මත්ද්‍රව්‍ය නිසා සත්වසක් අහිමි වූ අති විශිෂ්ටයා – රොනී ඔ’සුලිවන්

372
The Mirror

1998 ස්නූකර් මාස්ටර්ස් ශූරයාගෙන් ශූරතාවය ගලවා දමන්නට සිදු වූයේ ඔහු ගංජා පානය කර තිබූ බවට තහවුරු වීමත් සමඟ ය. ඒ ශූරයා එසේ මෙසේ ශූරයෙකු නොව, ස්නූකර් ක්‍රීඩාවේ විශිෂ්ටතම ශූරයෙකු ලෙස හැඳින්වෙන Ronnie O’Sullivan (රොනී ඔ’සුලිවන්) ය.

ස්නූකර් ක්‍රීඩාව විවේකය ප්‍රිය කරන්නන්ට ඔබින ක්‍රීඩාවක් වුවත්, එය වෘත්තීය මට්ටමෙන් ක්‍රීඩා කෙරෙන අතිශය තරගකාරී සහ උපක්‍රමශීලී විය යුතු ක්‍රීඩාවකි. එංගලන්ත ජාතික රොනී ඔ’සුලිවන් මේ වන විට 7 වතාවක් ස්නූකර් ලෝක ශූරතාවය ද, 7 වතාවක් මාස්ටර්ස් ශූරතාවය ද, 7 වතාවක් මහා බ්‍රිතාන්‍ය ශූරතාවය ද දිනා ඇති අති විශිෂ්ටයෙකි. සංඛ්‍යා දත්තවලින් ඔහු සිටින්නේ ලොව ඉහළින්ම ය.

කාලයෙන් කාලයට මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය නිසා කරදරයට පත්වූ අවස්ථාවන් ගණනාවක් ඔහුගේ ක්‍රීඩා දිවියේ ඇත. ’98 මාස්ටර්ස් ශූරතාවයෙන් ඔහුව පහ කිරීම ඉන් එකක් පමණි. 2000 වසරේ දී ඔහු පුනරුත්ථාපනය සඳහා යොමු විය.

වයස අවුරුදු 17 දී 1993 මහා බ්‍රිතාන්‍ය ශ්‍රේණිගත කිරීමේ ශූරතාවය දිනා එවැන්නක් කළ ළාබාලතම ක්‍රීඩකයා වූ ඔ’සුලිවන් පවසන්නේ මත්ද්‍රව්‍ය නිසා ඔහුට ඔහුගේ ක්‍රීඩා දිවියේ වසර 7ක් පමණ අහිමිවන්නට ඇති බවයි.

Sky Sports
Caption – රොනී ඔ’සුලිවන් යොවුන් වියේ දී

දැවැන්ත හිඩැස් තියෙනවා”, BBC හා සම්මුඛ වෙමින් ඔහු පැවසීය.

මට ගංජා සහ මත්ද්‍රව්‍ය නිසා වසර 6-7ක් විතර අහිමි වුනා. ඉන්පස්සේ ස්නූකර් මේසයෙන් පිටත දී මම වැඩිය හොඳින් හැසිරුවේ නැති දේවල් හදාගන්න තවත් අවුරුදු 4ක් විතර ගියා,” ඒ ඔහු පවසන්නේ ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන විය යුතුය.

විශාදය නමැති මනෝ ව්‍යාධියෙන් ද ඔහු පෙළුණි. මේ වන විට විශාදය නම් මානසික රෝගය මෙරට තුළ රැල්ලක් සේ ජනප්‍රිය වන ප්‍රවණතාවක් ඇත. ඔ’සුලිවන් විශාදයෙන් ආඩම්බර වූයේ නැත. ඔහු සටන් කළේය.

මම ස්නූකර් ගැන අවධානය යොමු කළේ නෑ. ඒත් ඒ ගැටලු හැමෝටම තියෙන ඒවා හැටියටයි මම සලකන්නේ. ඒත් එතන මම ඒ තරම් දෙයක් කළේ නැති අවුරුදු 10ක් තියෙනවා. මම එච්චර පුහුණු වුනේ නෑ, මට ජයග්‍රහණය කරන්න අවශ්‍ය ඔලුවේ නිදහස තිබුණේ නෑ,” ඔ’සුලිවන් පැවසුවේය.

ඔහු ඔහුගේ කුළුඳුල් මාස්ටර්ස් ශූරතාවය ජයග්‍රහණය කළේ ඔහුට වයස අවුරුදු 19 දී ය. එය ද ලෝක වාර්තාවකි. මේ වන විට 47 හැවිරිදි ඔහු 2022 ස්නූකර් ලෝක ශූරතාවය දිනා ගත් නමුත් 2023 තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවතට විසි විය.

ලොව වටා ස්නූකර් ප්‍රේක්ෂකයන් අතර ඔහු ජනප්‍රිය වී ඇත්තේ නව්‍යතා සමඟින් ක්‍රීඩා කරන, අලංකාර ශෛලියක් ඇති ක්‍රීඩකයෙකු ලෙස ය. ඔහු විසින් ක්‍රීඩා කළ ඓතිහාසික ස්නූකර් රැලි කිහිපයක්ම තිබේ. තරගය ආරම්භයේ සිට ප්‍රතිවාදියාට කිසිදු අවස්ථාවක් නොදී 00හි තබා ජය ගත් තරග කිහිපයක්ම ඇත. ඔහුට දෑතින්ම එක ලෙස ස්නූකර් දණ්ඩ හැසිරවිය හැකිය. ඒ අතින් ඔහු පුරාවෘත්තයකි. නැරඹීමට ප්‍රිය පුරාවෘත්තයකි. ක්‍රිකට් ක්‍රීඩාවෙහි දී අරවින්ද ද සිල්වා ව නැරඹීම යම් සේ ද, ස්නූකර් ක්‍රීඩාවේ දී රොනී ඔ’සුලිවන් ක්‍රීඩා කරනු දැකීම නෙතට උළෙලකි.

ඔ’සුලිවන් නව යොවුන් විය පසුකරද්දී ඔහුගේ දෙමාපියන් සිරගත කරනු ලැබිණි. මිනීමැරුම් නඩුවක තීන්දුව අවසානයේ ඔ’සුලිවන්ගේ පියා ජීවිතාන්තය දක්වා සිරදඬුවමට යටත් විය. ඔහුගේ මව බදු ගෙවීම් පැහැර හැරීමක් හේතුවෙන් සිර දඬුවම් වින්දා ය. මේ සියල්ල මැද යොවුන් විශිෂ්ටයා තනි වූ අතර ඔහුට මිතුරුකමේ වෙසින් සතුරුකම් පෑ එකම ඥාතියා වූයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය ය.

යොවුන් වියෙ හිදී විඳින්නට සිදු වූ මානසික අවපීඩනය ගැන ඔහු හෙළි කළේය.

මට මගේ පෞර්ෂත්වයයි විශ්වාසයයි නැති වුනා. මත්ද්‍රව්‍ය ගත්තහම ඒකෙන් මට සමාජශීලී වෙන්න පුළුවන් වගේ දෙයක් හැඟුණා,” ඔ’සුලිවන් පැවසීය.

ඉන්පස්සේ ඔබ පිරිසිදු වුනහම (පුනරුත්ථාපනය වූ පසු), සමාජශීලී වෙන්න ඕන අවස්ථාවල දී ඔබ අපහසුතාවයට පත්වෙනවා. මේ වගේ අවස්ථාවල දී මොනවද කරන්න ඕන?’ කියලා. ඔබ ටිකක් කලබල වෙනවා. ඒක මට නිශ්චිත විදිවලින් බලපෑවා. මම කොහොමද පිරිසිදුව ඉන්නේ?’ කියලා,” ඔ’සුලිවන් පැවසුවේය. මෙවැනි කතාබහ වලට සංවේදීව සවන් දීම අත්‍යාවශ්‍ය ය. මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්, මත්පැන් වලට ඇබ්බැහිවූවන් සියල්ලන්ටම ඔවුන්ගේ කතාවක් ඇත.

ඒක විකාරයක්. ආයෙත් මුල ඉඳලා හැමදේම ඉගෙන ගන්න වෙනවා. ඒකට ටික කාලයක් ගත වුනා, ඒත් මට ඒක හුරු වුනාට පස්සේ මට අවබෝධ වුනා, ‘මම මගේ ජීවිතය වෙනස් විදියකට හැඩගස්වා ගන්න ඕනකියන දේ,” වැදගත්ම පණිවුඩය එයයි.

මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් කිසිවෙකු එය අත්හරින්නට අකමැත්තෙන් පසුවන්නන් නොව, යම් මනෝ හිඩැසක් සම්පූර්ණ කර ගනු වස් මතෙහි පිහිට පැතූවන් ය. එය අත්හරින්නට ඔවුන් බියවන්නේ මතින් තොරව අදාළ මනෝ හිඩැසෙහි අතරමං වීමට ඇති අකමැත්ත නිසා ය. ඒ පාළුවේ, වේදනාවේ තරම ඔවුන්ට හොඳින්ම දැනෙන නිසා ය. මත් බව ඒ පාළුව වෙනත් ආකාරයකින් අමතක කිරීමට ඔවුන් විසින් භාවිත කෙරෙන, අසාර්ථක වුවත් තාවකාලික විසඳුමකි. එය පිටස්තරයන් වශයෙන් අප සංවේදී විය යුතු කාරණයකි.

රොනී ඔ’සුලිවන් ක්‍රීඩා කරන විට ඔහුගෙන් දිස්වන ලැජ්ජාශීලී ස්වභාවයට හේතුව එය විය හැකිය. ඔහුගේ මනසෙහි ගිනි ජාලාවකි. එහෙත් ස්නූකර් වැනි මානසික ඒකාග්‍රතාවය දැඩිව අවශ්‍ය ක්‍රීඩාවක් මානසික ස්ථාවරභාවය නොමැතිව කළ නොහැකිය. ඔ’සුලිවන් වැනි විශිෂ්ටයෙකුටත් නොහැකි නම් අන් කෙනෙකුට කිසිසේත්ම නොහැකිය. එබැවින් මානසික සෞඛ්‍යයෙහි ඇති වැදගත්කම ගැන මේ මොහොතේ සිතට ගනිමු.

මගේ සතුටු තැන තමයි උදේට දුවන්න යන එක. දුවන මිත්‍රයන් එක්ක මම යනවා. ඒකෙ මට කිසි අවුලක් නෑ. මාව ගොඩක් අය ඉන්න පරිසරයකට දැම්මොත් තමයි මම කොණට දුවන්නේ”, ඔහු එවැන්නෙකි.

සාමාන්‍යයෙන් ඕනෑම ක්ෂේත්‍රයක සහජ විශිෂ්ටයන් මානසිකව අස්ථාවර වීමේ ඉඩකඩක් ඇත. විද්‍යාඥයන්, ගණිතඥයන්, විශිෂ්ට සංගීතඥයන්, මහාචාර්යවරුන්, අති දක්ෂ ක්‍රීඩකයන්ව සිහිකරගෙන යෑමේ දී එවැන්නන් රැසක් හමුවෙයි. ඔ’සුලිවන් නම් සහජ හැකියාවෙන් පරිපූර්ණ විශිෂ්ට ක්‍රීඩකයාත් එසේම ය.

Sky Sports
Caption – ඔ’සුලිවන් ක්‍රීඩා කරමින්

මේ වන විට ඔහු ඔහුගේ මානසික බරෙන් පැනයාමේ උපක්‍රමය හැටියට සලකන්නේ ස්නූකර් ක්‍රීඩාවයි. ඔහුව මානසිකව සංයමයට පත්කරවන්නේ එයයි. එවැනි කුමන හෝ යමක් අපගේ ජීවිතවල ද තිබිය යුතුය.

මම හැමදාමත් මගේ ක්‍රීඩාවට ආදරය කළා. මට වැදගත්ම දේ ඒකයි. වරදේ බැඳෙන්න පුළුවන් හැම මාවතක්ම එය විසින් ගලවා දමනවා,” ඔහු පැවසුවේය.

මම හිතන්නේ පුනරුත්ථාපනය සඳහා ගියපු එක විසින් මට ඉගැන්නුවා, ‘සතුට කියන්නේ ඇතුළතින් එන්න ඕන දෙයක්කියන එක. මම ඇත්තටම ඒක විශ්වාස කරනවා. 2000 ඉඳන් හැමදාම මම ඒක විශ්වාස කළා”, රොනී ඔ’සුලිවන් නම් පුරාවෘත්තය ඒ රුවන් වදන් BBC හමුවේ තැබීය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<