19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සියල්ල සූදානම්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2021/22

447

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන 2021/22 වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය ඊයේ (25) දිනයේ දී අවසන් වුනා. ඒ අනුව Tier A සහ Tier B කොටස් දෙක යටතේ පාසල් කණ්ඩායම් 16ක් එහි දෙවැනි වටය නොහොත් පිළිමළුන් පිටුදැකීමේ වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව එහි Tier A කොටසින් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය (X1), කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය (X2), නාලන්දා විද්‍යාලය (Y1), රිච්මන්ඩ් විද්‍යාලය (Y2), මහානාම විද්‍යාලය (Z1), ද මැසනොඩ් විද්‍යාලය (Z2), සාන්ත බෙනඩික් විද්‍යාලය (BT 1) සහ වෙස්ලි විද්‍යාලය (BT 2) අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුකම් ලබා ගත්තා.

කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු හට තරගාවලිය ආරම්භයේ දී කොවිඩ් 19 වයිරසය වැළදීම හේතුවෙන් මාර්තු 25 වැනි දිනට පෙර ඔවුන්ගේ මූලික වටයේ තරග නිමා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසාවෙන් ඔවුන්ට ක්‍රීඩා කිරීමට නොහැකි වූ තරග දෙක (වෙස්ලි සහ රිච්මන්ඩ්) ක්‍රීඩා කළා සේ සලකනු ලැබුවා.

ඒ අනුව මූලික වටය අවසානයේ හොඳම තුන්වැනි ස්ථානය දිනා ගත් දෙවැනි කණ්ඩායම කවුරුන්ද යන වග තීරණය කිරීම සඳහා රාජකීය විද්‍යාලය (ප්‍රසාද ලකුණු 10 – තරග 5), වෙස්ලි විද්‍යාලය (ප්‍රසාද ලකුණු 10 – තරග 4) සහ ත්‍රිත්ව විද්‍යාලය (ප්‍රසාද ලකුණු 12 – තරග 5) මූලික වටය අවසානයේ දී ලබා ගත් ලකුණුවල සාමාන්‍යය ගණනය කරනු ලැබුවා. එහි දී වෙස්ලි විද්‍යාලය (දල ප්‍රසාද ලකුණු සාමාන්‍යය 2.5) Tier A කොටසේ හොඳම තෙවැනි ස්ථානය දිනා ගත් දෙවැනි කණ්ඩායම ලෙස අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුකම් ලබා ගත්තා.

Tier B කොටසේ ප්‍රසාද ලකුණු සටහන්වලට අනුව බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය (X1), මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (X2), ඉසිපතන විද්‍යාලය (Y1), මොරටු මහා විද්‍යාලය (Y2), තර්ස්ටන් විද්‍යාලය (Z1), මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය (Z2), ලුම්බිණි විද්‍යාලය (BT1) සහ ගාල්ල මහින්ද විද්‍යාලය (BT2) යන කණ්ඩායම් දෙවන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

මොරටු මහා විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර පැවති තරගයේ තණතීරුව ක්‍රීඩා කිරීමට උචිත මට්ටමක නොතිබූ නිසාවෙන් එම තරගය ප්‍රතිඵලයක් නොමැතිව අවසන් වූ තරගයක් සේ සලකා කණ්ඩායම් දෙකටම ලකුණු 2 බැගින් සම සේ බෙදා දී තිබෙනවා.

ආනන්ද විද්‍යාලය (-0.238) සහ පසුගිය වසරේ Tier B කාණ්ඩයේ ශූරතාවය දිනා ගත් මහින්ද විද්‍යාලය (0.002) යන කණ්ඩායම් දෙකම මූලික වටය අවසානයේ සම ප්‍රසාද ලකුණු දිනාගෙන සිටි නමුත් දල ලකුණු ලබා ගැනීමේ වේගය (NRR) මත මහින්ද විද්‍යාලය Tier B කොටසේ හොඳම තෙවැනි ස්ථානය සඳහා වුනු දෙවැනි ස්ථානය දිනා ගත්තා.

2021/22 Tier A – අර්ධ අවසන් පූර්ව වටයේ තරග

QF 1 – සාන්ත ජෝසප් විද්‍යාලය (X1) සහ වෙස්ලි විද්‍යාලය (BT2) 

QF 2 – නාලන්දා විද්‍යාලය (Y1) සහ කඳාන ද මැසනොඩ් විද්‍යාලය (Z2)

QF 3 – කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය (X2) සහ රිච්මන්ඩ් විද්‍යාලය (Y2)

QF 4 – මහානාම විද්‍යාලය (Z1) සහ සාන්ත බෙනඩික් විද්‍යාලය (BT1)

2021/22 Tier B – අර්ධ අවසන් පූර්ව වටයේ තරග

QF 1 – සාන්ත පීතර විද්‍යාලය (X1) සහ මහින්ද විද්‍යාලය (BT2)

QF 2 – ඉසිපතන විද්‍යාලය (Y1) සහ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය (Z2)

QF 3-  මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (X2) සහ මොරටු මහා විද්‍යාලය (Y2)

QF 4 – තර්ස්ටන් විද්‍යාලය (Z1) සහ ලුම්බිණි විද්‍යාලය (BT1)

පසුගිය වසරේ පැවති එක්දින තරගාවලියේ දී Tier A කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත් කොළඹ රාජකීය විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හට මෙවර ඒ සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වෙනුවට වෙස්ලි විද්‍යාලය, ද මැසනොඩ් විද්‍යාලය සහ සාන්ත බෙනඩික් විද්‍යාලය මෙවර දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

Tier B පසුගිය තරග වාරයේ අනුශූරතාවය දිනා ගත් දේවපතිරාජ විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය, වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හට මෙවර ඒ සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

ඒ වෙනුවට මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, මොරටු මහා විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය යන විද්‍යාල මෙවර තරග වාරයේ Tier B කොටසින් අර්ධ අවසන්  පූර්ව වටය සඳහා සුදුසුකම් සපුරා ගත්තා.

2021/22 පළමු පෙළ අර්ධ අවසන් පූර්ව වටයේ තරග සියල්ලම (තරග 8) 2022 අප්‍රේල් 03 වැනි දිනට පෙර පවත්වා අවසන් කළ යුතු අතර තරග පැවැත්වෙන දින සහ ක්‍රීඩාංගණ පිළිබඳව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් තවමත් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

මේ අතරින් තෝරාගත් තරග කිහිපයක් ThePapare.com සහ Batsman.com සම නිෂ්පාදනයක් ලෙස ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<