විජයග්‍රහණයකට සැරසෙන ප්‍රබල නාවිකයෝ

435

පසුගිය ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනූ නාවික හමුදා රග්බි කණ්ඩායම, මෙවර ද ඩයලොග් ලීග් රග්බි තරගාවලියට තරග වදින කණ්ඩායම්වලට ප්‍රබල අභියෝගයක් වනු ඇත. 2017/2018 තරග වාරය සඳහා තරග කරන නාවික හමුදා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ‘Flanker‘ ක්‍රීඩක ධනුෂ්ක පෙරේරා හට හිමි වී ඇත.

අතීතයෙන් බිඳක්

වර්ෂ 1961 දී ආරම්භ කරන ලද නාවික හමුදා ක්‍රීඩා සමාජය, ආරම්භයේ සිටම ඉතා ප්‍රබල කණ්ඩායමක් විය. අවස්ථා කිහිපයක දී ම ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔවුන් සමත්වුවත්, ඒවා ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වූයේ නැත.

2009 වසරේ දී මහනුවර රග්බි කණ්ඩායමේ අපරාජිත තරග වාර්තාව ලකුණු 12-13ක් ලෙස බිඳ දමමින් නාවික හමුදාව, අනෙක් කණ්ඩායම් අතර ඉතා ප්‍රබල තත්වයකට පත්වූ අතර එහි අග්‍රඵලය ලෙස 2013/2014 තරග වාරයේ ලීග් කිරුළ මෙන්ම ක්ලිෆර්ඩ් කුසලානය ද දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තරගාවලි දෙකම ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් විය.

පසුගිය තරග වාරය

ඉතා හොඳ ක්‍රීඩා වාරයක් සටහන් කරමින් 2016/2017 තරග වාරයේ දී නාවික හමුදා කණ්ඩායම, ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දිනා ගන්නට සමත් විය. ක්‍රීඩා කළ තරග 14න් තරග 10ක් ජය ගත් ඔවුන්, ප්‍රසාද ලකුණු 57ක් සමඟින් තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ දුලංජන් විජේසිංහ උත්සාහක දිනුම් 11ක් ලබා ගනිමින් වැඩිම උත්සාහක දිනුම් ලාභීන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත් වූ අතර තිළිණ වීරසිංහ ලකුණු 154ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

නව තරග වාරයේ කැපී පෙනෙන මුහුණු

නවක කණ්ඩායමක් සමඟින් මෙවර නාවික හමුදා කණ්ඩායම පිටියට පිවිසෙන අතර පළපුරුදු දක්ෂ පුහුණුකරුවෙකු වන මොතිලාල් ජයතිලක මහතා හට කණ්ඩායම පුහුණු කිරීමේ කාර්යය හිමි ව තිබේ. පසුගිය තරග වාරයේ ද කණ්ඩායම පුහුණු කිරීමේ වරම ඔහුට හිමිව තිබූ අතර නාවික හමුදා කණ්ඩායම තෙවැනි ස්ථානය දිනා ගනිමින් සාර්ථකව තරග වාරය නිමා කළ නිසා මෙවර කිරුළ දිනා ගැනීම සඳහා ද ඔවුන්ගේ බලාපොරොත්තු ඉතා ඉහළ මට්ටමක පවතී.

ප්‍රබල ක්‍රීඩකයින් වන ලී කීගල් ,සත්‍ය රණතුංග, හෂාන් මධුරංග වැනි ක්‍රීඩකයින් මෙවර නාවික හමුදා පිලෙන් වෙනත් කණ්ඩායම්වලට මාරු වීම නිසා නවක ක්‍රීඩකයින් හට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත. ඔවුන්ගෙන් හිස්වන ස්ථානවල අඩුව පිරවීමට ජ්‍යෙෂ්ඨ මෙන්ම නවක ක්‍රීඩකයින්ට ද එතරම් පහසු නොවනු ඇත. පසුගිය තරග වාරයේ වැඩිම උත්සාහක දිනුම් ලබාගත් ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානයට පත්වූ දුලංජන විජේසිංහ කණ්ඩායමේ ඉතා ප්‍රබල මුහුණක් වනු ඇත.

තවද ඉතා අඩු වයසකින් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලද ලහිරු හේරත් ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරමින් කණ්ඩායමට ප්‍රබල සවියක් වනු ඇත. ලී කීගල් CH & FC කණ්ඩායමට මාරු වීමත් සමඟ ඇති වූ හිඩැස පිරවීමට ලහිරු හේරත් හට මෙය ඉතා හොඳ අවස්ථාවකි.

කණ්ඩායම මෙහෙයවන ධනුෂ්ක පෙරේරා ද මෙවර තරග වාරයේ කණ්ඩායමේ ඉතා ප්‍රබල මුහුණක් වනු ඇත. නවක කණ්ඩායම එකමුතු කර ගනිමින් ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙයවීම ඔහුට භාර වී ඇති අභියෝගයයි.

පොලිස් පිලෙන් එන ප්‍රබලයෝ

පසුගිය තරග වාරයේ පොලිස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කළ ප්‍රබල මුහුණු දෙකක් මෙවර නාවික හමුදා පිලට එක්වීමට නියමිතයි. ’Center’ ස්ථානයේ ක්‍රීඩා කරන මුෂින් ෆලීල් මෙවර නාවික හමුදා පිලට ප්‍රබල සවියක් වනු ඇත.

‘Wing/ Scrum Half/ Full back‘ වැනි ස්ථාන කිහිපයකම ක්‍රීඩා කිරීමට දස්කම් ඇති මොහොමඩ් අබ්සාල් මෙවර නාවික හමුදා පිලට එක්වන තවත් ක්‍රීඩකයෙකි. ඉතා වේගවත් ක්‍රීඩකයෙකු වන මොහු පසුගිය තරග වාරයේ උත්සාහක දිනුම් දෙකක් ද වාර්තා කිරීමට සමත් විය. පොලිස් ක්‍රීඩා සමාජය එතරම් දස්කම් දැක්වීමට ගියවර අසමත් වූ හෙයින් මෙම ක්‍රීඩකයින්ගේ දස්කම් එතරම් කැපී නොපෙනුනත් නාවික හමුදාව යටතේ ඉතා හොඳින් ක්‍රීඩා කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇත.

බලාපොරොත්තුව

ගියවර මෙන් නොව මෙවර ඩයලොග් රග්බි ලීග් තරගාවලිය ඉතා තරගකාරී ස්වරූපයක් ගනු ඇත. නාවික හමුදා පිලේ ලී කීගල්, සත්‍ය රණතුංග, හෂාන් මධුරංග වැනි ප්‍රබල  ක්‍රීඩකයින්ගේ නික්මයාමත් සමඟ නවකයින්ට දැඩි අභියෝගයක් එල්ල වනු ඇත. ගියවර තෙවන ස්ථානයෙන් මිදී  ඩයලොග් ලීග් කිරුළ දිනා ගැනීම ඔවුන්ගේ ඒකායන අභියෝගයයි.

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<

2017/18 – Navy SC රග්බි සංචිතය

[a-team-showcase-vc ats_team_id=”2209235″]