පාකිස්තාන් ක්‍රිකට් වලින් ඇහෙන අමුතු කතා

3821

පාකිස්තානය කියන්නේ පහසුවෙන් දිනන්න පුළුවන් තරග අමාරුවෙන් පරදින වගේම, දිනන්න අමාරුයි කියලා හිතෙන තරග හරි ලේසියෙන් දිනන කණ්ඩායමක්. සරලවම කියනවා නම් පාකිස්තානය කියන්නේ කවදාවත් ඔබ හිතන විදිහට දෙයක් කරන කණ්ඩායමක් නෙවෙයි!

“පාකිස්තානෙ ක්‍රිකට් එක මිනිත්තුවක දී වැටෙනවා, ඊළඟ මිනිත්තුවේ දී නැගිටිනවා.

2017 ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී Virat Kohli විසින් ලබා දුන් පහසු උඩ පන්දුවක් Azhar Ali අතින් ගිලිහෙන දිහා බලාගෙන හිටපු Nasser Hussain එහෙම කියනවා.

උඩ පන්දු අත හැරීම් ගැනත් පාකිස්තානයට තියෙනවා අමතක කරන්න බැරි ඉතිහාසයක්. ඒත් මේ කතාව වෙන පැත්තකට ගෙනියන්න හිතුවා.

පාකිස්තාන ක්‍රිකට් වල තියෙනවා මාර ලස්සන කතන්දර, සමහර වෙලාවට ඒවා ඇත්ත ද, බොරු ද කියලා දෙතුන් වතාවක් හොයලා බලන්න හිතෙන විදිහේ ඒවා.

මේ තියෙන්නෙත් ඒ වගේ තැනින් තැනින් අහුල ගත්තු පාකිස්තාන ක්‍රිකට් වල වෙච්ච අමුතු විදිහේ කතන්දර ටිකක්!

තමන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයේ යැවූ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගත් Inzamam-ul-Haq

Inzamam-ul-Haq කියන්නේ පාකිස්තානය විසින් බිහි කරපු සුපිරි පිතිකරුවෙක්, ජාත්‍යන්තර තරග දිවියේ ලකුණු 20,000 ඉක්මවලා රැස් කරපු, ශතක 35කට සහ අර්ධ ශතක 129කට හිමිකම් කියන Inzamam වමත් දඟපන්දු යවන්නෙක් විදිහට පන්දු යවලත් තියෙනවා.

පළමු පෙළ තරග කාලය තුල සමස්ත කඩුලු 68ක් බිඳ හෙළන්න සමත් වුනු Inzi ඒ අතරට ජාත්‍යන්තර එක්දින තරගවල දවා ගත්ත කඩුලු තුනකුත් එකතු කරගන්න සමත් වුනා.

විශේෂම දේ තමයි එයින් එක කඩුල්ලක් ඔහු දවා ගන්නේ තමන්ගේ මංගල එක්දින තරගයේ ඔහු විසින් යැවූ පළමු පන්දුවෙන් ම වීමයි.

එදා ඒ විදිහට Inzi හමුවේ දැවී ගියේ වෙන කවුරුත් නෙවෙයි, මෙතෙක් ලොව බිහිවුණු විශිෂ්ටතම පිතිකරුවෙක් වන Brian Lara.

Sachinගේ පිත්තෙන් මංගල ශතකය ලබා ගත්තු Shahid Afridi

Shahid Afridiගේ මංගල එක්දින ශතක ගැන ශ්‍රී ලාංකිකයින්ට නම් තියෙන්නේ තරමක් අමිහිරි මතකයක්. මොකද 1996 නයිරෝබි වල දී Afridi ඔහුගේ මංගල ශතකය රැස් කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව. එදා ඔහුට ශතකය රැස් කරන්න වැය වුනේ පන්දු 37ක් පමණයි.

ඒ විතරකුත් නෙවෙයි ඔහු ශ්‍රී ලංකාවටම ගහලා උදුර ගත්තේ ඊට පෙර සනත් ජයසූරිය විසින් පන්දු 48කින් ලබා ගත්තු වේගවත්ම ශතකයේ වාර්තාව.

නවසීලන්ත ජාතික Corey Anderson 2014 දී ඒ වාර්තාව බිඳ හෙළන තෙක්ම එය වසර 18ක් තිස්සේ නොබිඳී පැවතුණා. Andersonගේ වාර්තාව නම් ඊට වසරක් ගත වෙද්දී AB de Villiers විසින් නැවත බිඳ හෙළන්න සමත් වුනා.

වැදගත්ම දේ තමයි එදා Afridi ශ්‍රී ලංකාවට රිදෙන්න ගැහුවේ Sachin Tendulkarගේ පිත්තකින් කියන එක. Waqar Younis කියන විදිහට ඒ බැට් එක හදලා තියෙන්නේ Sachin විසින් ඔහුට තෑග්ගක් විදිහට ලබා දුන්නු විලෝ ලීයකින් ලූ.

එදා Afridi ඔහුට වයස අවුරුදු 16කුත් දින 217ක් වෙද්දී ලබා ගත්තු ශතකය නිසා, ඔහු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ළාබාලතම ශතක ලාභියා විදිහට තියපු වාර්ත‍ෙව නම් තවමත් ජීවමානයි.

(ඒ අවු අස්සේ අෆ්‍රිඩිගේ ඇත්තම වයස ගැනත් පොඩි පොඩි ගැටලු නැතුවාම නෙවෙයි!)

Sachinගේ හොඳම ටෙස්ට් ඉනිම ඉක්මවා ගිය Wasim Akram 

කවුරුත් දන්න විදිහට Wasim Akram කියන්නේ පාකිස්තාන ක්‍රිකට් වලින් ලෝකය හඳුන ගත්තු විශිෂ්ටතම වේගපන්දු යවන්නෙක්. ඔහුගේ නම ඉදිරියෙන් තමයි අදටත් පාකිස්තානය වෙනුවෙන් වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු දවා ගැනීමේ වාර්තා ලියවිලා තියෙන්නෙත්. නමුත් ඔහු දක්ෂ පන්දු යවන්නෙක්ට අමතරව, අඩු සැලකිල්ලකට භාජනය වුනු සාර්ථක පසු පෙළ පිතිකරුවෙකුත් වෙනවා.

1992 දී පාකිස්තානය ලෝක ශූරයින් වෙද්දී, ඒ අවසන් මහා තරගයේ දී Akramගේ පන්දු යැවීමේ දක්ෂතා වගේම පිතකරණ දක්ශතාවයත් පාකිස්තානුවන්ගේ සදා අනුස්මරණීය මතක වලින් එකක් බව නොවනුමානයි.

ඒ අතරේම Sachin Tendulkar කියන නමට අටුවා ටීකා ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ. කවුරුත් දන්නවා වගේ ඔහුත් ලෝකයේ බිහිවුණු හොඳම පිතිකරුවන්ගෙන් කෙනෙක්.

Sachinගේ ඉහළම ටෙස්ට් ලකුණු විදිහට වාර්තා වෙන්නේ 2004 දී බංගලාදේශයට එරෙහිව වාර්තා කරපු ලකුණු 248ක්.

විශ්වාස කරනවා ද Wasim Akramගේ හොඳම ටෙස්ට් ලකුණු ඊට වඩා වැඩියි කියලා.

1996 දී Wasim විසින් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 257ක් රැස් කරන්න සමත් වෙන්වා. ඒ ඉනිමට Akram විසින් හතරේ පහර 22ක් සහ හයේ පහර 12ක් එකතු කරගන්න සමත් වෙනවා.

එහෙමයි Akram විසින් Sachin ව අභිබවා යන්න සමත් වුනේ.

සමස්තයක් විදිහට Akram නම ඉදිරියෙන් ජාත්‍යන්තර තරගවල ශතක 3ක් සහ අර්ධ ශතක 13ක් ලියවිලා තියෙනවා.

ටෙස්ට් තරග ඉතිහාසයේ දීර්ඝතම ඉනිමත්, මන්දගාමී ම ශතකයත් යන දෙකම අයිති වෙන්නේ පාකිස්තාන ක්‍රිකට් වලට

ටෙස්ට් තරග ඉතිහාසයේ දීර්ඝතම ඉනිමේ අයිතිය තියෙන්නේ Hanif Mohammad නමට.

1958 දී බටහිර ඉන්දීය කොදෙව්වන් සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වුණු සය දින ටෙස්ට් තරගයක දී Hanif  විසින් පැය 16කට අධික කාලයක් පිටියේ රැඳී සිටීමට සමත් වුනා.

එහි දී Hanif Mohammadගේ දක්ෂතාවය සඳහන් වුනේ මේ විදිහටයි.

ලකුණු 337 (මිනිත්තු 970, හතරේ පහර 24)

ඒ වගේම ටෙස්ට් තරග ඉතිහාසයේ සෙමෙන් ම රැස් කළ ශතකයේ වාර්තාව තියෙන්නේ හිටපු පාකිස්තාන පිතිකරුවෙක් වන Mudassar Nazarගේ නම ඉදිරියෙනුයි.

1997 දී එංගලන්තයට එරෙහිව, එංගලන්තයේ දී ම මෙම ශතකය ලබා ගන්න Nazar විසින් පන්දු 419ක් වැය කරනවා, ඒ වගේම මිනිත්තුවලින් ගත්තොත් ඒ ඉනිමට මිනිත්තු 557ක කාලයක් ගත වෙනවා. පන්දුවලින් ගත්තත්, මිනිත්තුවලින් ගත්තත් Nazar ගේ මේ ශතකය තමයි ලොව මන්දගාමී ම ශතකය වෙන්නේ.

වැඩිම පන්දු ප්‍රමාණයක් වැය කරමින් ලබා ගත්ත ශතක ලැයිස්තුවේ දෙවැනියට ඉන්නේ අපේ තිලාන් සමරවීර. ඔහුත් එංගලන්තයට එරෙහිව පන්දු 409ක් වැය කරමින් ශතකයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.

Nazarගේ සම්පූර්ණ ඉනිමේ සාරාංශය සඳහන් වුනේ මේ විදිහටයි.

ලකුණු 114 (මිනිත්තු  591, පන්දු 449)

ටෙස්ට් සහ එක්දින කඩුලු ත්‍රිත්වයන් දෙක බැගින් අයිති Wasim Akram

Wasim Akramගේ පිතිකරණ හැකියාව ගැන අපි කලින් කතා කරානේ. දැන් තියෙන්නේ ඔහුගේ පන්දු යැවීමේ ප්‍රබලත්වය පෙන්නුම් කරන්න තියෙන හොඳම උදාහරණවලින් එකක්.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ දී වගේම එක්දින තරගවල දීත් කඩුලු ත්‍රිත්ව දෙක බැගින් ලබාගෙන තියෙන Akram ජාත්‍යන්තර තරගවල වැඩිම කඩුලු ත්‍රිත්ව ලාභීන් අතර දෙවැනි වෙන්නේ අපේ ලසිත් මාලිංගට විතරයි. හැබැයි මාලිංගට ටෙස්ට් තරගවල කඩුලු ත්‍රිත්වයක් ලබා ගන්න හැකියාව ලැබුණේ නැහැ.

ලසිත් මාලිංග – කඩුලු ත්‍රිත්ව අවස්ථා 5 (එක්දින 3 + විස්සයි විස්ස 2)

Wasim Akram – කඩුලු ත්‍රිත්ව අවස්ථා 4 (එක්දින 2 + ටෙස්ට් 2)

ඒ වගේම Akram වරෙක පන්දු පහක් තුල කඩුලු 4කුත්, දෙවතාවක දී පන්දු 4ක් තුල කඩුලු 3කුත් බිඳ හෙළන්න සමත් වෙලා තියෙනවා.

Akram ක්‍රීඩා කරපු කාලේ දී ප්‍රතිවාදී පිතිකරුවන්ට ඔහු බිහිසුණු සිහිනයක් බඳු වූ බවට තවත් උදාහරණ මොකට ද?

ලෝකෙන් අංක එක වුනාට, කවදාවත් තරගයේ වීරයා සම්මානයක් නොලැබුනු Saeed Ajmal

එක්දින ජාත්‍යන්තර තරග 113ක් ක්‍රීඩා කරලා, කඩුලු 184ක් බිඳ හෙළන්න සමත් වුනු හිටපු පාකිස්තාන දඟපන්දු යවන්නෙකු වන Saeed Ajmal විසින් එක්දින ජාත්‍යන්තර පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් වල අංක එකට පැමිණෙන්න සමත් වුනා.

ඔහුගේ පන්දු යැවීමේ දක්ෂතා අතරේ කඩුලු හතර බැගින් සිව්වතාවක් වගේම කඩුලු පහ බැගින් දෙවතාවක්ම දවා ගත්ත බව සටහන් වෙලා තිබුනත්, ඔහුට ඒ එකදු අවස්ථාවක දීවත් තරගයේ වීරයා වෙන්න බැරි වෙලා තියෙනවා.

මීට අමතරව පාකිස්තාන ක්‍රිකට් එක්ක ඈඳුණු තවත් විශේෂ සිදුවීම්, රසබර කතන්දර වගේම දුක්බර කතන්දරත් බොහෝමයක් තියෙනවා.

ඒ හැම තැනක දී ම දැනෙන දෙයක් තමයි පාකිස්තාන ක්‍රිකට් කියන්නේ තරමක් විශේෂ, එහෙම නැත්තම් අනික් රටවල ක්‍රිකට් එක්ක සංසන්දනය කරද්දී වෙනමම ලෙවල් එකක යන කණ්ඩායමක් බව.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී (2022) වුනත්, පාකිස්තානය විසින් තරගාවලිය ආරම්භයේ දී පෙන්නපු ක්‍රීඩා විලාශය නෙවෙයි නේ අවසානය වෙද්දී පෙන්වමින් ඉන්නේ.

සරලවම කියනවා නම් ඒ තමයි පාකිස්තාන ක්‍රිකට්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<