ගෙදර ඉඳන් වැඩ පෙන්නපු දකුණු කොරියානුවන්ගේ “අපකීර්තිමත්” කතාව

2002 Football World Cup Germany

2011

දකුණු කොරියාව විසින් පසුගිය සිකුරාදා (2) පෘතුගාලය පරාජය කිරීමත් සමඟින් මෙවර (2022) පාපන්දු ලෝක කුසලානයේ මීළඟ වටයට (කණ්ඩායම් 16 අතරට) පිවිසීමට සමත් වුනා.

මීට වසර 20කට පෙර, ඒ කියන්නේ 2002 දීත් දකුණු කොරියාව මේ විදිහටම පෘතුගාලය පරාජය කරන්න සමත් වුනා. ඒ විතර නෙවෙයි මේ වතාවේ වගේම කණ්ඩායම් 16 තරග වටයටත් ගියා. අවසානයේ ඔවුන් නතර වුනේ අවසන් පූර්ව වටයෙන්!

එදා ජර්මනිය ඉස්සරහා අවසන් පූර්ව වටයේ දී දකුණු කොරියාව පරාජය වුනත්, ඊට පෙර ඔවුන් ඉතාලිය සහ ස්පාඤ්ඤ කණ්ඩායම් දෙක පිළිමළුන් පිටුදැකීමේ තරගවල දී පරාද කරන්න සමත් වුනා.

මෙන්න මේ තරග දෙක, අදටත් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පැවැත්වුණු මතබේදකාරීම තරග දෙකක් විදිහටයි හඳුන්වන්නේ.

ඒකට හේතුව තමයි ඒ තරග දෙකේ දී ම දකුණු කොරියාවට වාසි වෙන විදිහට ලැබුණු විනිසුරු තීරණ.

මේ හේතුව නිසා අදටත් සමහර පාපන්දු ලෝලීන් දකුණු කොරියානු පාපන්දුවලට වෛර කරනවා.

ඒ තරම්ම වෛර කන්න 2002 දී මොනවද සිද්ධ වුනේ කියලා අපි හොයලා බලමු!

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුල ආසියාතික කණ්ඩායමක් විසින් දක්වපු හොඳම දක්ෂතාවය විදිහටත්, දකුණු කොරියාවේ මේ ලෝක කුසලාන ගමන සටහන් වෙලා තියෙනවා.

2002 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය ලබා දුන්නේ ජපානය සහ දකුණු කොරියාව විසින්.

ලෝක කුසලාන තරග සත්කාරකයින් මූලික වටයෙන් ඉදිරියට යන එක ගොඩක් වෙලාවට වෙන දෙයක්. (ඒක එහෙම නොවුනේ දෙවතාවක දී විතරයි, 2010 දී දකුණු අප්‍රිකාව සහ 2022 දී කටාර්)

2002 දීත්, 2022 වගේම දකුණු කොරියා සහ ජපාන කණ්ඩායම් දෙකම, කණ්ඩායම් 16 තරග වටයට සුදුසුකම් ලබන්න සමත් වුනා.

මූලික වටයේ දී දකුණු කොරියාව විසින් කලින් සඳහන් කළා වගේම පෘතුගාලය ගෝල 1-0ක් විදිහට පරාජය කළා විතරක් නෙවෙයි, පෝලන්ත කණ්ඩායමත් 2-0ක් විදිහට පරාජය කරන්න සමත් වුනා. ඔවුන් ඇමරිකාව එක්ක තිබුණු තරගයත් 1-1ක් විදිහට සම කරගන්න ගමන් මූලික වටයේ එකම තරගයක්වත් පරාජය නොවී ඉන්නත් සමත් වුනා.

ඊට පස්සේ පිළිමළුන් පිටුදැකීමේ තරග වටයේ දී ජපානයේ ලෝක කුසලාන ගමන නම් නතර වුනා, ඒ තුර්කිය හමුවේ ලබපු පරාජයත් එක්ක. (තුර්කියත් 2002 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය තෙක්ම ගියා, අවසානයේ බ්‍රසීලය හමුවේ පරාද වුනා)

ජපාන හීන බොඳ වුනත්, දකුණු කොරියාවේ ගමන නම් නතර වුනේ නැහැ. ඔවුන්ට කණ්ඩායම් 16 තරග වටයේ දී මුණ ගැහෙන්නේ ඉතාලිය. ඉතාලිය කියන්නේ 2002 ලෝක කුසලානය ජයග්‍රහණය කරාවී කියලා සාතිශය බහුතරයක් අනුමාන කරපු රටවලින් එකක්. අන්න ඒ ඉතාලයට සිදු වුනා එදා දකුණු කොරියාව හමුවේ ගෝල 2-1ක් විදිහට පරාද වෙන්න.

තරගයේ පළමු ගෝලය ඉතාලි කණ්ඩායමේ Christian Vieri විසින් තරගයේ 18 වැනි මිනිත්තුවේ දී ලබා ගන්න සමත් වෙනවා. එතැනින් එහාටත් මේ තරගය ඉතාලිය ජයග්‍රහණය කරාවී කියලා තමයි බොහෝ දෙනෙක් තරග අවසානයට ළං වෙන තෙක්ම හිතාගෙන ඉන්න ඇත්තේ.

ඒත් තරගයේ 88 මිනිත්තුවේ දී දකුණු කොරියාවේ Seol Ki-hyeon ලබාගත්තු ගෝලයත් එක්ක 1-1ක් ලෙස තරගය සම වෙනවා, ඒ නිසා අමතර කාලයක් (මිනිත්තු 30) ක්‍රීඩා කරන්න දෙපිලටම සිදු වෙනවා.

මෙන්න මේ අමතර තරග කාලයේ දෙවැනි භාගයේ, ඒ කියන්නේ තරගයේ 117 වැනි මිනිත්තුවේ දී, දකුණු කොරියාවේ Ahn Jung-hwan විසින් තම හිසෙන් ගෝලයක් ලබා ගන්න සමත් වෙනවා. දකුණු කොරියාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

මේ තමයි තරග සාරාංශය.

ඒත් ඒ තරග සාරාංශය ඇතුළේ නොකියවුනා යැයි කියන, අදටත් විදෙස් මාධ්‍ය මගින් (විශේෂයෙන්ම යුරෝපාකරයේ) පුන පුනා ඉස්මතු කරන්න උත්සාහ කරන්න හදන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි,

දකුණු කොරියාවට පක්ෂග්‍රාහී වෙමින් ඉතාලියට එරෙහිව ලැබුණු විනිසුරු තීරණ!

තරගයේ ප්‍රධාන විනිසුරු විදිහට කටයුතු කළේ ඉක්වදෝර් ජාතික Byron Moreno නම් විනිසුරුවරයා. එදා තරගය ඇතුළේ ඉතාලියට එරෙහිව දකුණු කොරියාව අතින් සිදු වුන fouls ගණනාවක් නොදැක්ක දෑසින් හිටියා ය කියන එක තමයි Morenoට අදටත් එල්ල වෙන ප්‍රධානතම චෝදනාව.

මේ අතර Choi Jin-cheul විසින් Gianluca Zambrotta හට පාදයෙන් බාධා එල්ල කිරීම, Kim Tae-youngගේ වැළමිට Alessandro Del Pieroගේ ශරීරයේ වැද්දවීම වගේ සිදුවීම් ගැන තවමත් කතා බහට ලක් වෙනවා.

ඒ වගේම තරගයේ අවසාන භාගයේ දී ඉතාලි ක්‍රීඩක Francesco Totti හට සිය දෙවැනි කහ කාඩ් පත පෙන්වීමත් සමඟින් තරගයෙන් ඉවත් වීමට සිදු වීම (මේ විනිසුරු තීරණය ගැන අදටත් තියෙන්නේ මතබේදකාරී විවාදයක්) සහ Damiano Tommasi විසින් වාර්තා කළ ගෝලයක් offside නීතිය නිසා ගෝලයක් ලෙස පිළිනොගැනීමත් තරග විනිසුරු Moreno පතුරු ගහන්න විශේෂයෙන්ම යුරෝපා මාධ්‍ය යොදාගන්න තුරුම්පු විදිහට සඳහන් කරන්න පුළුවන්.

විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි Morenoගේ මේ විනිසුරු තීරණවලට වැඩියෙන්ම පරළ වුනේ යුරෝපය, ඔවුන් තමයි මේ දේවල් ගැන අදටත් අප්‍රසාදයෙන් කතා කරන්නේ. ඒක එදා ඔවුන් ලබපු අපේක්ෂා භංගත්වය නිසා සිදු වෙන දෙයක් කියලා කෙනෙක්ට තර්ක කරන්නත් පුළුවන්.

කොහොමත් මතබේදකාරී තීරණවල දී මිනිස්සු දෙපැත්තකට බෙදෙනවා, සාධාරණය සහ අසාධාරණය වෙනුවෙන්.

ඒ කොහොම වෙතත් මෙතන දී අපිට අතහැරලා දාන්න බැරි දෙයක් තියෙනවා. ඒ තමයි එදා තරගය විනිශ්චය කරපු Byron Morenoගේ පසු කාලීන වාර්තා ඒ තරම් හොඳ මට්ටමක නොතිබීම.

මේ තරගයෙන් පස්සේ නැවත තමන්ගේ රටට යන Moreno එරට පාපන්දු ලීගයේ තරගයක් වූ  Liga de Quito සහ Barcelona Sporting Club අතර තරගයක් විනිශ්චය කරන්න එකතු වෙනවා.

ඒ තරගයෙන් පස්සේ ඔහුට ඉදිරි තරග විස්සකට තහනමක් පැනවෙනවා.

මොකද එදා තරගයේ දී ඔහු තරගයට නියමිත මිනිත්තු 90න් පස්සේ අතිරේක කාලය විදිහට විනාඩි 06 ලබා දුන්නත්, ඇත්තටම ඔහු එදා විනාඩි 13ක කාලයක් ලබා දීලා තියෙනවා. ඒ අමතර විනාඩි ගණන නිසා පැරදෙන්න හිටපු තරගයක් තවත් ගෝල දෙකක් රැස් කරමින් ගෝල 4-3ක් විදිහට ජයග්‍රහණය කරන්න  Liga de Quito කණ්ඩායම සමත් වෙලා තියෙනවා.

Morenoගේ කතාව තරග තහනමකින් නතර වුනේ නැහැ, අවසානයේ ඔහුගේ කතාව නතර වුනේ බන්ධනාගාරයෙන්. 2010 වසරේ දී ඔහු නිව්යෝක් සිට ඉක්වදෝර් දක්වා හෙරොයින් ප්‍රවාහනය කිරීමේ වරදට මාස 26ක් බන්ධනාගාර ගත වෙනවා.

ඒ තමයි Moreno ගැන අපිට අහන්න ලැබෙන කතාව, ඉතින් එදා දකුණු කොරියානු – ඉතාලි තරගයේ දී ඇත්තටම සිද්ධ වුනේ මොකද්ද කියන්න අපිට අනුමාන කරන්න අමාරුයි.

හැබැයි තරගයෙන් පස්සේ එවකට FIFA සභාපති Sepp Blatter විසින් මේ තරගය ලෝක කුසලාන තරගාවලියකට සුදුසු මට්ටමේ එකක් නොවුනු බව නම් ප්‍රකාශ කරනවා.

“මම ඒ සිදුවීම ගැන ගොඩක් කනගාටු වෙනවා, එකම කණ්ඩායමක් ඉලක්ක කරගෙන එක දිගට වැරදි සිදු වුනා.”

ඉතාලි තරගය ගැන කතාව අවසන් කරන්න කලින් තව පොඩි කට කතාවකුත් සඳහන් කරලාම ස්පාඤ්ඤ තරගයට යන්නම්.

ඉහතින් නම සඳහන් කරපු Sepp Blatterගේ පෞද්ගලික නිලධාරියෙක් සම්බන්ධ වෙලා Morenoව ඉතාලි – කොරියා තරගයේ විනිසුරු විදිහට තෝර ගත්තා කියලා කට කතාවක් තියෙනවා.

මේක කොහේවත් සනාථ වුනු දෙයක් නෙවෙයි, විශේෂයෙන්ම පෙර සඳහන් කළා වගේම සමහර මාධ්‍යවලින් තමයි මේ අදහස අනුමානයක් විදිහට ඉදිරිපත් කරන්නේ.

අර්ධ අවසන් පූර්ව වටයේ දී දකුණු කොරියාව අතින් අනාථ වුනේ ස්පාඤ්ඤ කණ්ඩායම

මේ තරගයත් ඉතාලි තරගය වගේම කතා බහට ලක් වුණු එකක්, නමුත් ඉතාලි තරගය තරම්ම නෙවෙයි.

“හැමෝම ඉතාම හොඳ ගෝල දෙකක් දැක්කා, ස්පාඤ්ඤය දින්නේ නැත්නම් ඒක වුනේ ඔවුන් අපිට දිනන්න ඉඩ නොදුන් නිසා.”

හිටපු ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩකයකු වන Ivan Helguera විසින් කොරියාව සමඟ තරගයෙන් අනතුරුව ඒ විදිහේ ප්‍රකාශයක් කළා.

එදා තරගයේ විනිශ්චය කළේ ඊජිප්තු ජාතික Gamal Ghandour විසින්. ස්පාඤ්ඤයට එදා තරගයේ දී හිමි වුණු ගෝල දෙකම Gamal විසින් නිශ්ප්‍රභ කළ නිසා තරගය අවසන් වුනේ ගෝල වාර්තා නොවුනු තරගයක් විදිහට.

ඒ නිසා තරගයේ ජයග්‍රාහකයා තීරණය කරන්න සිදු වුනේ දඬුවම් පහර මගින්. එතැන දී ගෝල 5-3ක් විදිහට දකුණු කොරියාව විසින් ස්පාඤ්ඤ කණ්ඩායම පරාජය කරන්න සමත් වුනා.

මෙතැන දී ස්පාඤ්ඤය සිය සිව්වැනි දඬුවම් පහර එල්ල කරද්දී, Lee Woon Jae (දකුණු කොරියානු ගෝල රකින්නා) විසින් තමන්ගේ සීමා ඉරෙන් ඉදිරියට ඇවිත් හිටියා කියලත් යම් කතාවක් තියෙනවා.

ඒ වගේම එදා තරගයේ දීත් දකුණු කොරියාව අතින් සිදු වුන fouls වලට ලැබිය යුතු දඬුවම් පහර ලබා නොදුන්නු බවට Gamal Ghandour හටත් චෝදනා එල්ල වුනා.

ස්පාඤ්ඤයත් පරාජය කළායින් පස්සේ දකුණු කොරියාවට අවසන් පූර්ව වටයේ දී මුණ ගැහෙන ජර්මනිය සමඟ තරගය ඔවුන්ට පරාද වෙන්න සිදු වෙනවා.

නමුත් ආසියාතික රටක් විදිහට ඔවුන් ඒ ආපු දුර ගැන ක්‍රීඩකයින්ට වගේම දකුණු කොරියානු පාපාන්දු ලෝලීනුත් අමන්දානන්දයට පත්වුණු බව නම් සැකයක් නැහැ.

මේ කතාවලට අමතරව තවත් පොඩි කතන්දර කිහිපයක්ම තියෙනවා.

තරගාවලියේ මූලික වටයේ දී දකුණු කොරියාව සහ පෘතුගාලය මුණ ගැසුණු  තරගයේ දී පෘතුගාල කණ්ඩායම නියෝජනය කළ Beto සහ Joao Pinto දෙදෙනාට ම රතු කාඩ් පත් ලබලා තරගයෙන් ඉවත් වෙන්න සිදු වෙනවා.

මේ සිදුවීමත් සමහර විදෙස් මාධ්‍ය උලුප්පලා මතු කරන්න උත්සාහ කරද්දී, තවත් සමහර විදෙස් මාධ්‍ය එදා තරගයේ දකුණු කොරියානු දක්ෂතා මතු කරලා පෙන්නන්න උත්සාහ කරනවා.

ස්පාඤ්ඤයට එරෙහි තරගයේ ජය තහවුරු කර ගැනීම

ඒ වගේම එදා කොරියාව හමුවේ තරග පරාජයෙන් ඉතාලියට සිදු වුන බලපෑම තරම්ම බලපෑමක්, ඉතාලියට එරෙහිව ජයග්‍රාහී ගෝලය වාර්තා කළ Ahnටත් ඇති වුනා.

ඔහු ඒ වෙද්දී ක්‍රීඩා කරමින් සිටි ඉතාලියේ Perugia ක්‍රීඩා සමාජයට, එහි හිමිකරු වුණු Luciano Gaucci විසින් තරගයෙන් පස්සේ  Ahnට කියනවා “නැවත කිසිදා මෙහි පය තියන්න එපා” කියලා.

“ඔහු ඉතාලියට එරෙහිව සුපිරි වීරයෙක් වගේ ක්‍රීඩා කළේ, මෙය මගේ ජාත්‍යාලයට ලොකු වේදනාවක් වගේම, වසර දෙකකට පෙර ඔහුට දොර විවර කළ රටට එරෙහිව සිදු කළ අපහාසාත්මක ක්‍රියාවක් විදිහටයි මම සලකන්නේ.

ඉතාලි පාපන්දු විනාශ කල කෙනෙකුට වැටුප් ගෙවීමට මට කිසිම අවශ්‍යතාවක් නැහැ!

නමුත් Gaucci ගත් තීරණය වෙනස් වී ඔහුට මුදල් ගෙවීමට ක්‍රීඩා සමාජය සූදානම් වුවත් Ahn විසින් එය භාර ගෙන නැහැ.

දකුණු කොරියාවේ ලෝක කුසලාන ගමන යුරෝපාකරයට කෙතරම් විසල් බලපෑමක් සිදු කළා ද යන්න තේරුම් ගන්න Gaucci විසින් සිදු කළ මේ ආත්මාර්ථකාමී ප්‍රකාශය පමණක් ප්‍රමාණවත්.

ඒ හේතුව නිසාම අපිට මීට වසර 20කට පෙර සිදු වූ සිදුවීමක් පිළිබඳ නිරවද්‍යම අදහස ලබා ගැනීම තරමක් අසීරු වෙලා තියෙනවා.

මොකද මේ කතාව දෙපැත්තකට බෙදිලා ඉවරයි මීට ගොඩ කාලයකට පෙර සිටම. ඒ නිසා හරි වැරැද්ද පිළිබඳ සිදුවීම්වලට අදාළ පාර්ශවයකින් හෙළි වෙනතෙක්ම එය අනුමාන කිරීම්වලට යටත්ව පවතීවී.

කොහොම වෙතත් දකුණු කොරියාව 2002 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගය තෙක් පැමිණීම පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ “විශාලතම අපකීර්තියක්” විදිහටත් හඳුන්වනවා.

ඒ සිදුවීම අතීතයේ තවත් එක දෙයක් විතරක් වෙලා හමාරයි දැන්, ඔබටත් පුළුවන් තමන් හරි කියලා විශ්වාස කරන පාර්ශවය එක්ක එකතු වෙන්න.

දකුණු කොරියාව ද, එහෙම නැත්නම් ඉතාලිය සහ ස්පාඤ්ඤය ද?

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<