ස්මිත්ගේ ජීවිත කතාව – ඇසිදිසි · ඉයන් බොතම්ගේ ජීවිත කතාව – ඇසිදිසි

’90 දශකය වන විට අත්දැකීම් බහුල ජාත්‍යන්තර ක්‍රීඩකයන් ක්‍රීඩා කළා හෝ නොකළා, දේශීය පිටියේ තිබුණේ දැඩි තරගකාරීත්වයකි. මුලින්ම සඳහන් කළ පරිදි දේශීය පිටියේ තරගකාරීත්වය යනු, ජාත්‍යන්තර පිටියේ සාර්ථකත්වයයි. ’90 දශකයේ ජාතික කණ්ඩායමේ ශීඝ්‍ර දියුණුවට හේතුව දැන් ඔබට පැහැදිලි කර ගත හැකිය. 1999 දී ජාත්‍යන්තර එක්දින පිටියට පිවිසෙන 19 හැවිරිදි චාමර සිල්වා ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව අපහසු තත්වයන් යටතේ වේගවත් අර්ධ ශතකයක් වාර්තා කළේය.

1999 දී ම ජාත්‍යන්තර එක්දින පිටියට පිවිසි ඉන්දික ද සේරම් තම දෙවැනි තරගයේ දී ම නොදැවී ලකුණු 24ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේය. 1997 දී මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ නුවන් සොයිසා පන්දුවාර 7ක දී ලකුණු 29ක් පමණක් ලබා දී කඩුලු 2ක් වාර්තා කළේය. 2001 දී චරිත බුද්ධික සිය මංගල තරගයේ දී ම කඩුලු 5ක් වාර්තා කළේය. මේ සියල්ල ඔවුන් ජාත්‍යන්තර ක්‍රීඩකයන් සමඟින් දේශීය පිටියේ කරට-කර ක්‍රීඩා කොට ලද අත්දැකීම්වල පන්නරයයි.

එහෙත් වර්තමානය වන විට එය එතරම් ලෙහෙසි පහසු නැත. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ජාත්‍යන්තර තලයට හැඩගැසෙන්නට අවම වශයෙන් තරගාවලි 5ක්වත් ගත වේ. එනම් ඒ තරග 15ක් පමණ විය හැකිය. වර්තමාන ක්‍රිකට් යනු ඔබ දස්කම් අතරට පැමිණෙන තෙක් තරගාවලි 5-6ක් ඉවසා සිටිය හැකි මට්ටමේ මලානික ක්‍රීඩාවක් නොවේ. එය වේගවත්ය,

තරගකාරී ය. එහෙත් ඔබට දේශීය තලයේ දී අදාළ අත්දැකීම් ලැබී නොමැති නම් එසේ දස්කම් අතරට පැමිණීම අතිශයින්ම අපහසු ය.

මේ වන විට ජාතික ක්‍රීඩකයන් දේශීය තලයේ ක්‍රීඩා කළා හෝ නොකළා කියා හෝ සිදු විය හැකි විශාල වෙනසක් ද නොපෙනේ. ඊට හේතුව ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයන් කිසිවෙකු වත්මන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නොමැති වීමයි. ටෙස්ට් කණ්ඩායමේ දිමුත් කරුණාරත්න, සීමිත පන්දුවාර කණ්ඩායමේ වනිඳු හසරංග, විස්සයි විස්ස කණ්ඩායමේ පැතුම් නිස්සංක ලෝක මට්ටමේ ක්‍රීඩකයන් වන්නට උත්සාහ ගනිමින් සිටිනු පෙනේ. ඔවුන්ට සුබ පතමු. එහෙත් දේශීය ක්‍රිකට්වල ප්‍රශ්නය තවමත් එලෙසම ය. · ඩැනියෙල් විටෝරිගේ ජීවිත කතාව – ඇසිදිසි · සචින් ටෙන්ඩුල්කාර්ගේ ජීවිත කතාව – ඇසිදිසි

සියල්ලටම වඩා සිදු වන අසාධාරණයක් නම් දුර්වල දේශීය තරග පිටියකින් අපහසුවෙන් ජාත්‍යන්තරය තරණය කරන්නට පැමිණෙන නවකයින්ට “සමාජ ජාලා ගිනි ජාලාවට” හසුවන්නට සිදුවීමයි.

උදාහරණ කිහිපයක් අප දෑස් ඉදිරිපිටම ඇත. කුසල් මෙන්ඩිස් දැඩි ලෙස ඒ සමාජ ජාලා හිංසනයට ලක්වූවෙකි. වයස අවුරුදු 22-23 දී ලෝක පූජිත පිතිකරුවෙකු වනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයන්ගේ පැසසුමට ලක්වූ ඔහුට නැවත මුල සිට පටන් ගන්නට සිදු වූයේ ඒ පීඩනය දරා ගැනීමට තරම් අත්දැකීම් මදි කමිනි. කියාදෙන්නට කිසිවෙකු නැතිකමිනි.

ජනිත් ලියනගේ සහ කමිල් මිෂාර ඒ සයිබර් ප්‍රහාරයේ නව වින්දිතයන් දෙදෙනා ය. ඔවුන් බුද්ධිමත් නොවුවහොත් ඔවුන්ගේ ද ක්‍රීඩා ජීවිත කඩාවැටීමට ඒ ප්‍රහාරයන් හේතු විය හැකිය. එමෙන්ම මෑත කාලීනව ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳ දැඩි විවේචන එල්ල වේ. ඔවුන්ව සකසා ගත හැකි ජ්‍යෙෂ්ඨයෙකු මේ මොහොතේ කණ්ඩායමේ නැත. ඒ අවාසිය ඒ ක්‍රීඩකයන්ටම ය.

කෙසේ වෙතත් මේ වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ය. තරගයක දී ඇති වන පීඩනයට වඩා පීඩනයක් ඉන් පිටත දී එල්ල වන අතර ඊට මුහුණ දී ඇඟ බේරාගෙන සිටීමට ඔබට දැඩි මානසික සංයමයක් සහ විනයක් අවශ්‍ය ය. ඒ විනය සකස් කරගැනීමට ද ඔවුන්ට උදව් උපකාර කළ හැකි ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායම තුළ ඇතැයි නොපෙනේ. පැතුම් නිස්සංක ගැන මෙහිලා වර්ණනාත්මකව කතා කළ යුතුය. ඔහු අසාර්ථක වූ තරග කිහිපයක දී ඔහුට ද සුපුරුදු ප්‍රහාර එල්ල වූ නමුත් ඔහු බුද්ධිමත් ව ජාත්‍යන්තර ක්‍රිකට් දෙස වෙනස් ඇසකින් බලන්නට පටන් ගත්තේය. පසුගිය විස්සයි-විස්ස තරග සංචාර දෙකෙහිදීම ඔහුගෙන් අප දුටු සාර්ථකත්වය එයයි. “ජෝ රූට්ට බෝල් කරන්න තමයි ගොඩක් අමාරු වුනේ” – දිල්රුවන් පෙරේරා

ජෝ රූට්ට බෝල් කරන්න තමයි ගොඩක් අමාරු වුනේ” – දිල්රුවන් පෙරේරා

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉක්මන් වෙනස්කම් බලාපොරොත්තුවෙන් සිටියි. ක්‍රිකට් පද්ධතියේ දුර්වලතා නිසා අසාධාරණයට ලක්වන නවක ක්‍රීඩකයන් රැකගත යුතු ය. දේශීය තලයේ

තිබෙන අනෙකුත් සියලු ප්‍රශ්න පසෙකලා ක්‍රීඩකයන්ගේ දස්කම් හෝ රැකගැනීමට හැකි නම් එය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගැන විශ්වාසය යළි ඇති කරනු ඇත. පසුගිය දිනෙක ජාත්‍යන්තර ක්‍රිකට් වලට සමුදුන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නෙකු වූ දිල්රුවන් පෙරේරා පැවසූ අදහසක් මෙහි උපුටා දක්වමින් ලිපිය අවසන් කරමි. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පස්වැනි වැඩිම කඩුලු ලාභියා ඔහු ය.

“ගේම් එකේ අත්‍යාවශ්‍යම තැන දී ගන්න ඕන තීරණ ගන්නෙ නැති එක තමයි මම අඩුපාඩුවක් හැටියට දකින්නේ. ක්ලබ් ලෙවල් එකේ දී අපට ලැබුණු එක්ස්පීරියන්ස් එක ඒගොල්ලන්ට ලැබුනෙ නැති හින්දා ඒගොල්ලන්ට හැමදේම ඉගෙන ගන්න වෙන්නෙ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ දී. එතෙන්ට ඇවිල්ලා ඒ ඔක්කොම කරන්න අමාරුයි. අපි ක්‍රීඩා කරද්දී අපට ක්ලබ් ලෙවල් එකේ දී ම ඒක ලැබුණා. මම හිතනවා ඒගොල්ලො මේ දේවල් ඉගෙන ගත්තහම ඉස්සරහ දී ක්‍රිකට් මීට වඩා හොඳ වෙයි කියලා.”

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<