සාන්ත තෝමස් විද්‍යාලයට නව රග්බි පුහුණුකරුවෙක්

407

ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයේ සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ ද ප්‍රධාන රග්බි පුහුණුකරු ධූරය දැරූ බිලාල් යූසුෆ්, 2018 තරග වාරය ආරම්භ වන්නට පෙර ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ප්‍රධාන රග්බි පුහුණුකරු ධූරය සඳහා තෝරා පත්කරගෙන ඇත.

තවදුරටත් එමෙන්ම ඔහුගේ සහාය පුහුණුකරුවන් ලෙස ‘three quarters’ පුහුණුකරු ධූරය සඳහා රාජකීය විද්‍යාලයේ චාමර දාබරේ ද, ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ පුහුණුකරු ධූරය සඳහා පොලිස් ක්‍රීඩා සමාජයේ ‘Hooker’ ක්‍රීඩක අචල පෙරේරා ද පත්කර ඇත.

චානක චන්දිමාල් රග්බි සංචිතයෙන් ඉවතට

ලබන මස ආරම්භ වීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන රග්බි සංචිතයේ සිටි ක්‍රීඩක චානක චන්දිමාල්, පැපොල රෝගය…

ඒ අනුව 2018 තරග වාරයට පෙර මෙම පත්කිරීම් සිදුකිරීම නිසා එය පසුගිය තරග වාරයේ ලකුණු සටහනේ එතරම් ඉහළ ස්ථානයක රැඳීමට අපොහොසත් වූ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය රග්බි කණ්ඩායම ඉදිරි තරග වාරය සඳහා සූදානම් කිරීමට බෙහෙවින් ඉවහල් වනු ඇත.

යූසුෆ් මීට පෙර සාන්ත ජෝසප් විද්‍යාලයේ (2011, 2015 සහ 2016), රාජකීය විද්‍යාලයේ (2012 සහ 2013), CR & FC ක්‍රීඩා සමාජයේ (2010) සහ CH & FC ක්‍රීඩා සමාජයේ (2015) ප්‍රධාන පුහුණුකරු ධූර දරා ඇත. ඒ අනුව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ නව පුහුණුකරු ලෙස කණ්ඩායම ඉහළ තලයකට රැගෙන ඒම ඔහුගේ අරමුණ වන නමුත් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම පසුගිය තරග වාරය අවසන් වීමත් සමඟ කණ්ඩායමෙන් ඉවත් වීම හේතුවෙන් ඔහු හට එය පහසු කාර්යයක් නොවනු ඇත.

කෙසේ නමුත් යූසුෆ් පුහුණුකරුවෙක් වශයෙන් අත්දැකීම් සමුදායකට හිමිකම් කියන අතර ඔහු අවසන් වරට පුහුණුකරු ධූරය දැරූ සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම 2015 වසරේ දී ඔහුගේ මඟපෙන්වීම යටතේ සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නට සමත් විය.

එහි දී ජෝසප් ක්‍රීඩකයින් බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය පරාජයට පත්කරමින් වසර 15කට පසුව ඔවුන්ගේ රග්බි මහා තරගය ජයග්‍රහණය කරන්නට සමත් වූ අතර වසර 16කට පසුව කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව ද ජයග්‍රහණයක් වාර්තා කර ගන්නට සමත් විය. තවදුරටත් ඊට පෙර වසරවල දී ලීග් තරගාවලියේ දී දක්‍ෂතා දක්වන්නට ජෝසප් ක්‍රීඩකයින් අපොහොසත්ව සිටි නමුත් 2015 වසරේ දී ඔවුන් ලීග් තරගාවලිය සමස්ත ලකුණු සටහනේ හොඳම කණ්ඩායම් 5 අතරට තෙරීපත්වන්නට සමත් විය.

ඔහු රග්බි පුහුණුකරුවෙක් වශයෙන් පළමු වරට කටයුතු ආරම්භ කරන්නේ 2003 වසරේ දී ය. ඒ 2002 වසරේ දී ඔහු පාසල් දිවියට සමුදීමෙන් අනතුරුව කොළඹ රාජකීය විද්‍යාලයේ කනිෂ්ඨ රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වීමත් සමඟ ය. එසේ ආරම්භ කළ ගමන සාර්ථකව ඉදිරියට රැගෙන එන්නට ඔහු සමත් වූ අතර ඔහු 2009 වසරේ දී වයස අවුරුදු 20න් පහළ ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ පුහුණුකරු ධූරය සඳහා නිල්ෆර් ඊබ්‍රහිම් සමඟින් තේරී පත්විය.

ඔහු ක්‍රීඩකයෙක් වශයෙන් 2001 සහ 2002 වසරවල දී එවකට අපරාජිත කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායම නියෝජනය කළ අතර එහි දී ඔහු ක්‍රීඩා කරනු ලැබුවේ ‘Wing’ ස්ථානයේ ය.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ නව රග්බි පුහුණුකරු ධූරය සඳහා පත්වීම සම්බන්ධයෙන් ThePapare.com සමඟින් අදහස් දැක්වූ බිලාල් යූසුෆ් ප්‍රකාශ කර සිටියේ ඔහු මෙම නව අභියෝගය සතුටට පත්වන බවයි.

“නව කණ්ඩායමක පුහුණුකරුවෙක් වශයෙන් පත්වීම ලොකු අභියෝගයක්. නමුත් මම ඒ ගැන සතුටට පත්වෙනවා වගේම ඒක බාර ගන්න මම සූදානම්. කණ්ඩායමේ ක්‍රීඩකයින්ට හොඳ කැපවීමකින් පුහුණුවීම් කටයුතුවල යෙදෙන්න පුළුවන් නම් මට විශ්වාසයි 2018 තරග වාරයේ දී අපිට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා.”  

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට