ලකුණු සටහනේ පතුල සිඹින දිල්ලියට කෝලිගෙනුත් සරදමක්!

770

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජයග්‍රහණ ඉඩෝරයකට මුහුණ දී සිටින දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අද (15) පිට පිටම තම පස්වැනි පරාජයත් වාර්තා කළා. ඒ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 23කින් පරාජය වීමත් සමඟයි.

බැංගලෝර් බලකොටුව වන චින්නස්වාමි පිටියේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිල්ලි නායක David Warnerට හිමිවුනා. ඔහු මුලින් පන්දු යැවීම තෝරා ගත්තේ ප්‍රබල පිතිකරුවන් රැසකගෙන් සමන්විත RCB කණ්ඩායමට එරෙහිව දැඩි අවදානමක් භාර ගනිමිනුයි. පසුගිය තරගයේත් ඔවුන් මුලින් පන්දුවට පහර දී ලකුණු 200 පසුකර ගිය කණ්ඩායමක්.

අද ඉනිම ඇරඹූ Virat Kohli සහ Faf Du Plessis පළමු කඩුල්ලටම ලකුණු 42ක් එක් කළේ හොඳ ලකුණකට යාමට අවශ්‍ය අඩිතාලම සකසමින්. Plessis අද පන්දු 16කින් ලකුණු 22ක් ලබා සිටියදී දැවී ගියා. 23 හැවිරිදි වමත් පිතිකරු Mahipal Lomror අද ලකුණු 26ක් රැස් කළේ හතරේ පහර 2ක්ද සමඟයි. අද Virat Kohli මෙවර තරග වාරයේ තවත් එක් අර්ධ ශතකයක් සනිටුහන් කළේ පන්දු 34ක් වැය කරමින්. ඊට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනා.

මේ අනුව වරෙකදී කඩුලු 3කට ලකුණු 132ක් ලෙස දිස්වූ බැංගලෝර් ඉනිම විශාල ලකුණකින් අවසන් වන බවක් පෙනුනත් දිල්ලි කණ්ඩායම “සාමූහික කඩුලු ත්‍රිත්වයක්” දවා ගැනීමත් සමඟ තරගයේ මුහුණුවර වෙනස් වුනා. එහිදී Axar Patel 14 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවෙන් Harshal Patelව පිටියෙන් ඉවත් කරද්දී Kuldeep Yadav 15 වැනි පන්දුවාරයේ මුල් පන්දු දෙකේදී Maxwell සහ Karthikගේ තීරණාත්මක කඩුලු ද්විත්වය දවා ගැනීමට සමත් වුනා.

මේ අනුව හිටි හැටියේම කඩා වැටුනු බැංගලෝර් ඉනිම ලකුණු 174ක් දක්වා හෝ රැගෙන යන්නේ Anuj Rawat සහ Shahbaz Ahmed අතරේ ගොඩ නැගුනු නොබිඳුනු ලකුණු 42ක සබඳතාවයයි. එහිදී Rawat පන්දු 22කින් ලකුණු 15ක් ලබා ගනිද්දී වඩාත් ආක්‍රමණශීලී වූ Shahbaz Ahmed පන්දු 12කින් ලකුණු 20ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Mitchell Marsh සහ Kuldeep Yadav කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිතිකරණ පාරාදීසයක් ලෙස සැලකෙන චින්නස්වාමි පිටියේ සත්කාරක RCB කණ්ඩායම ලකුණු 174කට නවතාලීම හොඳ දක්ෂතාවයක් වුවත් දිල්ලි කැපිටල්ස් ඉන් හරිහැටි ප්‍රයෝජන ගත්තේ නැහැ. දිල්ලි ඉනිමට යන්තම් ලකුණු 2ක් එකතු වෙද්දීම ඔවුන්ගේ ඉදිරිපෙළ කඩුලු 3ක් බිඳ වැටෙන්නේ ඔවුන් පසුපස තවමත් අවාසනාව පන්නා එන බව සහතික කරමින්.

එහිදී ඉක්මන් ලකුණක් කරා දුව යාමට උත්සාහ කළ Prithvi Shawට කඩුල්ල අහිමි වන්නේ Impact Player ලෙස කණ්ඩායමට එකතු වුනු Anuj Rawat ගුවනට පැන පන්දුව ඩැහැගෙන එය කෙලින්ම කඩුල්ල වෙත යොමු කිරීමටද සමත් වීම නිසයි. දිල්ලි ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු තබා සිටි Mitchell Marsh පා ඉන්න දෙසින් එල්ල කිරීමට ගිය පහරක කල් මැනීම වරද්දා ගත් නිසා පන්දුව අහස් කූරක් මෙන් ඉහළ නැග Kohliගේ දෑත් අතර රැඳුනා.

Yash Dhull කඩුල්ල මුවා කළ ක්‍රීඩකයෙකු ලෙස පිටියේ විනිසුරු ලබාදුන් තීරණය දිල්ලිය තෙවැනි විනිසුරුට යොමුකළත් රතු එලි 3ක් හැරෙන්නට වෙනත් යමක් දැක ගැනීමට හැකි වුනේ නැහැ. බොහෝවිට හුදෙකලා ඉනිම් වල නියැළෙන David Warner අද ලකුණු 19ක් ලබා සිටියදී Vijaykumar Vyshakගේ වේග පන්දුවකට ගොදුරු වුනා. මේ සියල්ල මැද සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ Manish Pandey අද පන්දු 38කින් ලකුණු 50ක් රැස් කිරීමෙන් පසු දවා ගන්නේ වනිඳු හසරංගයි.

නමුත් ඊට පෙර වනිඳු හසරංගට එරෙහිව එම පන්දුවාරයේ දීම ලකුණු 16ක් උදුරා ගන්නට Manish Pandey සමත් වුනා. වනිඳු හසරංගට අද කඩුලු 6ක් දැවී ගිය බැංගලෝර් ඉනිමේ පවා පිතිකරණ ස්ථානයක් හිමි නොවූ අතර එක් කඩුල්ලක් දවා ගත්තද අද දිල්ලි පිතිකරුවන් ඔහුට එරෙහිව පන්දුවාර 3කදී ලකුණු 37ක් වාර්තා කර ගැනීමට සමත් වුනා. මේ අනුව IPL තරගාවලියේ තරග 20ක් අවසන් වනවිට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පෙන්වූ සමස්ථ දස්කම් සතුටුදායක මට්ටමක නොතිබූ බව අප පිලිගත යුතුයි.

ඉනිමේ අවසන් කොටසේදී Axar Patel සහ Anrich Nortje කෙටි වේගවත් ඉනිම් දෙකක් ක්‍රීඩා කළද දිල්ලියේ දෛවය වෙනස් කිරීමට එය ප්‍රමාණවත් වුනේ නැහැ. මේ නිසා නියමිත පන්දුවාර 20 අවසන් වනවිට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 151ක් ලබා ගත්තේ තවත් එක් අමිහිරි පරාජයක වේදනාව විඳ දරා ගනිමින්. තරගයේ වීරයා සම්මානය RCB ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා බවට පත්වූ Virat Kohliට හිමිවුනා.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් – කඩුලු 6ක් දැවී ලකුණු 174 (පන්දුවාර 20)

Virat Kohli 50, Mahipal Lomror 26, Glenn Maxwell 24, Faf Du Plessis 22, Shahbaz Ahmed 20*, Anuj Rawat 15*, Mitchell Marsh 2/18, Kuldeep Yadav 2/23.

දිල්ලි කැපිටල්ස් – කඩුලු 9ක් දැවී ලකුණු 151 (පන්දුවාර 20)

Manish Pandey 50, Anrich Nortje 23*, Axar Patel 21, David Warner 19, Aman Hakim Khan 18, Vijaykumar Vyshak 3/20, Mohommed Siraj 2/23, Wayne Parnell 1/28.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ කල්කටා නයිට් රයිඩර්ස් අතර තරගය හෙට (16) සවස 3.30ටත්, ගුජරාට් ටයිටන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර තරගය රාත්‍රී 7.30ටත් ආරම්භ වනු ඇති. එහි සජීවී දර්ශන විඳ ගැනීමට ඔබත් පිවිසෙන්න ThePapare.com වෙබ් අඩවිය සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<