භානුක වෙනුවට කණ්ඩායමට පැමිණි Raza පන්ජාබයට ජය ගෙනෙයි!

IPL 2023

3420
Lucknow Super giants vs Punjab Kings

2023 IPL තරගාවලියේ 21 වැනි තරගය Punjab Kings සහ Lucknow Super Giants කණ්ඩායම් අතර ඊයේ (15) පැවැත්වුණා.

මෙම තරගයෙන් Lucknow කණ්ඩායමට එරෙහිව කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට Punjab Kings කණ්ඩායම සමත් වූ අතර, Punjab කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහී අර්ධ ශතකයක් රැස් කළ Sikandar Raza තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

Punjab නිත්‍ය නායක Shikar Dhawan මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර එම නිසා Sam Curran හට මෙම තරගයේ දී Punjabය මෙහෙයවීමේ වගකීම පැවරී තිබුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව Lucknow වෙත ලබා දීමට Sam Curran විසින් තීරණය කළ අතර, Lucknow ආරම්භක පිතිකරු යුගලය වෙතින් එයට ඉතා හොඳ පිළිතුරක් ලැබුණා.

KL Rahul සහ Kyle Mayers දෙපළ එකතුව Lucknow ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක සබඳතාවක් පැවැත් වූ අතර Mayersගේ දැවී යාමෙන් අනතුරු ව Lucknow ඉනිම තරමක බිඳ වැටීමකට ලක් වුනා.

Mayersගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි කිසිඳු පිතිකරුවකු හෝ සාර්ථක ඉනිම් ක්‍රීඩා කිරීමට සමත් නොවූ අතර නායක Rahul පමණක් එක් අන්තයක හුදකලා වී විශිෂ්ට ඉනිමක් දියත් කිරීමට සමත් වුනා.

Lucknow ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස Rahul දැවී යද්දී ඔහු විසින් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වී සිටියා. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසන කඩුලු 8ක් දැවී ගිය Lucknow ලකුණු පුවරුවේ සටහන් වී තිබුණේ ලකුණු 159ක් පමණයි.

මෙහි දී Punjab Kings වෙනුවෙන් නායකත්වයේ වගකීම සිය උර මත හොවා ගත් Sam Curran විශිෂ්ට ලෙස පන්දු යවමින් Lucknow කඩුලු 3ක් බිඳ හෙළද්දී Kagiso Rabada විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

මෙය මෙතෙක් IPL තරගාවලියේ පැවැත්වුණු අනෙක් තරග වලට සාපේක්ෂව තරමක් අඩු ලකුණු සංඛ්‍යාවක් සේ දිස් වුනත් Lucknow පන්දු යවන්නන් විසින් එසේ සිතූ බවක් පෙනුණේ නැහැ.

ඒ බව මොනවට පැහැදිලි කරමින් Punjab ඉනිමේ මුල් පන්දුවාර 6නිමා වන විට ඔවුන්ට ලකුණු 45ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් බිඳ හෙළීමට Lucknow පන්දු යවන්නන් විසින් සමත් වූ අතර, Punjab ඉනිමේ පළමු පන්දුවාර 12 නිමා වෙද්දී ඔවුන් රැස් කර ගැනීමට සමත් වී තිබුණේ ලකුණු 82ක් පමණයි.

ඒ වන විට ඔවුන් තවත් පන්දු 48කින් ජයග්‍රහණය සඳහා ලකුණු 78ක් රැස් කර ගත යුතු ව තිබුණා.

මේ මොහොතේ දී ඊයේ තරගයට භානුක රාජපක්ෂ වෙනුවට Punjab Kings කණ්ඩායම සමඟ එක් වූ සිම්බාබ්වේ ක්‍රීඩක Sikandar Raza විසින් ක්‍රියාත්මක වෙමින් Lucknow පන්දු යවන්නන්ට දිගට හරහට පහර එල්ල කිරීමට පටන් ගත්තා.

නමුත් පන්ජාබයට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 20ක් ලබාගත යුතු ව තිබූ මොහොතක Razaගේ ඉනිම නිමා වූ අතර ඒ වන විට ඔහු සිය මංගල IPL අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වී තිබුණා. එමෙන්ම එය සිම්බාබ්වේ ජාතිකයකු විසින් IPL තරගයක දී වාර්තා කළ පළමු අර්ධ ශතකය ලෙස ද වාර්තා පොත් අතරට එක් වුනා.

කෙසේ වෙතත් Razaගේ දැවී යාමෙන් නොසැලුණු Shahrukh Khan විසින් සිය සුපුරුදු ප්‍රවේගකාරී පිතිකරණයේ නියැලෙමින් තරගය සාර්ථකව අවසන් කිරීමට සමත් වුනා.

තරගයේ නිමාව සනිටුහන් වන විට Shahrukh ගේ පිත්තෙන් ලකුණු 23ක් වාර්තා වී තිබූ අතර එයට වැය වී තිබුණේ පන්දු 10ක් පමණයි. එමෙන්ම එම ඉනිමට දැවැන්ත හයේ පහර 2ක් ද අන්තර්ගත කිරීමට ඔහු සමත් වුනා.

මෙහි දී තරගය අවසන් මොහොත තෙක් අත නොහැරි Lucknow පන්දු යැවීම ද විශේෂයෙන්ම අගය කළ යුතු අතර එහි දී Yudhvir Singh, Mark Wood සහ Ravi Bishnoi විසින් කඩුලු 2ක බැගින් දවා ගැනීමට සමත් වී තිබුණා.

  • Lucknow Super Giants 159/8 (20) KL Rahul 74, Kyle Mayers 29; Sam Curran 3-31, Kagiso Rabada 2-34
  • Punjab Kings 161/8 (19.3) Sikandar Raza 57, Matthew Short 34; Ravi Bishnoi 2-18, Yudhvir Charak 2-19

ඒ අනුව මෙවර තරගාවලියේ තෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට Punjab Kings කණ්ඩායම ඊයේ සමත් වූ අතර එම නිසා නව IPL ලකුණු සටහනේ සිව් වැනි ස්ථානය ඔවුන්ට හිමි වී ඇති අතර, ඔවුන් අතින් පරාජය වු Lucknow Super Giants කණ්ඩායම තවමත් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටීමට සමත් වී සිටිනවා.

එමෙන්ම මෙවර IPL තරගාවලියේ තවත් තරග ද්විත්වයක් ( Mumbai Indians සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර, Gujarat Titans සහ Rajasthan Royals කණ්ඩායම් අතර ) අද (16) දිනයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරග සියල්ල ම සජීවී ව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<