චමරි අතපත්තුගේ තුන් ඉරියව් දස්කම් හොංකොං හොල්ලයි!

FairBreak Invitational Tournament 2023

2309

හොංකොං හිදී දෙවැනි වරට පැවැත්වුණු FairBreak Invitational ක්‍රිකට් තරගාවලියේ දී දැක්වූ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් තරගාවලියේ වීරවරිය ලෙස සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු විසින් අද (16) සමත් වුනා.

තරගාවලියේ අවසන් මහා තරගය Warriors Women සහ Falcons Women කණ්ඩායම් අතර අද පැවැත්වුණු අතර එහි දී Falcons කණ්ඩායමට එරෙහිව ලකුණු 94ක ජයග්‍රහණයක් වාර්තා කළ Warriors මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු විසින් Falcons නියෝජනය කරමින් තරගයට සහභාගී වූ ඇය විසින් තරගාවලියේ පසුගිය තරග සියල්ලේ ම පාහේ පිත්තෙන් සහ පන්දුවෙන් දක්ෂතා පෙන්වීමට ද සමත් වී තිබුණා.

අද පැවැත්වුණු අවසන් මහා තරගයේ දී කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව පළමුව පන්දු රැකීමට Falcons නායිකා Suzie Bates විසින් තීරණය කළ අතර, ඒ අනුව Phoebe Litchfield සහ Hayley Matthews දෙපළ Worries වෙනුවෙන් පිතිකරණයේ යෙදීමට පිටියට පිවිසුණා.

මෙහි දී Falcons පන්දු යවන්නියන්ට කිසිදු අයුරකින් ස්ථාවර වීමට ඉඩ නොදුන් Hayley Matthews විසින් ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වූ අතර, ඇය විසින් පන්දු 52කට පමණක් මුහුණ දෙමින් ලකුණු 123ක් රැස් කිරීමට සමත් වුනා. Hayleyගේ ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 9ක් අන්තර්ගත වූ අතර, Hayleyගේ ඉනිමෙන් අනතුරුව Kathryn Bryce විසින් තවත් ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් Worries ලකුණු පුවරුව ලකුණු 230ක් දක්වා ඉහළට ගෙන යාමට සමත් වුනා.

Bryce විසින් පන්දු 20ක් පමණක් වැය කර නොදැවී ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වූ අතර, Falcons වෙනුවෙන් පන්දු යැවීමේ දී Anju Gurung කඩුලු දෙකක් බිඳ හෙළු අතර චමරි අතපත්තු විසින් එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් අතිශය අසීරු ඉලක්කයක් හඹා යාමට Falcons පිතිකාරිණියන්ට සිදු වූ අතර Falcons ඉනිම මුල භාගයේ දී චමරි අතපත්තු සහ Danni Wyatt විසින් ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දීමට ද සමත් වුනා.

නමුත් ඔවුන් දෙපළට ම දීර්ඝ ඉනිම් කරා යාමට අවකාශය හිමි නොවූ අතර චමරි පන්දු 17කින් ලකුණු 29ක් ලබා සිටිය දී දැවී ගියා. Wyatt හට ද ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 20ක් පමණයි. ඉන්පසුව පිටියට පිවිසි ක්‍රීඩිකාවන් ද ඉක්මන් නමුත් කෙටි ලකුණුවලට දැවී යාම හේතුවෙන් Falcons ඉනිම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 130කට සීමා වුනා.

මෙහි දී Falconsට එරෙහිව Warriors වෙනුවෙන් පිත්තෙන් සාර්ථක වූ Kathryn සහ Hayley යුගලය ම පන්දුවෙන් ද සාර්ථක වෙමින් කඩුලු 3ක් සහ 2ක් බැඟින් බිඳ හෙළීමට සමත් වුනා.

  • Warriors Women 230/4 (20) Hayley Matthews 123, Kathryn Bryce 52, Anju Gurung 2/42, චමරි අතපත්තු 1/41
  • Falcons Women 137/8 (20) චමරි අතපත්තු 29, Theertha Satish 29, Kathryn Bryce 3/16, Hayley Matthews 2/14

ඒ අනුව Warriors කණ්ඩායමට ලකුණු 94ක දැවැන්ත ජයග්‍රහණයක් සමඟින් තරගාවලියේ ශූරතාව ද දිනා ගැනීමට හැකි වූ අතර අවසන් මහා තරගයේ වීරවරිය ලෙස Hayley Matthews  සම්මාන දිනා ගත්තා.

සියලු ම සම්මාන Warriors කණ්ඩායම සතු වෙද්දී තරගාවලියේ වීරවරිය සම්මානය ඔවුන් වෙත යා නොදීමට චමරි අතපත්තු විසින් සමත් වුනා.

චමරි විසින් මෙම තරගාවලියේ දී තරග 7ක් ක්‍රීඩා කර ලකුණු 281ක් ලබා ගැනීමට සමත් වන්නේ තරගාවලියේ ඉහළ ම ලකුණු ලාභිනිය බවට ද පත් වෙමිනුයි. එමෙන්ම ඇය තරගාවලියේ දෙවැනියට ඉහළ ම කඩුලු ලාභිනිය බවට පත් වීමට ද සමත් වන්නේ තරග 7ක් තුල කඩුලු 12ක් බිඳ හෙළීමට සමත් වෙමිනුයි.

පිතිකරණ සාමාන්‍ය 43.83ක් වැනි ඉහළ අගයකත්, පන්දු යැවීමේ සාමාන්‍ය 13.75ක් වැනි අතිශය විශිෂ්ට අගයකත් රඳා පවත්වා ගනිමින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම FairBreak Invitational විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ වීරවරිය බවට පත් වීමට චමරි අතපත්තු සමත් වුනා.

දෙස් විදෙස් ක්‍රිකට් උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<