ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 13 වැනිදා ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සෙසු තරග ද්විත්වය මේ මස 15 වැනිදා සහ 17 පැවැත්වෙන අතර සියලුම තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට යෝජිතයි.
දෙරට ක්‍රීඩකයෝ මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 15කදී එකිනෙකා හමුව ඇති අතර එහි දී තරග 8ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව ද සහ තරග 7ක ජයග්‍රහණ බටහිර ඉන්දීය කොදෙව්වෝ ද සතු කර ගෙන සිටිනවා.
දෙරට ක්‍රීඩකයෝ විස්සයි විස්ස ද්විත්ව රටවල් අතර තරගාවලියක් සඳහා එක් වෙන්නේ 2021 වසරට පසුවයි. ඔවුන් අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් හි දී එකිනෙකා හමුවෙන අතර එහි දී තරග 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සත්කාරක කොදෙව් ක්‍රීඩකයෝ සමත් වෙනවා.
අවසන් වරට දෙරට ක්‍රීඩකයෝ විස්සයි විස්ස තරගයක දී එකිනෙකා හමු වෙන්නේ 2021 ලෝක කුසලාන තරගාවලියේ දී වන අතර එම තරගයෙන් ලකුණු 20ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.
එදා එම තරගයේ වීරයා බවට පත් චරිත් අසලංක අද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින් පිටියට එක් වීමට නියමිත අතර එදා බටහිර ඉන්දීය කොදෙව් සංචිතයේ පවා නොසිටි Rovman Powell අද එම කණ්ඩායමේ නායකයා වෙමින් මෙම තරග සංචාරය හා එක් වෙනවා.
ඔහු නායකයෙක් ලෙසින් මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාවයි මේ. මීට පෙර ඔහු 2020 වසරේ දී මෙරට සංචාරයක නිරත ව තිබෙන අතර ශ්‍රී ලංකාවට එරෙහි ව විස්සයි විස්ස තරග 3කට ද එක් ව සිටිනවා.
31 හැවිරිදි වියේ පසුවෙන මැදි පෙළ පිතිකරුවෙක් ලෙසින් වර්ගීකරණය ලත් Powell මේ වන විට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 80කට මුහුණ දෙමින් ශතකයක් සහ අර්ධ ශතක 6ක් සමඟින් ලකුනු 1456ක් ලබා තිබෙනවා.
ඔහු මේ දක්වා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවස්ථා 26ක දී මෙහෙයවා ඇති අතර ඉන් තරග 17ක් ජයග්‍රහණය කරද්දී තරග 9ක් පරාජිත තරග ලෙසින් සටහන් කර ගන්නවා.
- සංගක්කාර නැවතත් ශ්‍රී ලංකා නායකයා ලෙස ක්‍රිකට් පිටියට
- කොදෙව්වන් සමඟ සටනට ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- යොවුන් පිටියේ බලගතු ඇත්තු
- චරිත් – අවිශ්ක NSL ශූරතාව අගනුවරට රැගෙන එයි
- සනත් වසර කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයට
කොදෙව් නායක Powell ට මෙම තරගාවලිය හා එක් වීමට සිදු වෙන්නේ පළපුරුදු ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ගේ ම සහයෝගය නොමැතිවයි. ඒ අතර පසුගිය ජුනි මාසයේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලානය නියෝජනය කළ, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 82ක දී ලකුණු 1033ක් සහ කඩුලු 60ක් දවාගෙන සිටින තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Andre Russell නොමැති ව වීම ඔහුට විශාල පාඩුවක්.
ඊට අමතර ව නිමා වූ අගෝස්තු මාසය දක්වා ම කොදෙව් කණ්ඩායම නියෝජනය කළ සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 98ක දී ලකුණු 2195ක් ලබා සිටින Nicholas Pooran, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 58ක දී ලකුණු 933ක් ලබා සිටින Shimron Hetmyer සහ විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 52ක් ලබා සිටින Akeal Hosein ද මෙම කණ්ඩායම හා එක් නොවීම ද මේ පාඩුව දෙගුණ තෙගුණ කරවන්නක්. ඒ සියලු දෙනා පෞද්ගලික හේතූන් මත යැයි පවසමින් මෙම තරගාවලියට එක් වන්නේ නැහැ.
ඒ පුරප්පාඩුත් සමඟ 2022 ඔක්තෝබරයේ දී අවසන් වරට කොදෙව් කණ්ඩායම නියෝජනය කළ වමත් ආරම්භක පිතිකරු Evin Lewis ට නැවත කණ්ඩායම හා එක් වීමේ අවස්ථාව හිමි ව තිබෙනවා. ඔහු මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 53කට ක්‍රීඩා කරමින් ශතක 2ක් සහ අර්ධ ශතක 10ක් සමඟින් ලකුණු 1465ක් ලබා ඇති ක්‍රීඩකයෙක්. පළපුරුදු ක්‍රීඩකයන් අහිමි වීමේ පාඩුව මඟ හැරීමේ වගකීම ද මේ අනුව ඔහුට හිමි වෙනවා.
එමෙන් ම මෙතෙක් ජාත්‍යන්තර වරම් හිමි නොවූ දකුණතින් වේග පන්දු යවන Terrance Hinds සහ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Shamar Springer ද මෙම කණ්ඩායමට එක් කර තිබෙනවා.
කණ්ඩායමේ උප නායකත්වය පිරිනමා ඇත්තේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 22ක දී ලකුණු 315ක් සහ කඩුලු 18ක් ලබා සිටින 32 හැවිරිදි වියේ පසුවෙන Roston Chase වෙතයි. ඔහු ද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවස්ථා 9ක දී මෙහෙයවු ක්‍රීඩකයෙක්.
ඊට අමතර ව විස්සයි විස්ස තරග 55ක දී අර්ධ ශතක 10ක් සමඟින් ලකුණු 1395ක් ලබා සිටින Brandon King පිතිකරුවෙක් ලෙසත් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 43ක දී කඩුලු 46ක් ලබා සිටින 29 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන Romario Shepherd ද මෙම කණ්ඩායමට එක් කළ විශ්වසනීය ම ක්‍රීඩකයන් ලෙසින් නම් කර තිබෙනවා. Shepherd බටහිර ඉන්දීය කොදෙව්වෝ පසුගිය අගෝස්තු මාසයේ නිමා කළ දකුණු අප්‍රිකාව සමඟ තරගාවලියේ දී තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.
ඔවුන් ට අමතර ව ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවල දී දක්ෂතා දක්වන Fabian Allen ද මෙම කණ්ඩායම හා එක් ව සිටින අතර අනෙකුත් ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් ගේ දක්ෂතා දත්ත පවතින්නේ එතරම් ම බලගතු තත්ත්වයක් නොවේ.
නමුත් මෙම කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සමඟ අවසන් වරට සහභාගී වූ දකුණු අප්‍රිකා සංචාරයේ දී ඔවුන් සංචාරක ක්‍රීඩකයන්ට එරෙහි ව තරග 3-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ද සමත් වෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සංචිතය
Rovman Powell (නායක), Roston Chase (උප නායක), Fabian Allen, Alick Athanaze, Andre Fletcher, Terrance Hinds, Shai Hope, Alzarri Joseph, Shamar Joseph, Brandon King, Evin Lewis, Gudakesh Motie, Sherfane Rutherford, Romario Shepherd, Shamar Springer.
බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ මෙරට සංචාරයේ උණුසුම් තතු විත්ති සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.