පාපන්දු ඉතිහාසය රනින් ලියන පාපන්දු විනිසුරුවරිය

2006 Football World Cup Germany

496
MADRID, SPAIN - NOVEMBER 02: Referee Stephanie Frappart warms up before prior to the UEFA Champions League group F match between Real Madrid and Celtic FC at Estadio Santiago Bernabeu on November 2, 2022 in Madrid, Spain. (Photo by Berengui/DeFodi Images via Getty Images)

දෙසැම්බර් 02 සිකුරාදා මධ්‍යම රාත්‍රි 12.30ට ආරම්භ වීමට නියමිත ජර්මනිය සහ කොස්ටාරිකාව අතර පාපන්දු තරගයත් සමඟ පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ නවමු වූ පිටුවක් පෙරලීමට නියමිතයි.

එම තරගයේ දී ප්‍රංශ ජාතික පාපන්දු විනිසුරුවරියක් වන Stephanie Frappart විසින් ප්‍රධාන විනිසුරු ධුරයේ කටයුතු කිරීමට නියමිත අතර, එවැන්නක් පිරිමි පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සිදුවන්නේ ප්‍රථම වරටයි.

මෙවර පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් ප්‍රධාන විනිසුරුවන් 36 දෙනෙක් සහ සහය විනිසුරුවන් ලෙස 69 දෙනෙක් FIFA මගින් තෝරා ගෙන තිබෙනවා. එම පිරිස අතරට ප්‍රධාන විනිසුරුවරියන් තිදෙනෙක් සහ සහය විනිසුරුවරියන් තිදෙනෙක් ඇතුළත් වනවා.

2022 පාපන්දු ලෝක කුසලානය සඳහා සහභාගී වන විනිසුරුවරියන්

ප්‍රධාන විනිසුරුවරියන් සහය විනිසුරුවරියන්
Stephanie Frappart (ප්‍රංශය) Neuza Back (බ්‍රසීලය)
Yamashita Yoshimi (ජපානය) Karen Diaz Medina (මෙක්සිකෝව)
Salima Mukansanga (රුවන්ඩාව) Kathryn Nesbitt (ඇමරිකාව)

ඒ අනුව ශ්‍රී ලංකා වෙලාවෙන් දෙසැම්බර් 02 වැනිදා මධ්‍යම රාත්‍රියේ දී පැවැත්වීමට නියමිත ජර්මන්-කොස්ටාරිකාව අතර තරගයේ ප්‍රධාන විනිසුරුවරිය ලෙස Stephanie Frappart කටයුතු කිරීමට නියමිත අතර, ඇයගේ සහය විනිසුරුවරියන් ලෙස Neuza Back සහ Karen Diaz Medina යන අය කටයුතු කිරීමට නියමිතයි.

“එයාලාව තෝරාගත්තේ ඔවුන් කාන්තාවන් කියන සාධකය මත නෙවෙයි, ඔවුන් FIFA විනිසුරුවන් කියන සාධකය මත. ඔවුන්ට ඕනම තරගයක් විනිශ්චය කළ හැකියි.”

මෙවර ලෝක කුසලානය වෙනුවෙන් විනිසුරුවරියන් නම් කිරීමෙන් පසු FIFA විනිසුරු කමිටුවේ සභාපති වන Pierluigi Collina විසින් එම තෝරාගැනීම් පිළිබඳ පවසා තිබුණා.

මෙම විනිසුරුවරියන් අතරින් පළමුවෙන්ම සිය නම පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ලියා තබන්නේ වයස අවුරුදු 38ක් වන ප්‍රංශ ජාතික විනිසුරුවරියක් වන Stephanie Frappart විසිනුයි.

Stephanie Frappart

Stephanie Frappart යනු මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා නම් කළ වඩාත් සුවිශේෂීතම විනිසුරුවරිය බව අවිවාදයෙන් යුතුව සඳහන් කළ හැකියි. ඇය මෙවර මෙන්ම, මීට පෙරද පාපන්දු විනිසුරුවරියක් ලෙස සිය නම ඉතිහාසයේ තැනින් තැන ලියමින් ආ තැනැත්තියක්.

2019 වසරේ සිට නොකඩවා තුන් වතාවක් IFFHS World’s Best Woman Referee (ලොව හොඳම විනිසුරුවරිය) සම්මාන හිමි කරගනිමින් තම වෘත්තීය ජීවිතයේ හිනිපෙත්තේ සිටින Frappart යනු Champions League පාපන්දු තරගයක් මෙහෙයවූ ලොව ප්‍රථම විනිසුරුවරිය බවට ද 2020 වසරේ පත් වුනා.

මීට අමතරව ඇය European Super Cup තරගාවලියේ තරගයක් විනිශ්චය කළ පළමු විනිසුරුවරිය බවට ද පත් වන්නේ 2019 වර්ෂයේ දී Liverpool සහ Chelsea අතර තරගයක් විනිශ්චය කරමිනුයි.

එමෙන්ම ඇය නිල වශයෙන් (ප්‍රධාන විනිසුරු ලෙස) සිකුරාදා පාපන්දු පිටියට පිවිසීමට නියමිත වුනත්, මෙවර ලෝක කුසලානයේ මෙක්සිකෝව සහ පෝලන්තය අතර තරගයේ සිව්වැනි විනිසුරු ලෙස නම් කිරීමත් සමඟින් පිරිමි පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමු කාන්තා නිළධාරිණිය වීමට අවස්ථාව හිමි කරගත්තා.

“පිරිමි පාපන්දු ලෝක කුසලානය තමයි ලෝකයේ පැවැත්වෙන වඩාත් වැදගත්ම ක්‍රීඩා ඉසව්ව වෙන්නේ, මම තමයි ප්‍රංශයේ ප්‍රථම විනිසුරුවරිය වෙන්නේ. මම දන්නවා කොහොමද මේකෙ දී ගනුදෙනු කරන්න ඕන කියලා.

අපි දන්නවා පීඩනය මොන වගේ ද කියන්න, නමුත් මම හිතන්නේ නැහැ අපි වෙනස් විය යුතුයි කියලා. සංසුන්ව අවධානය යොමුකරගෙන සිටිය යුතුයි. මාධ්‍ය සහ අනිත් දේවල් ගැන අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ. අවධානය දෙන්න ඕන ක්‍රීඩා පිටියට.

මම මගේ විනිසුරු දිවිය පටන් ගත්තු දවසේ ඉඳන්ම මට හැම කණ්ඩායමකින්ම, ක්‍රීඩකයෙක් ගෙන්ම සහයෝගය ලැබුණා, මාව හැමතිස්සෙම ක්‍රීඩාංගණ වෙත හොඳින් පිළිගත්තා. ඒ නිසා අනිත් විනිසුරුවන්ට දැනෙන දේමයි මටත් ක්‍රීඩාංගණයේ දී දැනුණේ.”

තමන්ගේ විනිසුරු දිවියේ අත්දැකීම් වගේම මෙවර ලෝක කුසලානය සමග එකතු වෙන්න ලැබීම පිළිබඳවත් ඇය එසේ අදහස් දක්වලා තිබුණා.

ඒ අතරම ඇය විශේෂයෙන්ම සදහන් කරපු දෙයක් තමයි මේ වගේ රටක පැවැත්වෙන ලෝක කුසලානයකට විනිසුරුවරියන්ව තෝරා ගැනීම FIFA මගින් තැබූ හොඳ පියවරක් බවයි.

Yamashita Yoshimi

2019 වර්ෂයේ පැවති කාන්තා පාපන්දු ලෝක කුසලානයේ ද විනිසුරුවරියක් ලෙසින් කටයුතු කළ Yamashita මෙවර පිට පිට දෙවැනි වරටත් පාපන්දු ලෝක කුසලානයක විනිසුරුවරියක් ලෙස සහභාගී වනවා.  එමෙන්ම ඇය 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ද විනිසුරුවරියක් ලෙස කටයුතු කළා.

“මැද පෙරදිග රටවල විනිසුරුවරියන් දැකගන්න ලැබෙන්නේ ඉතාම අඩුවෙන්, ඒ නිසා මම මේ වෙනසට ගොඩක් කැමතියි. තව අයට මෙය වෘත්තියක් විදිහට තෝරාගන්න උත්ප්‍රේණයක් වේවි.

ඉතිහාසයේ ප්‍රථම වරට පිරිමි ලෝක කුසලානයක කාන්තා විනිසුරුවරියන් සිටීම කාන්තාවන්ට කල හැකි දේ පිළිබඳ ලෝකයට හොඳ සංඥාවක් වේවි කියලා මම විශ්වාස කරනවා.”

තමන් ලද අවස්ථාව පිළිබඳ බලාපොරොත්තු සගහතව අදහස් පල කර Yamashita විසින් එසේ පවසා තිබුණා.

Salima Mukansangaරුවන්ඩා ජාතික Salima Mukansanga විසින් 2012 වසරේ සිට FIFA හී විනිසුරුවරියක් ලෙස කටයුතු කරනවා.

තමන්ගේ ළමා කාලයේ දී පැසිපන්දු ක්‍රීඩිකාවක් වීමට සිහින මැවූ බවයි ඇය පවසන්නේ.

“මම ඉස්සර පැසිපන්දු ක්‍රීඩිකාවක් වෙන්න ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියා, නමුත් ඒ සඳහා අවශ්‍ය වුණු යටිතල පහසුකම් එක්ක පෑහෙන්න මට බැරි වුනා. මම අවසානයේ නතර වුනේ විනිසුරුවරියක් වෙලා. නමුත් මට ඒ ගැන කිසිම විදිහක පසු තැවීමක් නැහැ.”

ඇයත් Yamashita සමඟ 2019 කාන්තා පාපන්දු ලෝක කුසලානයේ මෙන්ම, 2020 ඔලිම්පික් උළෙලේ ද විනිසුරුවරියක් ලෙස කටයුතු කළා.

සහය විනිසුරුවරියන්

වමේ සිට පිළිවෙළින් – Kathryn Nesbitt ,Neuza Back සහ Karen Diaz Medina

සහය විනිසුරුවරියන් අතර සිටින Karen Diaz Medina විසින් අහම්බයෙන් මෙම විනිසුරු දිවිය ආරම්භ කර ඇති අතර, සිය වෘත්තීය දිවිය දිනෙන් දින ගෙවී යද්දී තමන් මෙම රැකියාවට වඩාත් ආදරය කරන්න පටන් ගත් බව ඇය පවසනවා.

බ්‍රසීලය නියෝජනය කරමින් කටාර් එන 37 වියැති Neuza Back හට තමන් මෙවර ලෝක කුසලානය වෙනුවෙන් තෝරාගනීවි යැයි කිසිදු බලාපොරොත්තුවක් නොතිබූ අතර, ඇය ඒ බව දැනගන්නේ මාධ්‍ය මගින් ප්‍රවෘත්තියක් ලෙස ප්‍රචාරය කරද්දීයී.

මෙම විනිසුරුවරියන් හය දෙනා අතරින්ම වඩාත් සිත් ඇදගන්නාසුළු පසුම්බි කතාවේ අයිතිය ඇමරිකාවෙන් කටාර් එන Kathryn Nesbitt  සතු වනවා.

ඇය 2019 වර්ෂය වන තෙක් රසායන විද්‍යා මහාචාර්‍යවරියක් ලෙස සිය වෘත්තිය ජීවිතය ගෙවනා අතරේ අමතර රැකියාවක් ලෙස පාපන්දු විනිසුරුවරියක් ලෙස කටයුතු කර තිබුණා. නමුත් 2019 කාන්තා පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමත් සමඟින් ඇය සිය ජීවිතයේ වඩාත් වැදගත්ම තීරණයක් ගනිමින් රසායන විද්‍යාවට ඉහළින් පාපන්දුව තැබීමට තීරණය කළා.

මෙහි සඳහන් කළ යුතු වඩාත් වැදගත්ම කාරණය වන්නේ මෙම තෝරා ගැනීම්වල දී කාන්තා පිරිමි භේදයකින් තොරව එකම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගී වීමට සිදු වීමයි. ඒ අනුව ඉහතින් නම් සඳහන් කර ඇති සියලුම විනිසුරුවරියන් එම පරීක්ෂණයෙන් සමත් වීමෙන් පසු මෙම තෝරාගැනීම් සිදු කර තිබෙනවා.

මේ අනුව ලබන සිකුරාදා පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ඉතා සුවිශේෂී දිනයක් වනු ඇති අතර එහි දී Stephanie Frappart විසින් පිරිමි පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ කාන්තා සහභාගී වීමේ සංධිස්ථානයක් තමන්ගේ නමින් ලියනු ඇත. එමෙන්ම ඒ මොහොතේ දීත් ඇගේ සහයට Neuza Back  සහ Karen Diaz Medina යන විනිසුරුවරියන් දෙදෙනා ද පසෙකින් හිඳිනු ඇත.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

FIFA සහ Olympics වෙබ් පිටු ඇසුරිනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<