Messiගේ පළමු ලෝක කුසලාන ‘Knockout’ ගෝලය

FIFA World Cup 2022

3335

ආජන්ටිනා සුපිරි පාපන්දු තරුව වන Lionel Messi ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ලෝක කුසලාන අවසන් කණ්ඩායම් 16 දෙනාගේ තරගයේ දී වාර්තා කළේ ඔහුගේ ලෝක කුසලාන දිවියේ පළමු Knockout ගෝලයයි.

මේ ගෝලයේ තවත් විශේෂත්වය වන්නේ Messi එය වාර්තා කළේ ඔහුගේ ක්‍රීඩා දිවියේ 1000 වැනි තරගයේ දී වීම.

ආජන්ටිනා කණ්ඩායමේ මලානික මිනිත්තු 35ක ක්‍රීඩාවකින් පසුව Messi ඔවුන්ට තරගයේ ගෝල 1-0ක පෙරමුණක් ලබා දුන්නේ මැජික් ක්‍රීඩාවකින්. මේ ගෝලය තවත් වර්ණවත් වන්නේ එය Messi මේ තරගයේ ඔහුගේ පළමු පහරෙන් ම ලබා ගැනීම නිසයි.

මේ ගෝලයත් සමඟ Lionel Messi ලෝක කුසලාන තරගාවලිවල ආජන්ටිනාවේ වාර්තාගත ගෝල ලාභියා බවට පත්වුනේ Diego Maradona අභිබවා යමින්.

Messi මේ තරගයේ දී ආජන්ටිනාව වෙනුවෙන් ලබා ගත් ගෝලය ඔහු 2005 වසරේ දී ජගත් පාපන්දු තරග බිමට පිවිසීමෙන් පසුව ජාත්‍යන්තර තරග 169ක දී වාර්තා කළ 94 වැනි ගෝලය වුනා.

මීට අමතරව මෙය ඔහු 2006, 2010, 2014, 2018 සහ 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිවලට ක්‍රීඩා කිරීමේ දී තරග 23කින් වාර්තා කළ 9 වැනි ලෝක කුසලාන ගෝලය වූවත්, ලෝක කුසලාන තරගාවලියේ Knockout වටයක දී ඔහු ලබා ගත් ප්‍රථම ගෝලය මෙය වෙනවා.

ජාත්‍යන්තර තරග 169කින් ලබා ගත් ගෝල 94ට අමතරව Messi, Barcelona සහ Paris Saint-Germain (PSG) යන කණ්ඩායම් නියෝජනය කරමින් අන්තර් සමාජ තරග 831කින් ගෝල 695ක් වාර්තා කර තිබෙනවා.

Ballon d’Or සම්මානය වාර්තාගත ලෙසින් හත් වතාවක් සහ ‘රත්තරං සපත්තුව’ සම්මානය වාර්තාගත හය වතාවක් දිනා ගෙන සිටින Messi එදාමෙදාතුර බිහි වූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස බොහෝ දෙනා පිළිගන්නවා.

2021 වසරේ Barcelona පාපන්දු සමාජය හැර යන තෙක් Messi ඔහුගේ සම්පූර්ණ වෘත්තීය ක්‍රීඩා දිවිය එම කණ්ඩායම සමඟ ගත කළේ අන්තර් සමාජ වාර්තාවක් වන කුසලාන 35ක් ජයග්‍රහණය කර දෙමින්.

එක ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් මෙතෙක් ක්‍රීඩකයෙකු ලබා ගෙන සිටින වැඩිම ගෝල ප්‍රමාණය Messi වාර්තා කර තිබෙන්නේ Barcelona වෙනුවෙන් ගෝල 650ක් ලබා ගනිමින්. මීට අමතරව ඔහු එදාමෙදාතුර La Liga තරගාවලියේ වාර්තාලාභී ගෝල ලබා ගත් ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ ගෝල 474කින්.

Lionel Mess ඔහුගේ ක්‍රීඩා සමාජ ගෞරවවලට අමතරව Copa America ශූරතාවක් 2021 වසරේ දී හිමි කර ගත්තේ ඊට පෙර අවස්ථා තුනක දී ම එහි අනුශූරයෙක් වීමෙන් පසුවයි. 2014 ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයේ දී ජර්මනිය විසින් ආජන්ටිනාව පරාජය කිරීමෙන් පසුව Messi එම තරගාවලියේ ද අනුශූරයෙක් වුනා.

ආජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති 16 දෙනාගේ වටයේ තරගයට පෙර BBC මැදිරියේ දී හිටපු එංගලන්ත Premier League විශිෂ්ට ක්‍රීඩකයෙකු වන Alan Shearer සහ හිටපු ආජන්ටිනා ක්‍රීඩක Pablo Zabaleta, Messiගේ හැකියාවන් ගැන කතා කළේ ගරුසරු ඇතිවයි.

Shearer මෙසේ ප්‍රකාශ කළා; “Messi ප්‍රතිභාවන්තයෙක්. ඔහු ක්‍රීඩා කර තිබෙන තරග සංඛ්‍යාව දෙස බලන්න!”

“ආජන්ටිනාව පාපන්දු ක්‍රීඩාවෙන් උමතු වූ රටක්. ඔහු කොතරම් පීඩනයක් යටතේ ක්‍රීඩා කරනවා ද කියා ඔබට සිතා ගන්න පුළුවන් ද? එය ඇදහිය නොහැකි දෙයක් වනු නොඅනුමානයි.”

Messiගේ කිට්ටු මිතුරෙකු මෙන් ම ඔහු සමඟ ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කළ Zabaleta මෙසේ පැවසුවා; “Messi පාපන්දු ක්‍රීඩා කරන හැටි බලන්න ජනතාව ටිකට්වලට ගෙවා ගෙන ඕනෑම තැනකට යාවි.”

“ඔහු ඒ තරමට ම විනෝදය ගෙන එනවා. ඔහු කොතරම් අගනා ක්‍රීඩකයෙකු බවට පත්ව සිටිනවා ද. ඔහු, ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ අගට පැමිණ සිටිනවා. නමුත් ඔහු තවමත් ජාතික කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයෙක්. ඔහු ක්‍රීඩාවේ ඉහළ ම තලයේ තවදුරටත් දස්කම් පානවා.”

“Messiට බෝලෙ පාස් කරන්න. අපට කරන්න තිබුණේ එච්චරයි. මගේ පාමුල බෝලෙ තිබුණු වෙලාවට ‘Messi කොහෙද, Messi කොහෙද’ කියලා මට හැමවිටම සිතුණා. යමක් නිර්මාණය කරනවා නම් ඒ Messi තමයි.”

Messiගේ සැකයෙන් තොර දක්ෂතාවන්ට අමතරව පිටියෙන් පිටත ඔහුගේ ගුණාංග පිළිබඳව ද Zabaleta බොහෝ ප්‍රශංසා කළා.

“ඔහු මේ දිනවල ඉතාමත් පරිණතව සිටිනවා. බ්‍රසීලයට එරෙහි Copa America අවසාන තරගයට පෙර ඔහු, ‘ළමයිනේ.. අපි දවස් 45ක් එකට හිටියා. අපි අපේ රට වෙනුවෙන් මේ දෙය කරමු’ යනුවෙන් කළ ප්‍රකාශය හරි ම සුන්දරයි.”

“අපි පිට පිට අවසාන තරග තුනකින් පැරදුනාම ඔහු ජාත්‍යන්තර රාජකාරියෙන් විශ්‍රාම ගිය බව සමහරුන්ට අමතකයි. රට වෙනුවෙන් යමක් දිනා දෙන්න ඔහුට ලොකු උවමනාවක් තිබුණා.”

“බ්‍රසීලයේ පැවති ඒ Copa America තරගාවලිය රට එකමුතු කළා. Messi අර විදියට කීවාම ක්‍රීඩකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර බලන්න වටිනවා.”

Zabaleta වැඩිදුරටත් මෙසේ සඳහන් කළා; “අපට ඕන අපේ රට දිනනවා බලන්න කියලා ගොඩක් අය මේ ලෝක කුසලාන තරගාවලියේ දී කියනවා මට ඇහෙනවා. නමුත් අපේ රටට කුසලානය දිනන්න බැරි නම්, අපට ඕන Messi දිනනවා දකින්නයි!”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<