ගුරුකුල විද්‍යාලයට ඉණිමක ජයක්

299
U19 Schools Cricket

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ගුරුකුල විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර පැවති තරගයේ අවසන් දිනය හා ආනන්ද විද්‍යාලය හා මහානාම විද්‍යාලය අතර පැවති තරගයේ පළමු දිනය අදින් (20) නිමාවට පත්විය. අද අවසන් වූ තරගයෙන් කැළණිය ගුරුකුල විද්‍යාලය ඉණිමක හා ලකුණු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: රඹුක්වැල්ල බදුරලියේ පළමු ඉණිමට තිත තබයි

කැළණිය ගුරුකුල විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය මහර බන්ධනාගාර පිටියේදී ඊයේ (19) ආරම්භ වූ අතර, කාසියේ වාසිය ජයග්‍රහණය කල ගුරුකුල විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

ගුරුකුල විද්‍යාලයේ පළමු ඉණිම වෙනුවෙන් විශිෂ්ට අර්ධ ශතකයක් ලබාගත් ලචින්දු අරෝශ් ලකුණු 86ක් ලබාගනිමින් පළමු ඉණිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අතර, සෙවුර නයනතරු මනරම් පහර කිහිපයක් සමඟින් තවත් ලකුණු 42ක් ගුරුකුල විද්‍යාලයේ පළමු ඉණිමට එකතු කරන ලදි. කාවින්ද පෙරේරා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් ගුරුකුල විද්‍යාලයේ කඩුලු 3ක් ලකුණු 48කට දවාගන්නා ලදි. අවසානයේ ගුරුකුල විද්‍යාලයේ පළමු ඉණිම ලකුණු 240ක් ලෙස සනිටුහන් වන විට ඔවුන් තම පළමු ඉණිම අත්හිටුවීමට තීරණය කරන ලදි.

අනතුරුව තම පිළිතුරු ඉණිම දියත් කල ජනාධිපති විද්‍යාලයට සියලු දෙනාම දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 95ක් පමණි. එහිදී ඩිල්ශාන් සිගේරා ලකුණු 26ක් ලබා ගත් අතර, පන්දු යැවීමේදී ප්‍රවීන් නිමේෂ් ලකුණු 41ක් තුළ කඩුලු 5ක් දවාගනිමින් දස්කම් දක්වන ලදි.

ගුරුකුල විද්‍යාලයේ පළමු ඉණිමට සාපේක්ෂව ජනාධිපති විද්‍යාලය තම පළමු ඉණිමට ලබාගත් ලකුණු ප්‍රමාණය ප්‍රමාණවත් නොවූ නිසා නැවතත් ඔවුන් තම දෙවන ඉණිම ආරම්භ කල අතර එම ඉණිම ද ලකුණු 138කට පමණක් සීමා කිරීමට උදාර රවිදු ඇතුළු ගුරුකුල ක්‍රීඩකයින් සමත් විය.

ගුරුකුල විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 240 dec (පන්දුවාර 75): ලචින්දු අරෝශ් 84, සෙවුර නයනතරැ 42, උදාර රවිදු 39, රොශාන් මලිත් 22*, කාවින්ද පෙර්රා 3/48, ප්‍රමුඛ ගයාෂාන් 3/53, මොහොමඩ් රිෆාස් 2/42

ජනාධිපති විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 95 (පන්දුවාර 29.5): ඩිල්ශාන් සිගේරා 26, ප්‍රවීන් නිමේෂ් 5/41, මලිදු විදුරංග 4/39

ජනාධිපති විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 138 (F/O)  (පන්දුවාර 43.1): ඩිල්ශාන් සිගේරා 28, ගනිදු දෙව්මින 27, උදාර රවිදු 4/32, නුවන් චානක 3/22


කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය අතර තරඟය

B කාණ්ඩයේ තරඟයක් ලෙස බ්ලුම්ෆීල්ඩ් පිටියේදී අද (20) ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල ආනන්ද විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. දිනය අවසන් වන විට මහානාම විද්‍යාලය තම පළමු ඉණිමට කඩුලු 3ක් දැවී ලකුණු 124ක් ලබාගෙන සිටියි.

එම තීරණය සමඟින් පිටියට පැමිණි ආනන්ද විද්‍යාලය මුල සිටම පිටියේ ස්වභාවය අවබෝධ කරගෙන පන්දුවට පහර දුන් අතර, ආනන්ද පිතිකරුවන් ලකුණු 217කට තම පළමු ඉණිම සීමා කරගන්නා ලදි. එම තරඟකාරී ලකුණු මට්ටම ලබා ගැනීමට සහන් සුරවීර 4 පහර කිහිපයක්ම එල්ල කරමින් තම අර්ධ ශතකය පළමු ඉණිම වෙනුවෙන් දායක කල අතර ඔහු ලකුණු 55කට දැවීයන ලදි. සම්මු අශාන් ද සහන් සුරවීරට නොදෙවෙනි ඉණිමක් දියත් කරමින් තවත් අර්ධ ශතකයක් ආනන්ද විද්‍යාලයේ ලකුණු පුවරුවට එකතු කරන ලදි. මහානාම විද්‍යාලය වෙනුවෙන් අශාන් පියුමාල් ලකුණු 40කට කඩුලු 2ක් දවාගන්නා ලදි.

සන්ධ්‍යා කාලයේ දී තම පළමු ඉණිම ආරම්භ කල මහානාම විද්‍යාලය වෙනුවෙන් පළමු දිනය අවසන් වන විට වැඩිම ලකුණු ලාභියා වීමට කවිදු මුණසිංහ සමත් වූ අතර ඔහු ලකුණු 48ක් ලබාගෙන තම අර්ධ ශතකය පෙනෙන මානයේ තිබියදී අවාසනාවන්ත ලෙස දැවීයන ලදි. දිනය අවසන් වන විට මහානාම විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 124ක් ලබාගෙන යම් ස්ථාවර මට්මක පසුවන අතර, නොදැවී කඩුල්ලේ රැදී සිටින මලිදු මදුරංග ලකුණු 44*ක් ලබාගෙන තම අර්ධ ශතකය ආසන්නයේ රැදී සිටියි.

ආනන්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 217 (පන්දුවාර 58): සහන් සුරවීර 55, සම්මු අශාන් 50, අශාන් පියුමාල් 2/40, මහේල ද සිල්වා 2/44

මහානාම විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 3ක් දැවී ලකුණු 124 (පන්දුවාර 47): කවිදු මුණසිංහ 48, මලිදු මදුරංග 44*, අසේල සිගේරා 2/04

මහානාම විද්‍යාලය ආනන්ද විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 93ක් පසුපසින් පසුවෙයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට