භානුක ඉබි ගමන් යද්දී ICEMAN ගුජරාට් ජය තහවුරු කරයි

5544

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඉතාමත් අවධානයෙන් බලා සිටි තරගයක් ඊයේ (13) මොහාලි හිදී ක්‍රියාත්මක වුනා. ඒ භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ දසුන් ශානක මෑතකදී එක්වුනු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරගයයි.

එහි අවසන් පන්දුවාරයේ දී කඩුලු 6ක තියුණු ජයක් ලබා ගන්නට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට හැකි වුනා.

ඊයේ තරගය වෙනුවෙන් Sikandar Raza වෙනුවට භානුක රාජපක්ෂව කණ්ඩායමට කැඳවීමට පංජාබ් කළමනාකාරීත්වය තීරණය කර තිබුණා. කෙසේ නමුත් දසුන් ශානකට ඊයේ තරගයේ ඉඩක්  වෙන්වී තිබුණේ නැහැ. කාසියේ වාසිය දිනා ගත් ගුජරාට් නායකයා මුලින් පන්දු යැවීම තෝරා ගැනීමත් සමඟ තරගය ආරම්භ වුනා.

එහි දී පසුගිය තරගවල දී අමුතුම ආකාරයේ ප්‍රවේගකාරී ඉනිම් දියත් කළ Prabshimran Singh දෙවැනි පන්දුවේ දී ම Mohommed Shamiට ගොදුරු වීම පංජාබයට ගෙන ආවේ අමතර පීඩනයක්. දින කිහිපයකට පෙර නොදැවී ලකුණු 99ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Shikhar Dhawan ඊයේ රැස් කළේ ලකුණු 8ක් පමණයි. මෙවන් වටපිටාවක භානුක රාජපක්ෂගෙන් සුවිශේෂී ඉනිමක් පංජාබ් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුනා.

නමුත් ඔහුට ඊයේ දිනයේ පන්දු 26කට මුහුණ දීමෙන් පසුත් ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 20ක් පමණයි. සාමාන්‍යයෙන් මෙවන් මන්දගාමී ඉනිම්වලට ප්‍රිය නොකරන භානුක ඊයේ ක්‍රීඩා කළ ඉනිම විස්තර විචාරකයින්ගේ පවා උසුළු විසුළු වලට ලක්වුනා. භානුක තම ඉනිම අතරේ එල්ල කළේ එකම එක හතරේ පහරක් පමණයි. මේ අනුව Liam Livingstonගේ සම්ප්‍රාප්තියත් සමඟ භානුකගේ ස්ථානය අභියෝගයට ලක් වීමට ඉඩ තිබෙනවා.

Matthew Short පන්දු 24කින් අත දිගහැර ලකුණු 36ක් ලබා ගත්තත්, ඔහුගේ කෙරුම්කාරකම් තිබුණේ Rashid Khan පන්දුව අතට ගන්නා තෙක් පමණයි. Rashidගේ ගුග්ලි පන්දුවක් කියවා ගත නොහැකිව දැවී යන විට ඔහු හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් එල්ල කර සිටියා. පන්දු 23කින් ලකුණු 25ක් ලබාසිටි Jitesh Sharma දැවී යාමත් සමඟ පංජාබයේ ලකුණු වේගය සෑහෙන දුරකට අඩපණ වුනා.

Jitesh දවා ගැනීමේ ගෞරවය පන්දු යවන්නාට වඩා හිමි විය යුත්තේ ගුජරාටයේ කඩුලු රකින්නා වන Wriddhiman Sahaටයි. ඔහු පන්දු යැවූ Mohit Sharma සහ නායක Pandya පවා නොසලකා හැරි දැවී යාමක් තෙවැනි විනිසුරුට යොමු කරන ලෙස ඉල්ලා සිටිමින් Jiteshව ක්‍රීඩාගාරයට පිටමං කළා. පුනරූපනවලින් පැහැදිලි වූ පරිදි Jiteshගේ පිත්තේ යන්තමින් පන්දුව ගැටෙන ශබ්දය කඩුලු රකින Sahaට යන්තමින් ඇසී තිබුණා.

ඉනිමේ අවසන් කොටසේ දී Shahrukh Khan ක්‍රීඩා කළ ඉනිම පංජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 153ක් දක්වා ඉදිරියට රැගෙන ආවා. පන්දු 9කට පමණක් මුහුණ දුන් Shahrukh එහිදී ලකුණු 22ක් ලබා ගත්තේ හයේ පහර 2ක් සහ එක් හතරේ පහරක් සමඟින්. භානුක වැනිම මන්දගාමී ආරම්භයක් ලබා ගත් Sam Curran අවසානයේ පන්දු 20කින් ලකුණු 20ක් ලබා ප්‍රේක්ෂක විවේචනවලින් ගැලවුනා.

2020 වර්ෂයෙන් පසු නැවතත් IPL තරගාවලියට එක්ව සිටින Mohit Sharma එක රැයින් කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙක් බවට පත්වුනේ තම පන්දුවාර 4 තුල දී ලකුණු 18කට පංජාබයේ තීරණාත්මක කඩුලු 2ක් බිඳ දමමින්. ඔවුන් භාවිතා කළ ඉතිරි පන්දු යවන්නන් සිව් දෙනාම එක් කඩුල්ල බැගින් දවා ගත් අතර තරමක හෝ ප්‍රහාරයට ලක්වුනේ Mohommed Shami පමණයි.

පසුගිය දිනවල දී IPL පිටියේ දකින්නට ලැබුණු ලකුණු 200කට ආසන්න හඹා යෑම් සමඟ සැසඳීමේ දී ඊයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ඉතා සුළුවෙන් සැලකිය හැකි. පළමු කඩුල්ලටම වේගවත් ලකුණු 48ක් රැස් කරමින් ඔවුන් ඒ වෙනුවෙන් ජයග්‍රාහී ආරම්භයක් ලබා ගත්තා. Wriddhiman Saha රැස් කළේ ලකුණු 30ක් පමණක් වුවත් ඔහු ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 19ක් පමණයි.

එක් අවස්ථාවක ගුජරාට් ඉනිම පන්දුවාර 14.1ක් අවසානයේ ලකුණු 106ට කඩුලු 2ක් ලෙස දිස්වූ නිසා මෙම තරගය අවසන් පන්දුවාරය තෙක් ඇදී යනු ඇතැයි ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුනේ නැහැ.

නමුත් Hardik Pandya ලකුණු 8කට දැවී යාමත් සමඟ ගුජරාට් ඉනිමත් සෑහෙන දුරකට මන්දගාමී වුනා. අවසන් පන්දු 12ට ලකුණු 13ක් අවශ්‍ය වෙද්දී Arshdeep Singh ක්‍රියාත්මක කළ සාර්ථක 19 වැනි පන්දුවාරය නිසා අවසන් පන්දුවාරයට ලකුණු 7ක් ඉතිරි වුනා.

එය යැවීමට Shikhar Dhawan තෝරා ගන්නේ මේ වන විට ලොව හොඳම තුන් ඉරියව්වෙකු ලෙස නමක් දිනා සිටින Sam Curranවයි. පළමු පන්දුවට එක් ලකුණක් ලබා දුන් Curran දෙවැනි පන්දුවෙන් ලකුණු 67ක් ලබාසිටි Shubman Gillගේ පිට ඉන්න ගුවනේ පා කර හරින්නේ රැස්ව සිටි බහුතර පංජාබ් ප්‍රේක්ෂකයින්ගේ ජය ඝෝෂාව ඉහළ දමමින්. මේ අනුව ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දු 2ට ලකුණු 4ක් ලබා ගැනීමට අවශ්‍ය කළා.

මේ මොහොතේ පිටියට පිවිසියේ මෙවන් අවස්ථා සඳහා විශේෂඥයෙකු වන පීඩනය උපරිම විටත් අසාමාන්‍ය ලෙස තැන්පත් බවක් පෙන්වීම නිසා “ICEMAN” ලෙස විරුදාවලී ලත් Rahul Tewatiaයි. ඔහු කඩුල්ල කරා එන පන්දුව ගැන කිසිදු තැකීමක් නොකර දණ නමා එය ශෝට් ෆයින්-ලෙග් කලාපයට ඉහළින් හතරේ සීමාවට යොමුකළේ ගුජරාට් ජය තහවුරු කරමින්. තරගයේ වීරයා ලෙස Mohit Sharmaට සම්මාන හිමි වුනා.

පංජාබ් කිංග්ස් – කඩුලු 8ක් දැවී ලකුණු 153 (පන්දුවාර 20): Matthew Short 36, Jitesh Sharma 25, Sam Curran 22, Shahrukh Khan 22, Bhanuka Rajapaksa 20, Mohit Sharma 2/18, Rashid Khan 1/26, Joshua Little 1/31.

ගුජරාට් ටයිටන්ස් – කඩුලු 4ක් දැවී ලකුණු 154 (පන්දුවාර 19.5): Shubman Gill 67, Wriddhiman Saha 30, Sai Sudarshan 19, David Miller 17*, Harpreet Brar 1/20, Sam Curran 1/25, Arshdeep Singh 1/33.

ඊයේ දිනයේ ලැබූ පරාජයත් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ සෑහෙන ඉදිරියෙන් සිටි පංජාබ් කිංග්ස් කණ්ඩායම මේ වන විට අංක 6 දක්වා පල්ලම් බැස තිබෙනවා. ලකුණු 6 බැගින් ලබා සිටින රාජස්ථාන් රෝයල්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස් සහ ගුජරාට් ටයිටන්ස් මේ වන විට ලකුණු සටහනේ මුල් ස්ථාන තුනේ වැජඹෙනවා.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ අද (14) ක්‍රියාත්මක වන්නේ කල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරගයයි. එය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වන්නට නියමිතයි. මෙම තරගය ඔබට ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව නැරඹීමට ද හැකියි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<