සඳකැන් හා සචිතගෙන් විශිෂ්ට දස්කම්

1500

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සවිබලයෙන් පැවැත්වෙන අන්තර් පළාත් වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (15) දිනය තුල තවත් තරග කිහිපයක්ම පැවැත්විය. අද දිනය තුළ පිතිකරණයෙන් සචිත ජයතිලක, රමේෂ් නිමන්ත හා හිමාශ ලියනගේ කැපී පෙන‍ෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර පන්දු යැවීමෙන් සඳකැන් පතිරණ වැඩි දස්කම් දැක්වීමට සමත් විය.

පළාත් තරගාවලිය ආරම්භයේ දී ම දැවැන්ත ජයග්‍රහණ රැසක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් පළාත් දෙදින ක්‍රිකට් තරගාවලිය ඊයේ (11) ආරම්භ විය…

දෙවන දිනයට පැවැති තරගය

බස්නාහිර පළාත් දකුණ හා නැගෙනහිර පළාත

B කාණ්ඩයේ තරගයක් ලෙස කොළඹ පොලිස් පිටියේ දී ඊයේ (14) ආරම්භ වූ මෙහි කාසියේ වාසිය ජයග්‍රහණය කළ බස්නාහිර පළාත් දකුණු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගයෙන්, බස්නාහිර පළාත් දකුණු කණ්ඩායම කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි.

බස්නාහිර පළාත් දකුණු කණ්ඩායම වෙනුවෙන් ඔවුන්ගේ පළමු ඉනිම මලිඳු මදුරංගගේ අගනා අර්ධ ශතකයත් සමඟින් ලකුණු 254යි. මලිඳු සමඟින් එක්ව ඉනිම ගොඩනැංවූ රශ්මික ඕපාත හා මාධව නිමේෂ් පිළිවෙළින් ලකුණු 47ක් හා ලකුණු 32ක් රැස්කර ගන්නා ලදි. පන්දු යැවීමේ දී කේ. තනුශන් ලකුණු 8කට කඩුලු 6යි.

ඉන්පසු පිටියට පිවිසි නැගෙනහිර කණ්ඩායමේ පිතිකරුවන් කඩුලු 8ක් දැවී ලකුණු 78ක් ලබාගෙන සිටින විට තරගයේ පළමු දිනය අවසන් විය.

අද (15) දෙවන දිනය සඳහා ක්‍රියාත්මක වූ මෙම තරගයේ නැගෙනහිර පළමු ඉනිම උදෑසනම අවසන් කිරීමට සඳකැන් සමත් විය. එහි දී ඔහු විසින් ලකුණු 23ක් තුල කඩුලු 7ක් දවා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.

ලකුණු 170 ක පළමු ඉනිමේ අවාසියක් ද සහිතව නැවතත් තම දෙවන ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි නැගෙනහිර කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිකරණය නිරත වූ සචිත ජයතිලක ශතකයක් ලබා ගන්නා ලදි. රමේෂ් නිමන්ත ද ලකුණු 77ක් ලබා ගත්තේ බස්නාහිර පළාත් දකුණු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 119ක ඉලක්කයක් ලබා දෙමිනි. පන්දු යැවීමේ දී සඳකැන් හා ප්‍රමෝද් කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

මින්හාජ් ජලීල් තම කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වෙමින් ලකුණු 42ක් ලබා ගත් අතර, මලිඳු තවත් ලකුණු 30ක් තම කණ්ඩායමේ දෙවන ඉනිමට අන්තර්ගත කරන ලදි. කේ. තනුශන් කඩුලු 3යි.

බස්නාහිර පළාත් දකුණ පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 254 (71.3): මලිඳු මදුරංග 53, රශ්මික ඕපාත 47, මාධව නිමේෂ් 32, ලක්ෂිත මානසිංහ 23*, කේ. තනුශාන්ත් 6/82, රමේෂ් නිමන්ත 3/49

නැගෙනහිර පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 84 (31): නිපුන ගමගේ 18, සඳකැන් පතිරණ 7/23 , රනිත ලියනාරච්චි 2/15.

නැගෙනහිර පළාත් දෙවන ඉනිම (F/O) – සියල්ලන්ම දැවී 288 (61.2): සචිත ජයතිලක 112, රමේෂ් නිමන්ත 77, රමිඳු නික්ලේෂ 46, ප්‍රමෝද් මධුවන්ත 3/35, සඳකැන් පතිරණ 3/86, ලක්ෂිත මානසිංහ 2/45

බස්නාහිර පළාත් දකුණ දෙවන ඉනිම – 121/8 (29.5): මින්හාජ් ජලීල් 42, මලිඳු මදුරංග  30, කේ. තනුශාන්ත් 3/45, සංජික රිද්ම 2/20, ප්‍රමෝද් හෙට්ටිවත්ත 2/25


පළමු දිනය සඳහා පැවැත්වූ තරග

වයඹ පළාත හා උතුරු මැද පළාත

පනාගොඩ යුධ හමුදා  පිටියේ දී අද (15) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය උතුරු මැද පළාත් කණ්ඩායම ලබා ගත් අතර ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. මෙය A කාණ්ඩයේ තරගයකි.

උතුරු මැද පළාතේ ඇරයුමින් පිටියට පැමිණි වයඹ පළාත් කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 104ක් ලබා ගන්නා ලදි. එහි දී තම කණ්ඩායමේ පළමු ඉනිම යම්තාක් මට්ටමකට හෝ සවිමත් කළ සචින් දිල්රංග ලකුණු 20ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී හෙලක්මාල් නානායක්කාර ලකුණු 34කට කඩුලු 5ක් දවා ගත්තේය. චන්දුල වීරරත්න කඩුලු 3යි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ උතුරු මැද පළාත තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 158ක් වාර්තා කළේය. එම ඉනිම ශක්තිමත් කළ හෙලක්මාල් ලකුණු 69යි. ලකුණු 54ක පළමු ඉනිමේ වාසියක්ද ලබා ගත් උතුරු මැද පළාත් පිතිකරුවන් යම්තාක් මට්ටමකට දමනය කළ අසිත ප්‍රනාන්දු හා සචින්ත පීරිස් කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

තරගයේ ප්‍රථම දිනය අවසන් වන විට තම දෙවන ඉනිම ක්‍රීඩා කරන වයඹ පළාත් කණ්ඩායම  කඩුලු 2ක් දැවී ලකුණු 21යි.

වයඹ පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු  104 (29.1): සචින් දිල්රංග 20 , හෙලකමල් නානායක්කාර 5/34, චන්දුල වීරරත්න 3/15

උතුරු මැද පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 158 (57.3): හෙලක්මාල් නානායක්කාර 69, අසිත ප්‍රනාන්දු 3/34 , සචින්ත පීරිස් 3/43

වයඹ පළාත් දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) –  21/2 (6.2)


මධ්‍යම පළාත හා බස්නාහිර පළාත් මධ්‍යම

මෙම A කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ මධ්‍යම පළාත් කණ්ඩායම කොළඹ කෝල්ට්ස් තණතීරුව මත පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. දිනය අවසන් වන විට මධ්‍යම පළාත් කණ්ඩායම සිය පළමු ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 183ක් ලබාගෙන සිටියි.

මධ්‍යම පළාත් කණ්ඩායමේ ආරාධනය පරිදි පළමුව පිතිකරණයට පිටියට පැමිණි බස්නාහිර පළාත් මධ්‍යම පිතිකරුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 249ක් රැස්කරගත්හ. එහි දී හිමාශ ලියනගේ නැවතත් ලකුණු අතරට පිවිසෙමින් ලකුණු 75ක් ලබා ගන්නා විට, අකිල් ඉන්හාම් ලකුණු 53ක් රැස්කරගන්නා ලදි. පන්දු යැවීමේ දී ලක්ෂාන් ප්‍රනාන්දු හා මොහොමඩ් ශිරාස් කඩුලු 4 බැගින් දවා ගන්නා ලදි.

දිනය අවසන් වන විට නොදැවී ක්‍රීඩා කරන තානුක දාබරේ හා රොන් චන්ද්‍රගුප්ත පිළිවෙළින් ලකුණු 67*ක් හා ලකුණු 62*ක් රැස්කරගෙන සිටියි.

පළමු දිනය අවසානයේ බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම, මධ්‍යම පළාත් පළමු ඉනිමට වඩා ලකුණු 66ක් පෙරමුණේ පසුවෙයි.

බස්නාහිර පළාත් මධ්‍යම පළමු ඉනිම  – සියලු දැවී ලකුණු 249 (53.2): හිමාෂ ලියනගේ 75, අකිල් ඉන්හාම් 53, මොහොමඩ් ශිරාස් 4/55,  ලක්ෂාන් ප්‍රනාන්දු 4/60

මධ්‍යම පළාත් පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 183/1 (36): තානුක දාබරේ 67*, රොන් චන්ද්‍රගුප්ත 62*


බස්නාහිර පළාත් උතුර හා ඌව පළාත

B කාණ්ඩයේ මෙම තරගය පැවැත්වූයේ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදීය. මෙම තරගයේ ඌව පළාත් උතුර කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දුවට පහර දීමට  තීරණය කරන ලදි.

ඒ අනුව ඌව පළාත් පිතිකරුවන් පන්දුවාර 45යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 163ක් රැස්කරගන්නා ලදි. එම ඉනිමට නවිඳු නිර්මාල් ලකුණු 64ක් එක් කරමින් අගනා පිතිකරණයක නිරත වූයේ, තම අර්ධ ශතකය ද සම්පූර්ණ කරගෙනයි. ඔහුට සහය වූ එම්. දිනෙත් ලකුණු 37යි. පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු ලකුණු 20ක් තුල කඩුලු 5යි.

පිළිතුරු පළමු ඉනිම දියත් කිරීමට පිටියට අවතීර්ණ වූ බස්නාහිර පළාත් උතුරු කණ්ඩායමේ පැතුම් නිස්සංක ලකුණු 70ක් වාර්තා කළේය. දිනය අවසන් වන විට මෙම කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 137ක් රැස්කරගෙන සිටින්නේ ඌව පළාත් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 26ක් පසුපසින් සිටිමිනි.

ඌව පළාත පළමු ඉනිම  – සියල්ලන්ම  දැවී ලකුණු  163 (45.1): නවිඳු නිර්මාල් 64, එම්. දිනෙත් 37, බිනුර ප්‍රනාන්දු 5/20

බස්නාහිර පළාත් උතුරු පළමු ඉනිම  (පළමු දිනය අවසානයේ) – 137/3 (36): පැතුම් නිස්සංක 70

පළමු දිනය සඳහා පැවැත්වූ තරග සියල්ලම දෙවන හා අවසන් දිනය හෙට (16) එම ක්‍රීඩාංගණවල දී ම පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<