පාකිස්තානය කැලඹූ මිකී ආතර් මිස්බා උල් හක් ගැටුම

105

පාකිස්තාන හිටපු පුහුණුකරු මිකී ආතර් පසුගිය දා මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශයක් බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය. එහිදී මිකී විසින් හිටපු පාකිස්තාන නායකයන් වන මිස්බා උල් හක් හා වසීම් අක්‍රම් පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මිකී ආතර් නැවතත් අදහස් දක්වා සිටියා. 

“ආරක්ෂාවට වඩා ක්‍රිකට් ගැන ලොකු අවධානයක් දෙනවා” – තිරිමාන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට්…..

මෙම සතියේ දී ESPNcricinfo වෙබ් අඩවිය සමඟින් කළ සාකච්ඡාවක දී මිකී ආතර් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කළ අතර එය පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ද දැඩි අවධානයට ලක්ව තිබුණා. පාකිස්තානය ක්‍රිකට් කණ්ඩායම 2019 ලෝක කුසලාන තරගාවලියේ දී එතරම් සාර්ථක නොවූ අතර ඉන් අනතුරුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් වසීම් අක්‍රම් හා මිස්බා උල් හක් ඇතුළත් කමිටුවක් පත්කිරීමට ද තීරණය කර තිබුණා. ඒ පාකිස්තාන කණ්ඩායම නැවත ගොඩනැගීම සඳහායි. 

එම කමිටුව විසින් හිටපු පුහුණුකරු වන මිකී ආතර්ගේ පුහුණුකරු කොන්ත්‍රාත්කරුව නැවත අලුත් නොකිරීමට තීරණය කළ අතර ඉන් අනතුරුව පාකිස්තාන ක්‍රිකට් පුහුණුකරු හා තේරීම් කමිටු ප්‍රධානියා ලෙස මිස්බා උල් හක් පත්විය. 

පසුගිය සතියේ දී වෙබ් අඩවිය සමඟින් අදහස් දක්වමින් මිකී ආතර් පවසා සිටියේ ඔහු පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් පත්කළ කමිටුවට මිස්බා හා වසීම් නම් කිරීම සම්බන්ධයෙන් සතුටු වූ බවත් ඔවුන් පිළිබඳව විශ්වාසය තබා සිටි බවත්ය. නමුත් ඔවුන්ගේ තීරණයෙන් අනතුරුව ඔහු බලවත් ලෙස කලකිරුණු බවත් මිකී ආතර් පවසා ඇත. 

“මට කලකිරීමට ප්‍රධානතම හේතුව වුනේ එතන හිටිය මම වැඩිපුරම විශ්වාස කළ පුද්ගලයන් මාව නොසලකා හැරීම. මම ඔවුන්ව විශ්වාස කළාට ඔවුන් පෙරළා ඒක මට දැක්වූයේ නෑ. 

මිස්බා එම කමිටුවේ ඉදලා අපේ කොන්ත්‍රාත් අලුත් නොකර ඔහු එම වගකීම් බාර ගත්තා.”

“මිස්බා කණ්ඩායම වෙනුවෙන් ලොකු දෙයක් කරාවි. ඔහු හොඳ ක්‍රීඩකයෙක්. ඒ වගේම පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ තීරණය අරන් තියනවා. මම කලකිරුණේ මම ඒ රැකියාවේ හැම තත්පරයකටම ආදරය කළා. “

ආතර්ගේ මෙම ප්‍රකාශ පාකිස්තානය පුරා ලැව් ගින්නක් සේ පැතිර ගිය අතර එරට මාධ්‍ය කීපයක් මෙම ප්‍රවෘත්තිය සඳහා ප්‍රබල ස්ථානයක් හිමිකරදීමට කටයුතු කර තිබුණා. 

මෙම ප්‍රකාශ පැතිර යාමත් සමඟ පර්ත් සිට දුරකථන මාර්ගයෙන් ඒ. එෆ්. පී. මාධ්‍ය සමඟින් සම්බන්ධ වූ මිකී පවසා සිටියේ වසර තුනක් තම කණ්ඩායම වෙනුවෙන් දැඩි වගකීමක් ඉටු කළ අයෙකු ලෙස තම අවංක හැඟීම් ප්‍රකාශ කිරීමට තමන්ට අයිතියක් ඇති බවයි. 

“මම මගේ අවංක හැඟීම් කියා සිටියේ මම පකිස්තානයට ආදරේ නිසා. මම වසර තුනක් කටයුතු කළ ක්‍රීඩකයන්ට ආදරේ නිසා. ඒ වගේම මම මිස්බාට හා වසීම්ට ගෞරව කරනවා.” 

“මම කලකිරීමෙන් හිටියේ මට පාකිස්තානය සමඟ සම්පූර්ණ කළ නොහැකිවුනු වැඩ කීපයක් තිබුණා. මම ගොඩක් ආසාවෙන් හිටියා පාකිස්තානය සමඟින් දිගටම කටයුතු කරන්න. ඒත් දැන් ඔවුන් ඒ තීරණය ඇරන් ඉවරයි. මම සුබ පතනවා පාකිස්තාන කණ්ඩායමට මිස්බා ‍යටතේ ලොකු ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා ” 

පාකිස්තානයේ ක්‍රිකට් පිපාසය වර්ෂාවට පරදියි

වසර 10ක කාලයකට පසුව කරච්චි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක අසිරිය විඳීමට බලා…..

මිකී ආතර්ගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් අනතුරුව වසීම් අක්‍රම් හා මිස්බා උල් හක් ද මාධ්‍ය අමතමින් අදහස් දක්වා සිටියා. 

“මම පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කරලා මම පාකිස්තාන ක්‍රිකට් වෙනුවෙන් යම් කාර්‍යභාරයක් කරලා තියනවා නායකයෙක් විදිහට වගේම වෙනත් වගකීම් යටතේත්. ඒ වගේම මට පාකිස්තානය පුහුණුකරු පිළිබඳව තීරණය කරන කමිටුවට සම්බන්ධ වෙන්න කියපු වෙලාවේ මම මගේ අවංක අදහස පැවසුවා.” වසීම් ඒ. එෆ්. පී. මාධ්‍ය හමුවේ පවසා සිටියා. 

මිස්බා උල් හක් ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා. 

“මම හිතන්නේ ඔහු කියලා තියෙන්නේ ඔහුගේ අදහස. ඔහු හිතන දෙය ඔහු කියලා තියනවා. මම හැමවෙලේම කියන්නේ එක එක පුද්ගලයන්ට එක එක අදහස් තියෙන්න පුළුවන්. ක්‍රිකට් කමිටුවේ සාමාජිකයන් විදිහට අපි අපේ අවංක අදහස් ප්‍රකාශ කලා. අපි මිකී සමඟින් යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගෙන සිටිනවා. “

“හොඳ සම්බන්ධයන් හැමවෙලේම තියනවා. ඒවා ඉදිරියටත් එහෙමම තියේවි.“

AFP අසුරෙනි !

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<