‘දේව හස්තය’ අමතක කරමු; ‘දේව කොණ්ඩය’ ගැන කතා කරමු

FIFA World Cup 2022

744

ඩියෙගෝ මැරඩෝනාගේ ‘දේව හස්තය’ ගෝලය අමතකව ගොස් දැන් කාගේත් කතාබහට ලක්ව තිබෙන ආන්දෝලනාත්මක මාතෘකාව බවට පත්ව තිබෙන්නේ ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ ‘දේව හිසකෙස්’ ගෝලය.

උරුගුවේ සමඟ පැවති තරගයේ දී Bruno Fernandes එල්ල කළ හරස් පහරින් පැමිණි පන්දුව තම හිසෙන් දැල තුළට යවමින් ගෝලය ලබා ගත් බව අඟවමින් රොනාල්ඩෝ අතිශය උද්යෝගීමත් ලෙස සතුටු වූ ආකාරය ලැජ්ජාශීලී ක්‍රියාවක් ලෙස දැන් ඉතිහාසගත වෙමින් තිබෙනවා.

ඔහු පන්දුව ස්පර්ශ කළා ද, නැද්ද?

ජගත් පාපන්දු සම්මේලනය – FIFA – ට මේ නඩුව පැහැදිලියි. ගෝලය ලබා ගත්තේ බෲනෝ ෆර්නෑන්ඩස්. කෙසේ වෙතත් රොනාල්ඩෝට පැහැදිලිව තිබෙන්නේ වෙනත් දෙයක්; “ගෝලය ලබා ගත්තේ මම යි!”

පාපන්දු ලෝකයට මේක ප්‍රහේලිකාවක්.

සිදු වූයේ කුමක්ද? තරගයේ 54 වැනි මිනිත්තුවේ දී බෲනෝ ෆර්නෑන්ඩස් පන්දුව ගෝල කණු දිශාවට එල්ල කරනවා. පැනල්ටි කලාපයේ දී ඉගිළෙමින් පැමිණි රොනාල්ඩෝ පන්දුව දෙසට ඔහුගේ බෙල්ල සහ හිස දික් කරනවා. පන්දුව ඈත කණුවෙන් දැල ඇතුළට යනවා. පෘතුගාලය ගෝල 1-0යි.

රොනාල්ඩෝ ප්‍රීතියෙන් උද්දාමයට පත්වෙනවා.

මෙයින් සෑහීමකට පත් නොවන FIFA, ගෝල ලාභියා බෲනෝ ෆර්නෑන්ඩස් බවට නිල වශයෙන් ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත්, රූපවාහිනී පුනරූපන නිරීක්ෂණය කිරීමෙන් පසුව පවා රොනාල්ඩෝ පන්දුව ස්පර්ශ කළ බවක් පැහැදිලි වන්නේ නැහැ. හේතුව, පන්දුවේ මඟ කොහෙත්ම වෙනස් නොවීම. පිටියේ සිටින රොනාල්ඩෝ අතින් සංඥා කරමින් පන්දුව තම හිසේ ගෑවී ගිය බව අඟවා සිටිනවා.

රොනාල්ඩෝ ඇත්ත වශයෙන් ම ඔහුගේ හිසකෙස්වල කෙළවරින් පන්දුව ස්පර්ශ කළ බව තහවුරු කිරීමේ අදහසින් පසු දිනයේ සමාජ මාධ්‍යවල රූප සංසරණය වන්නේ “දේව හිසකෙස්” යන සිරස්තලයෙන්. ඒ, මැරඩෝනාගේ ජනප්‍රිය “දේව හස්තය” ගෝලය පදනම් කරගෙන.

හරස් පහරින් එන බෝලවලට මම ඕන තරම් හිස යොදා තිබෙනවා. යාන්තමින් හෝ බෝලෙ ඔළුවෙ ගෑවුනා නම් ඒ බව දැනෙනවා. කණ්ඩායමේ සගයෙකුගෙන් ගෝලයක් හොරකම් කරපු සිද්ධියක් ගැන මම මීට පෙර කවදාවත් අහලා නැහැ,” යනුවෙන් පවසන්නේ හිටපු එංගලන්ත වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙක්, කළමනාකරුවෙක් සහ වර්තමානයේ විශාරද තරග විස්තර නිවේදකයෙකු වන Chris Sutton.

රොනාල්ඩෝ තමා ගෝලය ලබා ගත් බවට අඟවමින් ප්‍රදර්ශනාත්මක සතුටු වීමක නියැළුණු බැවින් ඇත්ත වශයෙන් ම ඒ ගෝලයේ හිමිකරුවා වූ බෲනෝ ෆර්නෑන්ඩස්ට තමන්ගේ පළමු ලෝක කුසලාන ගෝලයේ සතුට භුක්ති විඳීමට තිබූ අවස්ථාව ඔහුගෙන් පැහැර ගැනුණා.

කෙසේ වෙතත්, බෲනෝ මේ සිද්ධිය ගැන තැකීමක් නොකරන බවක් පෙන්නුම් කරන්නේ තරගයෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවක දී කරන ලද ප්‍රකාශයකින්; “ගෝලයට කවුරු අයිතිවාසිකම් කිව්වත් මට කමක් නැහැ. මම සතුටුයි. ඒ ගෝලය පැවරෙන්නේ කාටද කියන එක ඇත්තට ම වැදගත් නැහැ. අපි දිනුවා. එයයි වැදගත්!”

ගුවනේ පැමිණි ෆර්නෑන්ඩස්ගේ පන්දුව වෙත රොනාල්ඩෝ දිව ගියේ නැත්නම් උරුගුවේ ගෝල රකින්නා විසින් එය ඩැහැ ගැනීමට බොහෝ දුරට ඉඩ තිබූ බව ද මෙහි දී අවධානය යොමු කළ යුතු වැදගත් කාරණාවක්. රොනාල්ඩෝගේ චලනය මෙහි දී අත්‍යවශ්‍යයි. නමුත් තමන්‌ගේ නොවන ගෝලයකට තමන්ගේ අයිතිය කියා සිටීමට උත්සාහ නොකළ යුතුයි!” Sutton කියනවා.

මේ අතර රොනාල්ඩෝගේ හැසිරීමෙන් ජර්මන් කණ්ඩායමේ හිටපු මැදපෙළ ක්‍රීඩකයෙකු වන දැන් ජර්මන් පාපන්දු අධ්‍යක්ෂවරයෙකු වන Thomas Hitzlsperger කෝපයට පත්ව සිටිනවා. “යම් ගෝලයක් තමන්ගේ එකක් නොවන හැම අවස්ථාවක දී ම ඔහු තුල අමනාපයක් ඇති වන බවක් පේනවා. මම නම් ගිහින්, ‘යාළුවා, මාර හරස් පාරක්, ගෝල් එක උඹේ, මගේ සුබ පැතුම්’ කියල කියනවා. නමුත් එයාට ඒක කරන්න බැහැ. ඒ නිසා ඒක ලැජ්ජා සහගතයි.”

ජර්මන් ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන Sami Khedira මෙසේ පවසනවා; “රොනාල්ඩෝ සෑම ගෝලයක් වෙනුවෙන් ම සටන් කරනවා. ඔහු ගෝලයක් අත්හරින්නේ නැහැ. එය ඔහුගේ මමත්වය. නමුත් බොහෝ විට ඔහු අද ඉන්න තත්ත්වයට ඔහුව ගෙන ආවේත් එයයි.”

කෙසේ වෙතත්, මේ එක ගෝලය රොනාල්ඩෝට සංඛ්‍යානමය වශයෙන් අදාළ වෙනවා. එය ඔහුගේ 9 වැනි ලෝක කුසලාන ගෝලය වීමට ඉඩ තිබුණේ ඔහු පෘතුගාල වාර්තාවේ තනි හිමිකරුවා බවට පත් කරවමින්. නමුත් ඔහු දැන් ගෝල 8 සිටින්නේ පුරාවෘත්ත පෘතුගාල ක්‍රීඩක Eusebio සමග සම මට්ටමේ පසුවෙමින්.

තරගය අවසන් වූ වහාම රොනාල්ඩෝ තමා සමඟ කලින් මාධ්‍ය සාකච්ඡා පවත්වා ඇති බ්‍රිතාන්‍ය රූපවාහිනී නිවේදකයෙකු වන Piers Morganට ක්‍රීඩක විවේක කාමරයේ සිට කෙටි පණිවිඩයක් යවමින් බෲනෝ ෆර්නෑන්ඩස්ගේ හරස් පහරින් පැමිණි පන්දුව දැල ඇතුළට යාමට පෙර තමාගේ හිසේ ස්පර්ශ වූ බව පවසා තිබෙනවා.

“Piers Morganට කොච්චර පණිවිඩ යැවුවත් ජගත් පාපන්දු සම්මේලනයෙන් මේ ගෝලය නම් ඔහුට ලැබෙන්නේ නැහැ. ඒ වෙලාවේ රොනාල්ඩෝ ඒ ගෝලය ගැන ප්‍රීති වුනේ කණ්ඩායම ගැන හිතලා නෙවෙයි. ඔහු ගැන කල්පනා කරලයි. රොනාල්ඩෝ කටයුතු කරන්නේ රොනාල්ඩෝ වෙනුවෙනුයි,” Chris Sutton වැඩි දුරටත් කියා සිටිනවා.

මතභේදාත්මක ගෝලය ෆර්නෑන්ඩස්ට පිලිගැන්වීමෙන් පසුව ඔහු තරගයේ අවසන් අවස්ථාවල දී පෘතුගාලයට ලැබුණු පැනල්ටි පහරක් ද සාර්ථකව ඉලක්කයට එල්ල කරමින් සිය කණ්ඩායම ගෝල 2-0ක ජයග්‍රහණයක් කරා ගෙන ගියා.

රොනාල්ඩෝගේ අවාසනාවට මෙවර ලෝක කුසලාන තරගාවලියට යොදා ගැනෙන Al Rihla ‘Adidas’ පාපන්දුව ඇතුළේ සංවේදකයක් සවිකර තිබෙනවා. පන්දුව ඔහු පසුකර යන අවස්ථාව පෙන්නුම් කරන්නේ ස්පර්ශයක් නැති සමතලා රේඛාවක් ලෙසින් බවට ග්‍රැෆික් ප්‍රස්තාර තහවුරු කරනවා.

රොනාල්ඩෝ පන්දුව ස්පර්ශ නොකළ බව එම පන්දුව ඇතුලෙන් ලබා ගත් සංවේදකයේ ඉතාමත් උසස් තත්ත්වයෙන් නිරවද්‍ය දත්ත සනාථ කර තිබෙනවා.

FIFA විසින් ගෝලය ෆර්නෑන්ඩස්ට පිරිනමා ඇතත්, එය තමාට ලබා දිය යුතු බව රොනාල්ඩෝ විශ්වාස කළා. නමුත් ‘Adidas’ පැහැදිලිවම සාක්කි ලබා දී තිබෙන්නේ රොනාල්ඩෝගේ හිටපු ‘Man United’ කණ්ඩායම් සගයා වන ෆර්නෑන්ඩස්ට ගෝලයේ නියමාකාර අයිතිය ලැබී ඇති බවට.

Adidas විසින් නිකුත් කරන ලද නිවේදනයක මෙසේ දැක්වෙනවා; “පෘතුගාලය සහ උරුගුවේ අතර පැවති තරගයේ භාවිතා කෙරුණු Adidasගේ Al Rihla නිල තරග පන්දුවේ සවි කර තිබූ පන්දුවට සම්බන්ධ තාක්ෂණය උපයෝගී කර ගැනීමෙන් පසුව අපට ඉතාම පැහැදිලිව පෙන්වීමට හැකි වී තිබෙනවා තරගයේ ආරම්භක ගෝලය සඳහා පන්දුව සමඟ රොනාල්ඩෝගේ කිසිම ස්පර්ශයක් නොතිබුනු බව.”

මේ ගෝලයේ නියම හිමිකරුවා කවුරුන් ද යනුවෙන් ක්‍රීඩාලෝලීන් අතර උභතෝකෝටික ප්‍රශ්නයක් පැන නැගී තිබුනත් Adidas දත්ත විසින් දැන් ඊට පැහැදිලි පිළිතුරක් ලබා දී තිබෙනවා.

ප්‍රයෝගයෙහි දක්ෂ හොරෙන් දඩයම් කරන්නෙකු වන රොනාල්ඩෝ තමන්ට ලබා ගත හැකිව තිබූ ගෝලයක් කණ්ඩායමේ සගයන් විසින් ලබා ගත් විට ජරා මුහුණක් පෙන්නුම් කිරීම හෝ තමාට ගෝල් ලබා ගැනීමට නොහැකි වූ තරගයක් තම කණ්ඩායම ජයග්‍රහණය කරන අයුරු අඳුරු පැහැති මුහුණින් යුතුව බංකුවේ සිට බලා සිටින අයුරු ලෝකයාගේ සියුම් පරික්ෂාවට ලක්ව තිබෙනවා.

සිය දීප්තිමත් ක්‍රීඩා දිවිය තුල තමන්ගේ අවසාන ගෝලීය ප්‍රදර්ශනය වන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දී ‘රත්තරං සපත්තුව’ සම්මානය දිනා ගැනීමේ අපේක්ෂාවෙන් රොනාල්ඩෝ පසුවෙනවා.

මෙවර තරගාවලියේ පෘතුගාල කණ්ඩායමේ ගෝල 3-2ක ආරම්භක ජයග්‍රහණයේ දී ඝානා කණ්ඩායමට එරෙහිව ලබා ගත් පැනල්ටිය මේ තරගාවලියේ රොනාල්ඩෝ මෙතෙක් වාර්තා කර තිබෙන එක ම ගෝලය යි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<