සාපය බිඳ දමා ලෝක පාපන්දු කුසලානය රැක ගැනීමට සැරසෙන ප්‍රංශය

2022 කටාර් පාපන්දු ලෝක කුසලානය

334

වසර 92ක ඉතිහාසයේ ජගත් පාපන්දු සම්මේලනයේ සෑම ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට ම සුදුසුකම් ලැබූ ලොව එක ම රට වන බ්‍රසීලය 1958 සහ 1962 වසරවල දී පිට පිට ශූරතාව දිනා ගත් අයුරින් ම 2022 කටාර් ලෝක කුසලාන තරගාවලියේ දීත් තම කිරුළ රැක ගනිමින් බ්‍රසීලයට පසුව එවැනි හපන්කමක් පෑ පළමු කණ්ඩායම බවට පත්වීමට ප්‍රංශය අපේක්ෂා කරනවා.

ජගත් පාපන්දු වේදිකාවේ නැවත වතාවක් පෙනී සිටිමින් ප්‍රංශය පිට පිට ලෝක කුසලාන ජයග්‍රහණ කරා ගෙන යාමට Kylian Mbappe, Paul Pogba, Hugo Lloris හා Aurelien Tchouameni වැනි පාපන්දු තරු සූදානමින් සිටිනවා.

කෙසේ වෙතත්, පසුගිය ලෝක කුසලාන ජයග්‍රාහකයින් පස් දෙනාගෙන් සිව්දෙනෙකු ම ඔවුන්ගේ ඊළඟ ලෝක කුසලාන මෙහෙයුමේ දී අසාර්ථක වී තිබෙනවා පමණක් නොව තරගාවලියේ මූලික වටයෙන් පසුව ඉදිරියට යාමට පවා ඔවුන් අසමත් වුනා.

මේ කණ්ඩායම්වලට, ප්‍රථම වතාවට 1998 වසරේ දී ලෝක පාපන්දු කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුව 2002 වසරේ දී තරගාවලියේ ඉදිරියට යාමට අසමත් වූ ප්‍රංශ කණ්ඩායම ද ඇතුළත්. එබැවින් මෙවර තරගාවලියේ දී ‘ජයග්‍රාහකයන්ගේ සාපය‘ බිඳ දමා සාර්ථක ලෝක කුසලාන තරගාවලියක් භුක්ති විඳීමට ප්‍රංශය සැලසුම් සකස් කරමින් සිටිනවා.

මෙවර තරගාවලියේ දී ප්‍රංශය ‘D‘ කොටසේ දී ඔවුන්ගේ පැරණි මිතුරන් මුණගැසෙනවා. ප්‍රංශය 2018 වසරේ දී ඕස්ට්‍රේලියාව හා ඩෙන්මාර්කය පරාජය කරමින් ඔවුන් අයත්ව සිටි කොටස ජය ගත්තේ සම්පූර්ණ තරගාවලිය ම රුසියාවේ දී ජයග්‍රහණය කිරීමට පෙර. මේ වසරේ දී ටියුනීසියාව ද ප්‍රංශය අයත් කොටස ට එක්ව සිටිය ද, ඉතිහාසය නැවත ලියවෙමින් තමන්ව කීර්තිය කරා රැගෙන යනු ඇතැයි ප්‍රංශය බලාපොරොත්තු වෙනවා.

එක්සත් රාජ්‍ය සංගම් අතර ජුනි මාසයේ කටාර් හි පැවති තරගාවලියේ දී පේරු කණ්ඩායම අභිබවා ලැබූ දඬුවම් ප්‍රහාර ජයග්‍රහණයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාව මෙවර තරගාවලියට සුදුසුකම් ලැබුවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වීරයා වුනේ අතිරේක ගෝල රකින්නා වන Andrew Redmayne. ඔහු පේරු කණ්ඩායමේ අවසන් දඬුවම් ප්‍රහාරය වළකමින් තම රට නැවත වරක් ලෝක කුසලාන තරගාවලියට ගෙන යාමට සමත් වුනා. Redmayne දැන් තම කණ්ඩායමේ තරග ආරම්භක ක්‍රීඩකයන් අතර සිටිමින් ගෝල රැකීමේ කාර්යය සඳහා සිය හැකියාවන් ඔප්පු කර ඇතත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නිත්‍ය ගෝල රකින්නා වන Matt Ryan තවදුරටත් ඔහුගේ අංක 1 ස්ථානයේ රැඳී සිටීමේ අපේක්ෂාවෙන් පසුවනවා.

ප්‍රමාද වී පැවති UEFA Euro 2020 ඩෙන්මාර්කයට විශ්වාස කළ නොහැකි තරගාවලියක්. ඒ මෙහෙයුමට බියකරු ආරම්භයක් තිබුණේ Christian Eriksen ක්‍රීඩකයාට තරග බිමේ දී හෘදයාබාධයක් හටගැනීම හේතුවෙන්.

මෙයින් මහත් තිගැස්මකට ලක්වූ ඩෙන්මාර්කය ඉදිරියට ගියේ ඔවුන්ගේ එක් වඩාත් ම අපූර්ව තරගාවලියක් වාර්තා කරමින්. ඩෙන්මාර්කයේ අභියෝගය අවසන් වූයේ ඔවුන් අවසන් පූර්ව වටයේ දී එංගලන්තයට පරාජය වීමෙන්. එහෙත් එම තරගාවලියේ දී ලැබූ සාර්ථකත්වයෙන් මේ වසරේ ලෝක කුසලාන තරගාවලිය සඳහා පන්නරයක් ලබා ගැනීමට ඩෙන්මාර්කයට හැකි වී තිබෙනවා.

‘D‘ කොටසේ සිටින මෙවැනි ශක්තිමත් කණ්ඩායම් දෙස බලන විට මේ තරගාවලියේ සාර්ථකත්වයක් අත්කර ගැනීමට නම් ටියුනීසියාවට ප්‍රාතිහාර්යයක් අවශ්‍ය වනු ඇතැයි සමහරු පවසනවා. ඔවුන්ගේ පසුගිය ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මූලික වටයෙන් – group stage – නිමා වූ අතර ටියුනීසියාව ඔවුන්ගේ ඉතිහාසයේ කිසිවිටෙක මෙතැනින් ඔබ්බට ගොස් නැහැ. තත්ත්වය එසේ වූවත්, Wahbi Khazri සහ Ferjani Sassi  වැනි පළපුරුදු ක්‍රීඩකයින් වෙනසක් සිදු කරමින් මෙවර තම කණ්ඩායම පෙර අවස්ථාවලට වඩා ඉදිරියට තල්ලු කිරීමට උත්සාහ කරනු ඇති.

තරගාවලියේ මූලික වටයෙන් ඉදිරියට යාමට ප්‍රංශය සමත් වුවහොත් ප්‍රංශය 4-3කින් ආජන්ටිනාව පැරද වූ 2018 ලෝක කුසලාන පාපන්දු තරගයේ නැවත තියුණු ක්‍රීඩාවක තරගයක් දැක ගැනීමට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව ලැබෙනු ඇත්තේ තරගාවලියේ 16 දෙනාගේ වටයේ දී ප්‍රංශයට ‘C‘ කොටසේ කණ්ඩායමක් මුණගැසෙනු ඇති බැවින්.

‘C‘ කොටසේ සිටින අනෙකුත් කණ්ඩායම් වනුයේ සෞදි අරාබිය, මෙක්සිකෝව සහ පෝලන්තය වන අතර මේ කණ්ඩායම්වලින් ප්‍රංශයට එල්ල වනු ඇත්තේ ජය ගැනීමට හැකි අභියෝගයක්.

Gareth Southgateගේ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වුවහොත් එම වටයේ ප්‍රංශයේ ප්‍රතිවාදීන්ගෙන් කෙනෙක් බවට එංගලන්තය පත්වීමට ඉඩ තිබෙනවා. ඉක්බිති, ලුසේල් ක්‍රීඩාංගණයට ගොස් අවසාන තරගයට ක්‍රීඩා කරමින් ප්‍රංශය සිය කිරුළ රැක ගැනීමට අවස්ථාවක් ලබා ගැනීමට පෙර ඔවුන්ට අවසන් පූර්ව වටයේ දී බ්‍රසීලය හෝ පෘතුගාලය මුණගැසීමට අවස්ථාව තිබෙනවා.

ප්‍රංශ පාපන්දු කණ්ඩායම ක්‍රීඩාවේ ලොකුම නම් කිහිපයකින් සමන්විතයි. වර්තමානයේ Kylian Mbappe තරම් වැඩි දෙනාගේ කතාබහට ලක්වන වෙනත් ක්‍රීඩකයෙකු නැහැ. රුසියාවේ දී එක්වරම ලෝකයාගේ අවධානයට පිවිසි මේ සුපිරි ක්‍රීඩකයා ගෝල ලබා ගත්තේ මීට සිව් වසරකට ඉහතදී ප්‍රංශයට ලෝක පාපන්දු කුසලානය දිනා ගැනීමට උපකාරී වෙමින්.

සිය ක්‍රීඩා දිවිය ආරම්භයේ සිට ම Mbappe තමාට අසාමාන්‍ය හැකියාවන් තිබෙන බවට ප්‍රදර්ශනය කර තිබෙනවා. මීට වසර කිහිපයකට පෙර 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙන කාලයේ දී මේ ක්‍රීඩකයාට පේලේ පවා ප්‍රශංසා කර තිබෙනවා.

Paul Pogba, Karim Benzema සහ N’golo Kante වැනි අනෙකුත් ජනප්‍රිය ක්‍රීඩකයන් සමග ප්‍රංශයට නැවත තරගාවලිය ජය ගැනීමට උවමනාවටත් වඩා ප්‍රමාණවත් දක්ෂතාව තිබෙනවා.

Euro 2020 තරගාවලියේ දී ප්‍රංශ කණ්ඩායම වෙතින් දුටු ‘කිසි දෙයක් ගණනට නොගන්නා‘ ආකල්පය මේ වසරේ කටාරයේ දීත් දිස් නොවනු ඇතැයි ප්‍රංශ ක්‍රීඩාලෝලීන් ප්‍රාර්ථනා කරනවා.

යුරෝ තරගාවලියේ ’16 දෙනාගේ‘ වටයේ ස්විට්සර්ලන්තයට එරෙහි තරගයේ දී Mbappeට තීරණාත්මක දඬුවම් පහර වැරදුණා. එම තරගයේ තවත් මිනිත්තු 15ක් ඉතිරිව තිබිය දී ගෝල් 3-1කින් පෙරමුණේ සිටියේ ප්‍රංශය. එහෙත් ස්විට්සර්ලන්තය ඉක්මනින් ලබා ගත් ගෝල ද්විත්වය හේතුවෙන් ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා දඬුවම් ප්‍රහාරයකට යාමට සිදු වූ අතර එහි අවසානයේ ප්‍රංශය තරගාවලියෙන් ඉවතට විසිවුනා. තමන්ගේ ඒ විනාශකාරී වරදට පලි ගැනීමට Mbappe මේ වසරේ දී බලා සිටින්නේ නොඉවසිල්ලෙන් බවට සැකයක් නැහැ.

ඉතින්, ප්‍රංශය 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කෙසේ ක්‍රීඩා කරාවි ද? දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සමන්විත මේ කණ්ඩායම ට දෙවැනි වතාවටත් ලෝක කුසලානය හිමිකර ගැනීම සඳහා ආශීර්වාද කිරීම ට දෛවයට පුළුවන් ද? එය දැන ගැනීම පිණිස කටාර් දේශයේ ජාතික දිනය වන දෙසැම්බර් 18 වැනිදා තෙක් ඇත්තේ එතරම් වැඩි කාලයක් නෙවෙයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<