“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – මොරොක්කෝ තරුව සනසමින් Mbappeගෙන් ප්‍රශංසා

FIFA World Cup 2022

1482

ප්‍රංශයේ සුපිරි පාපන්දු ක්‍රීඩක Kylian Mbappe මොරොක්කෝවට එරෙහිව ප්‍රංශය ලැබූ ලෝක කුසලාන පාපන්දු අවසන් පූර්ව ජයග්‍රහණය පිළිබඳව ප්‍රීති ප්‍රමෝදයට පත්ව සිටියත් තරගය අවසන් වූ වහාම ඔහුගේ හොඳ මිතුරෙකු මෙන්ම තමාගේ Paris Saint-Germain සමාජ කණ්ඩායම් සගයා ද වන Achraf Hakimi සනසාලීමට උත්සුක වුනා.

ප්‍රංශය හමුවේ ලැබූ ගෝල 2-0ක පරාජයත් සමඟ මොරොක්කෝවේ ලෝක කුසලාන සිහින චාරිකාව අවසන් වූ අතර ප්‍රංශය ලෝක කුසලාන තරගාවලි හතක දී සිව්වැනි වතාවටත් අවසාන තරගයකට පිවිසීමට සමත් වුනා.

තරගයේ නිමාව හඟවන විසිල් නාදයෙන් පසුව Mbappe අප්‍රිකානු කණ්ඩායමේ වාර්තාගත ලෝක කුසලාන මෙහෙයුමේ ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කළ මොරොක්කානු තරුව වන Hakimi වෙත ගියේ පරාජයේ වේදනාවෙන් පෙළෙමින් සිටි ඔහු සැනසීමට.

දෙදෙනා සිප වැළඳ ගැනීමෙන් පසුව එකිනෙකා ඔවුන්ගේ කමිස හුවමාරු කර ගත්තා.

Mbappe පසුව tweet සටහනක් තබමින් ඉතිහාසය නිර්මාණය කිරීම පිළිබඳව Hakimiට ප්‍රශංසා කළේ සැවොම ඔහු ගැන ආඩම්බර වන බව ද සඳහන් කරමින්.

“දුක් වෙන්න එපා සහෝදරයා, ඔබ කළ දේ ගැන හැම දෙනාට ම ආඩම්බරයි. ඔබ ඉතිහාසය නිර්මාණය කළා,!” යනුවෙන් Mbappe tweet කර තිබුණා.

මේ තරගයේ දී ප්‍රංශය වාර්තා කළ ගෝල දෙකට ම Mbappe දායක වුනා. ඔහු මේ තරගාවලියේ දැනට ගෝල පහක් ලබා ගෙන සිටිනවා.

ප්‍රංශය ඔවුන්ගේ පිට පිට දෙවැනි ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තරගය කරා ගෙන යාමට මං විවර වූයේ Theo Hernandez මොරොක්කෝවට එරෙහිව ලබා ගත් ගෝලයෙන්.

එහෙත් මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගතවෙද්දී ඔහුගේ සොහොයුරා ආබාධයකට ලක් නොවුනා නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා.

ඕස්ට්‍රේලියාවට එරෙහි ගෝල 4-1ක ප්‍රංශයේ ආරම්භක ජයග්‍රහණයේ දී Lucas Hernandez ආබාධයකට ලක්වූයේ මේ Bayern Munich සමාජ කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයාට මාස ගණනාවක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදු වෙමින්.

මේ ආබාධය පැමිණියේ Ballon d’Or ජයග්‍රාහක Karim Benzema කලවේ ආබාධයකට ලක්ව ප්‍රංශ කණ්ඩායමට අහිමි වී දින කිහිපයකට පසුව. ඒ වන විටත් ප්‍රංශ පුහුණුකරු Didier Deschampsට ඔහුගේ පළමු මැදපෙළ ක්‍රීඩක කැමැත්ත වන Paul Pogba සහ N’Golo Kante අහිමි වී තිබුණා.

Lucas Hernandez ප්‍රංශයේ 2018 ලෝක කුසලාන ජයග්‍රාහී මෙහෙයුමේ සෑම තරගයක්ම ආරම්භ කරද්දී Theo ඔහුගේ සහෝදරයාට වඩා වම් පැත්තේ පසුපෙළ ස්ථානයට ස්වභාවයෙන් ම ගැළපෙන ක්‍රීඩකයෙක්. ඔහු වෘත්තියෙන් වම් පෙදෙසේ මැදපෙළ ආරක්ෂක ක්‍රීඩකයෙක්.

තරග වාරයක Serie A කණ්ඩායමේ කෙනෙකු වශයෙන් එක දිගට තෙවතාවක් තෝරා ගැනුණු Theo Hernandez ක්‍රීඩකයා Serie A ශූරතාව හිමිකර ගැනීම සඳහා AC Milan කණ්ඩායමට තිබූ වසර 11ක නියඟය පසුගිය තරග වාරයේ දී අවසන් කිරීමට උපකාරී වුනා.

ප්‍රංශ කණ්ඩායමේ වම් පෙදෙසේ Kylian Mbappeට පිටුපසින් ක්‍රීඩා කරන ඔහු කණ්ඩායමේ ආක්‍රමණික ක්‍රීඩාවට අමතර ශක්තියක් ලබා දී තිබෙන්නේ මෙවර තරගාවලියේ මූලික වටයේ දී දෙවතාවක් ගෝල ලබා ගැනීමට සහාය වෙමින්. නමුත් සමහර අවස්ථාවල දී ඔහු ආරක්ෂක ක්‍රීඩකයෙකු ලෙසින් ද දස්කම් ප්‍රදර්ශනය කර තිබෙනවා.

වරක් ස්පාඤ්ඤය වෙනුවෙන් ක්‍රීඩා කිරීම පිළිබඳව සලකා බලමින් සිටි 25 හැවිරිදි Theo 2021 වසරේ සැප්තැම්බරය වන තෙක් ම ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා නොකළත් තමා ක්‍රීඩා කළ දෙවැනි තරගයේ දී ම ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට ඔහු සමත් වුනා.

ප්‍රංශ කණ්ඩායමට එන යන ක්‍රීඩකයෙකු බවට පත්ව සිටි ඔහු කටාර් 2022 තරග බිමේ දී කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් උපයා ගත්තේ සිය සොහොයුරාගේ අවාසනාව හේතුවෙන්.

ලෝක පාපන්දු කුසලානය සාර්ථකව පිට පිට ජයග්‍රහණය කරන වසර 60කින් පසුව පළමු කණ්ඩායම බවට පත්වීමට ප්‍රංශයට දැන් අවස්ථාව උදා වී තිබෙනවා.

තරගය ජය ගැනීමට හැකි වීම ගැන මට ආඩම්බරයි. ඊටත්, ඒ ගෝලය ලබා ගැනීමට හැකි වීම මගේ ක්‍රීඩා දිවියේ ආඩම්බරය ගෙන දෙන මොහොතක්,” යැයි Hernandez පවසනවා. “එක දිගට ලෝක කුසලාන පාපන්දු අවසාන තරග දෙකකට ක්‍රීඩා කරන්න ලැබීම විශිෂ්ටයි. අපි ඉතාමත් හොඳ ක්‍රීඩාවක් කර තිබෙනවා.”

නමුත් ඔහුගේ කාර්යය වඩාත් අසීරු වෙමින් තිබෙන්නේ Lionel Messi සහ ආජන්ටිනාව මේ ඉරිදා ඔවුන් දඩයම් කිරීමට සූදානම් වී සිටින බැවින්.

එය ඉතා ලොකු තරගයක්. අවසාන තරගය ජය ගන්න අපි ගොඩක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා,” යනුවෙන් Hernandez ප්‍රකාශ කළේ මියුනික් හි සිට තරගය නරඹන ඔහුගේ සොහොයුරා තරගයෙන් පසුව තමාට සුබ පතන්න කතා කළ බව අනාවරණය කරමින්.

වඩාත් ම වැදගත් කරුණ වන්නේ ඊළඟ දවස් හතරේ නැවත ප්‍රකෘති ස්වභාවයට පැමිණ අවසාන තරගයට සූදානම් වීමයි. ආජන්ටිනාව කියන්නේ මෙසී පමණක් ම නෙවෙයි. ඔවුන් සතුව දක්ෂ ක්‍රීඩකයන් බොහොමයක් සිටිනවා. ඔවුන් විශිෂ්ට කණ්ඩායමක්.”

මේ අතර ප්‍රංශය තවත් ලෝක කුසලාන පාපන්දු අවසාන තරගයකට ගෙන යමින් මොරොක්කෝවට එරෙහිව ලැබූ ජයග්‍රහණයෙන් තමා අප්‍රමාණ ආඩම්බරයකට පත්ව සිටින බව පවසන ප්‍රංශ පුහුණුකරු Didier Deschamps, ආජන්ටිනාව වෙනුවෙන් දිස්න ගහන දක්ෂතාවකින් සිටින මෙසී මෙල්ල කර ඔහු වළක්වා ගැනීමේ ක්‍රමයක් සොයා ගැනීමට තම කණ්ඩායම උත්සාහ කරනු ඇතැයි ප්‍රකාශ කරනවා.

මට හරි ම ආඩම්බරයි. අවසාන තරගයට පිවිසෙන්න ලැබීම හරි ම විශිෂ්ටයි. නමුත් එය පහසු ජයග්‍රහණයක් වුනේ නැහැ,” යැයි Deschamps පැවසුවේ Al Bayt ක්‍රීඩාංගණයේ දී Theo Hernandez කලින් ම ලබා ගත් ගෝලය සහ ආදේශ ක්‍රීඩක Randal Kolo Muaniගෙන් ප්‍රමාද වී ලැබුණු ගෝලයෙන් එදාමෙදාතුර ලෝක කුසලාන පාපන්දු අවසන් පූර්ව තරගයකට පිවිසි පළමු අප්‍රිකානු හෝ අරාබි කණ්ඩායම පරාජය කිරීමෙන් පසුව.

“අපට උසස් තත්ත්වය, පළපුරුද්ද සහ කණ්ඩායම් ජීවයේ මිශ්‍රණයක් අවශ්‍ය වුනා. අසීරු අවස්ථාවන් හිදී අපට මේ කණ්ඩායම සොයා ගැනීම සඳහා ගැඹුරට යන්න සිද්ධ වුනා. නමුත් මම මගේ ක්‍රීඩකයන් ගැන ඇත්තෙන්ම පැහැදිලා ඉන්නේ. ඔවුන් ගැන මට හරි ආඩම්බරයි” Deschamps අවධාරණය කරනවා.

මෙසී විසින් අවසාන තරගය දක්වා නිර්මාණාත්මක ක්‍රීඩාවකට ප්‍රබෝධමත් කරවා තිබෙන ආජන්ටිනා කණ්ඩායමකට මුහුණ දීම පිණිස ලෝක පාපන්දු කුසලානය රැක ගැනීමේ ශූරයින් වන ප්‍රංශය දැන් හොඳින් සූදානම් විය යුත්තේ මීට සිව් වසරකට පෙර අවසාන කණ්ඩායම් 16 දෙනාගේ වටයේ දී මේ කණ්ඩායම් දෙක මුණගැසුනු අවස්ථාවේ දී ලැබූ ගෝල 4-3 පරාජයේ පලිය ගැනීමට මෙසී මාන බලමින් සිටින නිසාවෙන්.

මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ සිට ම මෙසී ඉතාමත් ම දීප්තිමත් දක්ෂතා මට්ටමක සිටින බව Deschamps පිලිගනියි.

ඔහු ඉතාමත් හොඳ තත්ත්වයක ඉන්නවා. ඇත්තෙන්ම ඔහු අද ලෝකයේ සිටින අතිදක්ෂ ම ක්‍රීඩකයෙක්. ඒ නිසා අපට හැකි පමණින් මෙසීගේ අභියෝගය නතර කරන්න අපි උත්සාහ කරනවා. ආජන්ටිනාවත් මගේ සමහර ක්‍රීඩකයන්ගෙන් එල්ල වන බලපෑම නතර කරන්න උත්සාහ කරාවි.”

එළඹෙන ඉරිදා ලුසේල් ක්‍රීඩාංගණයේ දී ආජන්ටිනාව පැරදවීමට සමත් වුවහොත් 1958 සහ 1962 වසරවල බ්‍රසීලයෙන් පසුව ලෝක පාපන්දු කුසලානය රැක ගන්නා පළමු කණ්ඩායම බවට ප්‍රංශය පත්වනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<