“අහෝ දෙවියනි! මේක නවත්තන්න” – ආජන්ටිනා ජයග්‍රහණයෙන් සමාජ මාධ්‍ය කැලඹෙයි

6869

එදාමෙදාතුර මතකයේ තිබෙන අතිවිශිෂ්ටතම ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තරගය බවට ලොව සියලුම පාපන්දු ලෝලීන් විසින් එක හඬින් පිළිගනු ලබන Lionel Messiගේ ආජන්ටිනා කණ්ඩායම සහ Kylian Mbappeගෙන් යුත් ප්‍රංශය අතර පැවති සටන ත්‍රාසය සහ කුතුහලය උපරිමයෙන් ම ගෙන ආ තරගයක්.

ක්‍රීඩාලෝලීන් බොහෝ දෙනෙකුට මෙය වේදනාකාරී තරගයක් වුනේ පළමු භාගය අවසන් වන විට ගෝල 2-0කින් පෙරමුණේ සිටි ආජන්ටිනාවට පසුව තරගයේ අතිරේක කාලය දක්වා ක්‍රීඩා කිරීමට බල කෙරුණු නිසා.

සිත්ගන්නාසුළු මිනිත්තු 120ක තියුණු ක්‍රීඩාවකින් පසු තරගය දෙපිල ම ගෝල 3 බැගින් වාර්තා කර සමව අවසන් වීමෙන් පසුව පැවති පැනල්ටි ප්‍රහාරයේ දී (Penalty Shootout)  ආජන්ටිනාව 4-2කින් තරගය ජය ගත්තේ ආජන්ටිනා නායක මෙසීගේ කුසලාන රාක්කයේ තිබූ එක ම අඩුව වූ ලෝක පාපන්දු කුසලානය ද ඔහුට අත්කර දෙමින්.

මෙසී ලෝක පාපන්දු කුසලානය ඔසවන විට ක්‍රීඩාංගණයේ නැගුණු මහා ඝෝෂාවත්, තරගයේ අතිරේක කාලයේ දී තරගය සම තත්ත්වයට ගෙන ඒම පිණිස පැනල්ටිය එල්ල කරද්දී Mbappeගෙන් දිස්වූ නොකැලඹුනු සන්සුන් බවත් ක්‍රීඩාලෝලීන්ගේ මතකයේ සදා රැඳී තිබෙනු ඇති බවට සැකයක් කොහෙත්ම නැහැ.

මෙතෙක් පැවති හොඳම ලෝක කුසලාන පාපන්දු අවසාන තරගය,” යනුවෙන් හිටපු සුප්‍රසිද්ධ ජැමෙයිකානු කෙටි දුර ශූර Usain Bolt ආජන්ටිනා කමිසය පැලඳ ලුසේල් ක්‍රීඩාංගණයේ සිටින තමාගේ ඡායාරූප සමඟ tweet කර තිබුණා.

අපට මෙහේ හුස්ම ගන්න බැහැ. එය ඇදහිය නොහැකි අවසාන තරගයක්. මෙහි සිටින්නට ලැබීම ලොකු සතුටක්. මම මේ වගේ දෙයක් කවදාවත් දැකලා නැහැ. මේ වගේ දෙයක් ආයෙ දකින්න ලැබේවි කියලා මම හිතන්නෙත් නැහැ. මෙය අපි කම්පනයට පත් කළ තරගයක්,” යනුවෙන් හිටපු එංගලන්ත ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩක Alan Shearer ප්‍රකාශ කළේ BBCයෙන්.

මෙසීගේ පැනල්ටිය සහ Angel Di Mariaගේ පළමු භාගයේ ගෝලයෙන් නියමිත කාලයේ දී තරගය විසඳෙනු ඇතැයි පෙනුනත්, Mbappe තරගයේ ප්‍රමාද වී පැනල්ටි ස්ථානයේ සිට ලබා ගත් ගෝලය සහ තරග කාලය අවසන් වීමට මිනිත්තු ගණනාවක් තිබිය දී ලබා ගත් ගෝලයෙන් ප්‍රංශය තරගය සම තත්ත්වයට පත් කර ගෙන අතිරේක කාලය දක්වා ක්‍රීඩාව බලෙන් ම දීර්ඝ කර ගත්තා.

දීප්තිමත් අවසාන තරගයක උණුසුම කණ්ඩායම් දෙකට ම දැනෙමින් තිබිය දී මෙසී 108 වැනි මිනිත්තුවේ දී ජයග්‍රාහී ගෝලයක් ලබා ගෙන ඇති බවක් දිස්වූයේ හොලිවුඩ් චිත්‍රපටයක අවසානයක සේයා මතු කරමින්.

අහෝ දෙවියනි! මෙය ඉතාමත් අලංකාර, නරක සාපයක් ලද තරගයක්. මම කොච්චර ආස වුනත් මට මේක දරා ගන්න බැහැ. අනේ මේක නවත්තන්න,” යනුවෙන් තරගයේ අතිරේක කාලයේ දී වාර්තා වූ මෙසීගේ ගෝලයෙන් ආජන්ටිනාවට 3-2ක පෙරමුණක් ලැබුණු වහාම tweet කරමින් කැනේඩියානු-ඇමරිකානු ජනප්‍රිය නළු Ryan Reynolds කියා සිටියා.

එහෙත් Mbappe නැවත වතාවක් පැනල්ටි ස්ථානයේ සිට සාර්ථක වෙමින් තරගය පැනල්ටි ප්‍රහාරයක් දක්වා ගෙන ගියා.

මට හෘදයාබාධයක් ඇති වුනොත්, ඒ මම මේ ලෝක කුසලාන අවසාන තරගය නරඹන නිසායි,” Serena Williams ලෝක ටෙනිස් ශූරිය tweet කළා.

මරු තරගයක්. ලෝකෙ තියෙන හොඳම ක්‍රීඩාව මේක තමයි කියලා කවුරු හරි තවමත් පිලිගන්නේ නැත්නම්…….” යනුවෙන් හිටපු Arsenal පාපන්දු සමාජ මැදපෙළ ක්‍රීඩක Cesc Fabregas පිටියේ ක්‍රීඩකයන් පැනල්ටි එල්ල කිරීම සඳහා පෙළ ගැසෙද්දී tweet කළා.

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හොඳම ගෝල රකින්නාට හිමි Golden Glove සම්මානය දිනා ගත් Emiliano Martinez විසින් තමන්ගේ පැනල්ටිය රැක ගන්නා අයුරු ප්‍රංශයේ Kingsley Coman දුටු අතර Aurelien Tchouameni ඔහුගේ උත්සාහය අපතේ හැරියේ Gonzalo Montiel ආජන්ටිනාවේ තෙවැනි ලෝක කුසලාන පාපන්දු කිරුළ සහ 1986 වසරෙන් පසුව පළමු ලෝක කුසලාන ජයග්‍රහණය සුරක්ෂිත කිරීමට පෙරයි.

ජයග්‍රහණයේ සතුට බෙදා ගැනීම සඳහා ජනයා ගලා ඒමෙන් ආජන්ටිනාවේ Buenos Aires අගනගරය සුදු සහ අහසේ නිල් වර්ණයෙන් උතුරා යන අයුරු ඡායාරූපවලින් දිස්වුනා.

ආජන්ටිනාවේ ජනාධිපති Alberto Fernandez මෙසේ tweet කළා: “ක්‍රීඩකයන්ට සහ පුහුණුකාර කණ්ඩායමට ස්තුතියි. අපි සටන අත් නොහැරිය යුතු බවට ඔවුන් හොඳ උදාහරණයක්. අපට ශ්‍රේෂ්ඨ ජනතාවක් සහ ශ්‍රේෂ්ඨ අනාගතයක් තිබෙන බවට මේ පාපන්දු කණ්ඩායම කදිම ආදර්ශයක්.”

ආජන්ටිනාවේ ප්‍රධාන ප්‍රතිවාදියා වන බ්‍රසීලය පවා සුබ පැතුම් එවා තිබුණා.

ආජන්ටියානු අසල්වැසියන්ගේ ජයග්‍රහණය ගැන සතුටුයි. ලෝක කුසලානය අයිති වීමට සුදුසු Messiගෙන් සහ Di Mariaගෙන් දිස්වුනේ විශිෂ්ට ක්‍රීඩාවක්. ක්‍රීඩකයන්ට, ආජන්ටිනා පුහුණුකාර මණ්ඩලයට සහ මගේ මිතුරු ආජන්ටිනාවේ ජනාධිපති Alberto Fernandez ට සුබ පැතුම්!” යනුවෙන් ආජන්ටිනා ජාතික ධජය සමඟ පෙනී සිටිමින් බ්‍රසීලයේ ජනාධිපති Lula da Silva tweet කළා.

හිටපු එංගලන්ත ආක්‍රමණික ක්‍රීඩක Michael Owen මෙසේ tweet කළා: “ආජන්ටිනාවට මගේ ප්‍රසාදය. ඇදහිය නොහැකි තරගයක්. සැබැවින්ම මෙතෙක් පැවති හොඳම ලෝක කුසලාන පාපන්දු අවසාන තරගයයි මේ?…තමාගේ විස්මිත ක්‍රීඩා දිවියට උඩින් මෙසී තොප්පියකුත් දමා ගත්තා. නමුත් Mbappe ගැනත් මෙහි දී සිහිවෙනවා. ලෝක කුසලාන අවසාන තරගයක පිට පිට ගෝල් ත්‍රිත්වයක් (hat trick) ලබා ගෙනත් ඔහු හිස් අතින් ගෙදර යනවා.”

අවසාන තරගය නැරඹීම පිණිස කටාර් දේශයට ගොස් සිටි ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මෙසේ tweet කර තිබුණා: Les Bleus (ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායම) අපට සිහින ගෙන ආවා.”

ඔහු පසුව පිටියට පැමිණ Mbappe සනසද්දී මේ 23 හැවිරිදි Golden Boot (මෙසීට වඩා එක ගෝලයක් වැඩියෙන් එනම් ගෝල අටක් ලබා ගත්) සම්මානලාභියා රාත්‍රිය දෙසට ඔහුගේ දුක්බර හිස් දෑස් යොමා ගෙන සිටියා.

ස්තුතියි Les Bleus! අවසානය දක්වා ම අපි ඔබ සමඟ කුතුහලයෙන් යුතුව වෙවුලමින් සිටියා. අපට ලබා දුන්‌ මේ සංචාරයට ඔබට ස්තුතියි. අපට සිහින දකින්න ඉඩ සැලසුවාට ඔබට ස්තුතියි. මේ අසාමාන්‍ය විශිෂ්ට තරගය ලබා දීම ගැන ඔබට ස්තුතියි!” යනුවෙන් ප්‍රංශයේ අගමැති Elisabeth Borne ද tweet සටහනක් තබමින් සඳහන් කර තිබුණා.

Gonzalo Montiel ජයග්‍රාහී පැනල්ටිය ලබා ගැනීමත් සමග ප්‍රීති ප්‍රමෝදයට පත්වූ ක්‍රීඩාලෝලීන් ආජන්ටිනා අගනුවර වීදිවලට පැමිණියේ රොද බැඳගෙන.

La Albiceleste නමින් හැඳින්වෙන ආජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායම පැනල්ටි ප්‍රහාරයෙන් ලෝක කුසලානය දිනා ගැනීමේ සතුට ආජන්ටියානු ජනයා සැමරුවේ ජාතික කොඩිවලින් යූතුව වීදිවල විශාල වශයෙන් රැස් කමින්.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙසින් Golden Ball සම්මානයෙන් පිදුම් ලැබූ නායක මෙසී ආජන්ටිනා ක්‍රීඩාලෝලී ජනතාව දහස් ගණනින් නැඟිටුවමින් කටාර් දේශයේ දෝහා අගනුවර ලුසේල් ක්‍රීඩාංගණයේ මයික්‍රෆෝනයෙන් ඔවුන්ට මෙසේ දන්වා සිටියා.

අපි තමයි ලෝකයේ පාපන්දු ශූරයෝ!”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<