Ronaldo ඩොලර් බිලියනයක ආදායමක් ආසන්නයේ

116
Ronaldo to become third sportsman to earn 1 billion

සුපිරි පාපන්දු ක්‍රීඩක Cristiano Ronaldo නුදුරු අනාගතයේ දී ම ඩොලර් බිලියනයක ආදායමක් කරා ළඟා වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඒ අනුව Ronaldo මෙම සංධිස්ථානය කරා ළඟාවුවහොත් ඔහු ඩොලර් බිලියනයක ආදායමක් ලබා ගන්නා තවමත් ක්‍රීඩාවේ නිරත වන තෙවැනි ක්‍රීඩකයා බවට පත්වනු ඇත. මේ වන විටත් සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙක් වන Boxing ක්‍රීඩක Floyd Mayweather සහ ගොල්ෆ් ක්‍රීඩක Tiger Woods ඒ කරා ළඟාවී අවසන් ය. කෙසේ නමුත් කිසිදු පාපන්දු ක්‍රීඩකයෙකු මෙම සීමාව කරා තවමත් ළඟාවී නොමැති අතර ඒ අනුව Ronaldo ඒ කරා ළඟා වන පළමු පාපන්දු ක්‍රීඩකයා බවට ද පත්වෙනු ඇත. 

මෙහි දී ‘coronavirus’ තත්වය හේතුවෙන් ඔහු මේ වන විට නියෝජනය කරන ඉතාලියේ Juventus පාපන්දු සමාජය පසුගිය දා ඔවුන්ගේ ක්‍රීඩකයින් නොවන සේවකයින් සඳහා සම්පූර්ණයෙන් වැටුප් ලබා දීමට හැකි වන පරිදි ක්‍රීඩකයින්ගේ වැටුප් මාස 4ක කාලයක් සඳහා කප්පාදුවකට ලක්කිරීමෙන් පසුව Ronaldo හට ඒ හරහා යූරෝ මිලියන 3.5ක විශාල මුදලක් අහිමි වන පසුබිමක ඔහු මෙම ඩොලර් බිලියනයක ආදායම්ලාභී ක්‍රීඩකයින්ගේ සමාජයට එක්වනු දැකීම විශේෂත්වයකි.  

මේ සඳහා ඔහුට Juventus විසින් ගෙවනු ලබන සතියකට යූරෝ ලක්‍ෂ 5ක් වන අතිවිශාල වැටුපට අමතරව Nike, Herbalife (HLF), KFC, Tag Heuer සහ Egyptian Steel ඇතුළු ඔහු වැළඳගත් ප්‍රමුඛ පෙළේ සන්නාම සහ අනුග්‍රාහකත්ව ඉවහල් වී ඇත. 

මෙහි දී ලෝකයේ ප්‍රධානතම පාවහන් සන්නාමයක් වන Nike සමාගම විසින් ඔහු සමඟ ජීවිතාන්තය දක්වා වලංගු ගිවිසුමකට එළඹ ඇති අතර ඔහුට අමතරව ඔවුන් එවන් ගිවිසුමක් ලබා දී ඇත්තේ පැසිපන්දු ක්‍රීඩාවේ දැවැන්තයින් දෙදෙනෙක් වන Michael Jordan සහ LeBron James හට පමණි. 

ඊට අමතරව ඔහුගේ Pestano Lifestyles Hotels ආයතනය හරහා සුඛෝපභෝගී හෝටල් දාමයක් ද ඔහුගේ හිමිකාරීත්වය යටතේ ක්‍රියාත්මක වන අතර තවදුරටත් ඔහු යටතේ ඇති ඇඟලුම් හා යට ඇදුම් ව්‍යාපාර හරහා ද ඔහු විශාල මුදලක් උපයනු ලබයි. 

ඒත් සමඟම ඔහු පසුගිය 2019 වසරේ දී ඔහුගේ වැටුපෙන් සහ වැළඳ ගත් සන්නාම සහ අනුග්‍රාහකත්ව හරහා පමණක් ඩොලර් මිලියන 109ක මුදලක් උපයනු ලැබූ අතර ඒ අනුව ඔහු ඉහළම අදායම්ලාභී ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වූයේ පසුගිය වසර පුරාවට ඩොලර් මිලියන 127ක මුදලක් ඉපැයූ Lionel Messi හට පමණක් දෙවැනි වෙමිනි. 

ඒ අනුව ඔහු මෙම තරග වාරය අවසන් වන විට ඩොලර් බිලියනයක ආදායම් සීමාව කරා ළඟා වනු ඇති බව ඇස්තමේන්තු ගතකර ඇත. 

තවත් කියවන්න;

මෙම සුවිසල් ආදායම් හමුවේ ඔහු සමාජ සේවා කටයුතු සඳහා ද වසරක් පාසා අතිවිශාල මුදලක් වෙන්කරනු ලබන අතර මේ වන විට ‘coronavirus’ වසංගතය හරහා උද්ගතව ඇති තත්වය පාලනය කිරීමට සිය මව් රට වන පෘතුගාලයේ Lisbon සහ Porto නගරවල රෝහල් සඳහා ඔහු සහ ඔහුගේ අනුයෝජිතයා වන Jorge Mendes එක්ව යූරෝ මිලියනයක මුදල් පරිත්‍යාගයක් සිදු කරනු ලැබූහ. 

කෙසේ නමුත් මෙම වසංගත තත්වය හේතුවෙන් යුරෝපය පුරා පාපන්දු තරග දින නියමයකින් තොරව කල්යාමත් සමඟ සෑම පාපන්දු සමාජයක් ම ඔවුන්ගේ ආදායම් මාර්ග නැතිවී යාම හේතුවෙන් දැඩි මූල්‍යමය අර්බුදයකට මේ වන විට මුහුණ පා සිටින අතර ඒ අනුව සමහර විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ ඉදිරි මාසවල දී පාපන්දු ක්‍රීඩාව යථාතත්වයට පත්වුවත් Juventus හට ඔහුගේ වැටුප් ගෙවීම ඉතා අපහසු කටයුත්තක් වනු ඇති බැවින් බොහෝ දුරට ඔවුන්ට ඔහුව විකුණා දැමීමට සිදු වනු ඇති බවයි. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<