“මට මුරලිව මුණ ගැහිලා නැහැ, ඒත් Lyonව මුණ ගැහිලා තියෙනවා” – Rohit Sharma

Border - Gavaskar Trophy 2023

4401

ඊයේ (03) නිමාව දුටු ඉන්දු – ඕස්ට්‍රේලියා තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ වීරයාට හිමි සම්මානය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක Nathan Lyon විසින් සමත් වූ අතර, තරගයෙන් අනතුරුව ඉන්දීය නායක Rohit Sharma ගේ විශේෂ ඇගයීමට ද ඔහු පාත්‍ර වුනා.

තෙවැනි ටෙස්ට් තරගයේ දී කඩුලු 11ක් බිඳ හෙළීමට Lyon සමත් වූ අතර, ඔහුගේ මෙම විශිෂ්ට දස්කම නිසා තරගය පහසුවෙන් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියාව ලැබුණා. එමෙන්ම එම ජයග්‍රහණයත් සමඟින් මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ද ඕස්ට්‍රේලියාව විසින් උදා කර ගත්තා.

තරගයේ පළමු දිනයේ දී ම ඉන්දීය කණ්ඩායමේ ආරම්භ ඉනිම ලකුණු 109කට සීමා කිරීම වෙනුවෙන් කඩුලු තුනකින් සිය දායකත්වය සැපයූ Lyon, ඉන්දීය දෙවැනි ඉනිම සම්පූර්ණයෙන්ම සුනුවිසුනු කර දැමුවේ ඉන්දීය කඩුලු 8ක් බිඳ හෙළීමට සමත් වෙමිනුයි. ඒ අනුව සමස්ත තරගයේ කඩුලු 11ක් බිඳ හෙළු Lyon විසින් Border – Gavaskar තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට ද මෙහි දී සමත් වුනේ (කඩුලු 113) ඉන්දීය හිටපු සුපිරි පා දඟපන්දු යවන්නා වන Anil Kumbleව (කඩුලු 111) පසු කර යමිනුයි.

එමෙන්ම මේ වන විට Lyon විසින් ඉන්දියාවේ දී ටෙස්ට් කඩුලු 53ක් බිඳ හෙළීමට සමත් වී තිබෙන අතර, ඉන්දියාවේ දී වැඩිම කඩුලු ප්‍රමාණයක් බිඳ හෙළා ඇති ඕස්ට්‍රේලියානු පන්දු යවන්නා මෙන්ම, ඉන්දියාවේ දී දෙවැනියට වැඩිම කඩුලු ප්‍රමාණයක් බිඳ හෙළා ඇති විදෙස් පන්දු යවන්නා ද ලෙස (පළමු ස්ථානය කඩුලු 54ක් බිඳ හෙළා ඇති Derek Underwood හට හිමි වී තිබෙනවා.) වාර්තා අතරට එක් වීමට ඔහු ඊයේ සමත් වුනා.

තෙවැනි ටෙස්ට් තරගයේ ඉන්දීය දෙවැනි ඉනිමේ දී ඉන්දීය නායක Rohit Sharmaගේ කඩුල්ල ද ඩැහැ ගැනීමට Lyon විසින් සමත් වූ අතර, තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී Sharma විසින් Lyonව විශාල අගය කිරීමකට භාජනය කළා.

“මගේ අදහස අනුව ඔහු ඉහළින්ම සිටිය යුතුයි. ඇත්තටම මම මුරලි හෝ Warne වැනි පන්දු යවන්නන්ට මුහුණ දීලා නැහැ. නමුත් වත්මන් පන්දු යවන්නන් අතරෙන් ඔහු තමයි ඉන්දියාවේ ක්‍රීඩා කළ අංක එකේ විදෙස් පන්දු යවන්නා.

ඔහු නිතරම නිවැරදි එල්ලයට (Line & Length) පන්දු යවනවා. ඒ වගේ නිරවද්‍යතාවකින් යුතුව පන්දු යවන ක්‍රීඩකයෙක් සිටින විට ඔබට සිදු වෙනවා ලකුණු ලබා ගැනීම වෙනුවෙන් වෙනස් දේවල්වලට පෙලඹෙන්න. මොකද ඔබ දන්නවා ඔහු ලෙහෙසියෙන් ලකුණු ලබා ගන්න ඉඩ නොදෙන බව. මම හිතන්නේ මේ ඔහුගේ තෙවැනි ඉන්දීය සංචාරය. මම ඔහුගේ පළමු ඉන්දීය සංචාරයේ දී ක්‍රීඩා කළේ නැහැ. නමුත් මම ඒ තරග බැලුවා. ඔහු බොහෝ අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක්, ඒ වගේම පහර වදිනවාට බයත් නැහැ. ඒක කණ්ඩායම් නායකයාට ලොකු විශ්වාසයක් ඇති කරවනවා.”

Rohit විසින් ඒ අයුරින් Lyon ගේ දස්කම් ඇගයීමට ලක් කළා.

Border – Gavaskar ක්‍රිකට් තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<